ArticlesColombo Today Local News

රට කළඹන නව රැල්ලක් ! අපේ නායකයා ගෝඨා.. 2019 ජනපතිවරණය දිනනවා නිසැකයි – විමල් කියන කතාව මෙන්න

මේ ලබපු මැතිවරණ ජයග්‍රහණය ඇත්තටම ආණ්ඩු විරෝධයක් ද එහෙමත් නැතිනම් මහින්ද රාජපක්ෂට ආපු රැල්ලක්ද?

මේක මහින්ද රාජපක්ෂ කියන සුවිශේෂී රාජ්‍ය නායකයා කෙරෙහි අසීමිත විශ්වාසය හා බලා‍පොරොත්තුව පළවීමක්. අනෙක් පැත්තට මේ තියෙන ඊනියා ජාතික ආණ්ඩුව ජනතාවට වහකදුරු මෙන් තිත්ත වී ඇති බව පළ කිරීමක්.

ව්‍යවස්ථාවෙන් අගමැතිවරයාට තවදුරටත් බලයේ ඉන්න බලය තියෙද්දි ඇයි මේ ඔහුට ධුරයෙන් ඉවත් වෙන්න කියන්නේ?

ව්‍යවස්ථාවේ කියලා නෑනේ ඉල්ලා අස්වෙන්න බෑ කියලා. ඔහුට ලජ්ජාවක් බයක් තියෙනවා නම් ඉල්ලා අස්වෙන්න ඕනෑ.

ඇයි දැන් ඇත්තටම අගමැති ඉල්ලා අස්වෙන්න ඕනෑ?

පසුගිය මැතිවරණයේ දී ඔප්පු වුණා ඔහුගේ ඡන්ද ප්‍රතිඵලය සියයට පනස් ගණනක ඉඳලා සියයට තිස් ගණනකට බැහැලා තියෙනවා කියලා. එතකොට එක්සත් ජාතික පක්ෂයේ නායකයා වෙලා ඉන්න එකත් ඒ සාමාජිකයන්ට කරන අගෞරවයක්. රටේ අගමැති වෙලා ඉන්න එකත් රටවැසියාට කරන අගෞරවයක්.

දැන් මේ පැවැත්වුණේ පළාත් පාලන මැතිවරණයක් මිසක් ආණ්ඩු, අගමැති තීරණය කරන මහ මැතිවරණයක් ‍නෙවෙයි නේද?

ඒගොල්ලෝ ආදර්ශයකට ගන්න මව් රටනේ මහා බ්‍රිතාන්‍යය. එහේ ජනමතයක් තිබුණා මහා බ්‍රිතාන්‍යය යුරෝපා කොමිසමෙන් වෙන් වෙනවාද නැද්ද කියලා. එතකොට එහේ බලයේ හිටපු අගමැති තමයි ඩේවිඩ් කැමරන්. ඔහුගේ මතය වුණේ තවදුරටත් යුරෝපා කොමිසමේ රැඳී සිටිය යුතුයි කියලා. හැබැයි රටේ ජනතාව ඔහුගේ මතය ප්‍රතික්‍ෂේප කළා. රට්ටු කිව්වා නෑ අපි යුරෝපා කොමිසමෙන් ඉවත් වෙනවා කියලා. වෙස්මිනිස්ටර් ක්‍රමයට ගරු කරමින් ඩේවිඩ් කැමරන් ඉල්ලා අස් වුණා. මැතිවරණය මොක වුණත් ඒකෙන් පේන්නේ ජනමතය.

ලංකාවේ ඉතිහාසයේ ඔය කියන විදියට මහ මැතිවරණයකට පහළ වෙන යම් මැතිවරණයක් පැරදුණා කියලා ආණ්ඩු ගෙදර ගිහින් තියෙනවාද?

ඉතිහාසයේ හැමදාම පළාත් පාලන මැතිවරණයක දී තිබ්බ ආණ්ඩුව තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඒ වගේම ඔය තිබුණ පළාත් පාලන මැතිවරණවල රටේම ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට පනස් පහයි, හැටයි. ඔය ඔක්කොම ඔහොම තියෙද්දි මේ තමයි ඉතිහාසයේ පළමු අවස්ථාව බලයේ සිටින ආණ්ඩුව පරාජය කරමින් විපක්ෂයේ සිටින දේශපාලන පක්ෂයක් රටම මැතිවරණයකින් ජයග්‍රහණය කළ. ඒ වගේම මේ පළාත් පාලන මැතිවරණයේ දී රටේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට අසූවට වඩා වැඩියි. ඒ නිසා ජනමතය පෙන්නලා ඉවරයි ආණ්ඩුවට ගෙදර යන්න කියලා.

ඇයි මේ පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අවසන් වශයෙන් තවම නිකුත් කරලා නැත්තේ?

මේ හොරගල් අහුලන්නේ අපිට ලැබුණු සැබෑ ජනතා මනාපයේ ප්‍රතිශතය වෙනස් කරන්නද කියලත් ජනතාවට සැකයක් තියෙනවා. මැතිවරණ කොමිසම ඉල්ලා අස්වෙන්න ඕනෑ මේ කටයුතු කරන විදිය නිසා.

ඒකාබද්ධ විපක්ෂය උත්සාහ කළා නේද පහුගිය දවස්වල වර්තමාන ජනාධිපතිවරයා සමග එකතු වෙලා ආණ්ඩුවක් හදන්න?

නෑ. අපි උත්සාහ කළේ නෑ ආණ්ඩුවක් හදන්න.

එතකොට පක්ෂ දෙකේම නායකයින් එහෙම මුණගැහිලා සාකච්ඡා කළේ?

අපි තීරණයක් ගත්තා මැතිවරණයකින් මිසක් ආණ්ඩු බලය ගන්නේ නෑ කියලා. පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරු කිරීමකින් බලය ගන්න අපි ලැහැස්ති නෑ. ඒක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා. හැබැයි ඒ අතරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කිව්වනේ අනූ හයම එයා එක්ක ඉන්නවා නම් යූ.එන්.පී. ආණ්ඩුවෙන් ගැලවෙන්න ලැහැස්තියි කියලා. ඉතින් ඒ පැත්තෙන් ඒගොල්ලන්ගේ අගමැති කෙනෙක් පත් කරගන්න උත්සාහයක් දියත් වෙලා තිබුණා. එතෙන්දී අපි අපේ ප්‍රතිචාරය හැටියට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් එකතු වෙලා තීරණයක් ගත්තා මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහත්තුරු එක්කම මැති ඇමැති තනතුරු කිසිවක් ගන්නේ නැතිව, කොන්දේසි සහිතව, විපක්ෂයේ සිට යූ.එන්.පී. ආණ්ඩුව අයින් කරලා අලුත් අගමැති කෙනෙක් පත්කරනවා නම් එකට විපක්ෂයේ ඉඳලා සහයෝගය දෙනවා කියලා.

අගමැති ලෙස පත් වෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අයෙක් ද? අපි දැක්කා මහින්ද රාජපක්ෂ මහතා අගමැති කළ යුතුයි කියලා මැතිවරණ ‍පෝස්ටර්වල තියෙනවා?

කිසිසේත්ම නැහැ. එතැනදී අපි පැහැදිලිව කිව්වා අපි විපක්ෂයේ සිටිමින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙදර යවන්න විතරයි සහාය දෙන්නේ සහ එයාලට කැමැති කෙනෙක් අගමැති ලෙස පත් කරගන්න කියලා.

දැන් මොකද වුණේ ඒ හදන්න ගිය ආණ්ඩුවට?

දැන් බෝ‍ලේ තියෙන්නේ සිරිසේන ජනාධිපතිවරයාගේ අතේ. එයා ඒ අදහස අවංකවමද ගෙනාවේ නැත්නම් රටේ ඡන්දදායකයා රවට්ටන්නද කියලා ඉක්මනටම ඔප්පු වේවි. මට පෙනෙන විදියට නම් මේ පල්ල බිඳිච්ච, කඩාගෙන වැටෙන ඊනියා ජාතික ආණ්ඩුවටම පව්ඩර් ටිකක් දාලා, ෆේෂල් එකක් දාලා, තොල් දෙක පාට කරලා අලුත් මේකප් එකක් එක්ක යන්න තමයි මේ උත්සාහය.

2020 ජනාධිපතිවරණයටත් දැන් ලෑස්තියි නේද?

නිසැක වශයෙන්ම 2019 අග තියෙන ජනාධිපතිවරණය අපි ජයග්‍රහණය කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි අපේ බලා‍පොරොත්තුව තියෙන්නේ ඒ මැතිවරණයේ අපේ නායකයා හැටියට ගේන්න.

එදා ඒකාබද්ධ විපක්ෂය කියන නමින් ඔබලා පිරිස රටට ආවෙත් නුගේගොඩින්. දැන් මේ මාර්තු 09 ඉඳලා නව රැල්ලක් ආරම්භ කරනවාලු. මොකද්ද ආරම්භ කරන්න යන නව රැල්ල?

2015 ජනවාරි 09 එළි වෙනකොට මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් එළියට ආවා. ඊට දවස් දෙකකට හෝ එකකට පස්සේ ඒකාබද්ධ විපක්ෂය විදියට අපි මාධ්‍ය හමුවක් තිබ්බා. ඒ මාධ්‍ය සාකච්ඡාවේ දී මට මතකයි මම කිව්වා මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් ඉච්ඡා භංගත්වයට පත් වෙන්න එපා, ඔබේ ඒ ජාතික නායකයා ඒ සේවය උදෙසා නැවත රැගෙන එනවා කියලා. ඉන් අනතුරුව රටම කදමලු බැඳගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා බලන්න ‍පෝලිමේ එතුමාගේ ගෙදරට ගියා. මේ ජනතා ප්‍රකම්පනය දැක්කාට පස්සේ අපි දිනේෂ් ගුණවර්ධන මහතා, වාසුදේව නානායක්කාර මහතා, උදය ගම්මන්පිල මහතා එක්ක සාකච්ඡා කරලා පෙබරවාරි 18 වැනි දා නුගේගොඩට ජනතාවට එන්න ආරාධනා කළේ. අපේක්ෂා කළ නොහැකි මට්ටමේ ස්වේච්ඡා ජනතා පිබිදීමක් එදා නුගේගොඩදී සිදු වුණා. මෙවර අපි නුගේගොඩට යන්නේ ඒ ඇති වූ ජනතා පිබිදීමෙන් සුවිශේෂී ජයග්‍රහණයක් උරුම කරගෙන. එහි මීළඟ පිම්ම විදියට ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වෙලා මේ රටේ ජනතාවගේ ඉල්ලීම අනුව ආණ්ඩුවක් පිහිටුවන්න වහාම අවස්ථාව දෙන්න කියන බලකිරීම කරන්න.

ඔබට එදා චෝදනාවක් එල්ල වුණා නිදහස් පක්ෂය දෙකඩ කරන්නේ ඔබ කියලා?

ඕක කිව්වේ සිරිසේන ජනාධිපතිවරයා ළඟ ඉන්න පිරිස. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ අපේක්ෂකයාට විරුද්ධව, පක්ෂයත්, පාක්ෂිකයිනුත් පාවාදීලා, යූ.එන්.පී. එකේ ඔඩොක්කුවට ගියේ කවුද කියලා මතක් කරන්න. කවුද පක්ෂය දෙකඩ කළේ කියලා මතක් වේවි.

මේ ආපු මැතිවරණ ප්‍රතිඵලයෙන් සිද්ධ වුණෙත් රටේ ප්‍රධානම දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරුණු කඩා වැටීමක්. නිදහස් පක්ෂය දෙකඩ වුණේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ‍පොදුජන පෙරමුණ නිසා ‍නෙවෙයිද?

දෙකඩ වීමක් නෑනේ. එතුමා බලය ගත්තේ රාජ්‍ය බලය යොදවලා, බඩු භාණ්ඩ බෙදලා, තියෙන සන්නිවේදන මාධ්‍ය බලයත් යොදාගෙන. ඔක්කෝමත් කරලා ලබාගත්තේ 13කට මඳක් වැඩි සංඛ්‍යාවක්. ඒ 13 කියන්නෙත් එච්චර ස්ථාවර ඡන්ද සංඛ්‍යාවක් ‍නෙවෙයි. ඔය ඡන්දදායකයින් ඊළඟ ඡන්දයේදී ඔතන අත්හැරලා ජයග්‍රහණය කරන පැත්තට මාරු වෙනවා. එතකොට නිදහස් පක්ෂය ඒ පැත්තේ නෑ. සම්පූර්ණ නිදහස් පක්ෂයම මේ පැත්තේ ඉන්නවා. එතකොට මේක දෙකඩ වෙලා නෑ. ඡන්ද දායකයින් සැබෑ නිදහස් පක්ෂය නිවැරදිව හඳුනාගෙන තියෙනවා විතරයි.

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ලැබුණේ මහින්ද රාජපක්ෂ මහතාට. දැන් චෝදනාවක් තියෙනවා ඡන්දදායකයින් ඡන්දේ දුන්නේ තමන්ගේ කොට්ඨාසයට ඉදිරිපත් වුණ අපේක්ෂකයා කවුද කියලාවත් බලන්නේ නැතිව නිසා ‍පොදුජන පෙරමුණෙන් ජයග්‍රහණය කළ අපේක්ෂකයින් පළාත් පාලන ආයතන නායකත්වයට සුදුසු මට්ටමේ නෑ කියලා?

කවුද කියන්නේ. ජනතාව ඔහොම කියන්නේ නෑ. ඔය කතාව කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණට තියෙනවා තමන් හිතපු තරම් දෙයක් වුණේ නැති එකේ වේදනාව. ඒගොල්ලෝ මන්ත්‍රී ආසන දාහකට වැඩිය ලැබෙයි කියලා බලා‍පොරොත්තු වුණා. ඒකත් නෑ. හිතපු ඡන්ද ගණන ලැබුණෙත් නෑ. දැන් කන් කඩාවැටිලා දෝෂාරෝපණය කරනවා මිනිස්සුන්ට.

-ප‍්‍රසාද් අබේවික‍්‍රම

Related posts

ළමා නිවාසයක සිටි දැරියන් පස්දෙනෙකු පලා ගිහින්

Admin

ලුතිනන් කර්නල් ශම්මි සිර ගෙදරින් රෝහලට

colombotoday

“අපේ සමුළුවට එජාපයෙන් ආවා.. එජාප සමුළුවට අපිත් යනව” – ශ්‍රීලනිප මහලේකම්

colombotoday

විදෙස්ගතව සිටි තවත් ලාංකිකයින් 511 දෙනෙකු අද දිවයිනට

colombotoday

හෙරෝයින් ජාවාරම් කළ චූටි බබා පොලිසියට මාට්ටු

colombotoday

හිටපු රජය බලයට ආවොත් රටට ආත්මයක් නැති වෙනවා – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද

colombotoday