Colombo Today Local News

“හෙළිකොප්ටරෙන් ගෙදර යනවිටත් ජනපති මමයි” – මහින්දගෙන් මෛත්‍රීට පිළිතුරු

mahinda

පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වූ සිය ප්‍රතිවාදියාට කැමති ආරක්ෂක භටයන් තෝරාගෙන හෙලිකොප්ටරයෙන් ගමට යාමට අවසර දුන් බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කරන ප්‍රකාශය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කර තිබේ.

මැතිවරණයෙන් පරාජයට පත් වී අරලියගහ මන්දිරයෙන් ඉවත්ව යන අවස්ථාවේත් ශ්‍රී ලංකාවේ ජනාධිපති පදවිය හෙබැවූයේ තමන් බව ඔහු අවධාරණය කරයි.

ජනපතිවරණයෙන් ජය ලැබූ පොදු විපක්ෂයේ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ඒ අවස්ථාවේ සොයා ගත නොහැකි වූ බැවින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිය ආරක්ෂාව ඇතුළු කරුණු තීරණය කළ බවත් හිටපු ජනාධිපතිවරයා බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පැවසී ය.

එම සාකච්ඡාවේදී බීබීසි සංදේශය නැඟු ප්‍රශ්නවලට හිටපු ජනාධිපතිවරයා මෙලෙස පිළිතුරු ලබා දී තිබිණි.

“ඔයා දන්නේ නෑනේ? මම හෙලිකොප්ටරෙන් යනකොට ප්‍රතිඵල ඇවිල්ලත් නෑනේ?. එතකොට මැතිවරණ කොමසාරිස්වරයා නිල ප්‍රතිඵල ප්‍රසිද්ධ කරලා නෑ. සිරිසේන එතකොටත් විපක්ෂයේ අපේක්ෂකයා. එයාව සොයා ගන්න බැරිවුනා මට. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ විපක්ෂනායකවරයාට කතා කරලා මම උදේ හයට පිටත් වුනේ.”

එබැවින් සිය ආරක්ෂක භටයන්ද සමඟ එදා කොළඹින් පිටත්ව යන විටත් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා තමන් බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනපතිවරණයෙන් පරාජය වී දිගටම බලයේ රැඳී සිටීමට උත්සාහ කළ බවට නැගෙන චෝදනාවත් ඔහු තරයේ ප්‍රතික්ෂේප කරයි.

“මංගල සමරවීර මහත්තයනේ ඕක කිවුවේ? ඉතින් ඔක්කොම හමුදාපතිවරු, පොලිස්පති ඒ ඔක්කොම සාක්කි දුන්නනේ? ඉතින් ප්‍රතිඵලය කියන්න කියන්නකෝ මොකක්ද වුනේ කියල.”

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයට ප්‍රථම පාර්ලිමේන්තුවේදී ඔහු හමු වූ අවස්ථාවේ සිය ආරක්ෂාව පිළිබඳව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා අගමැතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් ඔහු පැවසීය.

සිය ජීවිතයට එල්ල වූ තර්ජන හේතුවෙන් තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියක් පවා නොතිබුණු අසූව දශකයේ අග භාගයේදී එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ උපදෙස් ප්‍රකාර රන්ජන් විජේරත්න අමාත්‍යවරයා විසින් මුලින්ම තමන්ට හමුදා ආරක්ෂාව ලබා දුන් බව පවසන හිටපු ජනපතිවරයා, එවක් පටන් මේ දක්වා පැවති සෑම ආණ්ඩුවක්ම එය වෙනස් නොකළ බවත් සඳහන් කළේය.

“යාපනය අර්ධද්වීපය තුල, උතුරේ 89% ක් ඡන්ද වැටිලා තියෙනවා කියල කියන කොට මම දන්නවා මම ඊලඟට පරාදයි කියල,” යනුවෙන්ද හිටපු ජනපතිවරයා සඳහන් කළේය.

එහි අදහස තමන්ට සුළු ජාතීන්ගේ සහාය නොලැබෙන බව දැන සිටියේ දැයි විමසූ අවස්ථාවේ ඔහු පැවසුවේ එතරම් ඡන්ද ප්‍රතිශතයක් භාවිතා කෙරෙනු ඇතැයි තමන් කිසිසේත්ම විශ්වාස නොකළ බවයි.

කෙසේ නමුත් ඒ පිළිබඳව වැඩිදුර කරුණු දැක්වීමෙන් ප්‍රතිඵලයක් නොමැති බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසී ය.
(බීබීසි සංදේශය)

Related posts

විරෝධතාකරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

ශ්‍රී ලංකාවට වඩාත් අභියෝගාත්මක කාල පරිච්චේදය ‘අතළඟ’.. සංචරණ සීමා දැඩිසේ පනවන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලයි

colombotoday

“අපි වෙනුවෙන් අපේ එවුනුත් නැහැ” ශ්‍රී ලාංකීය දේශපාලනයෙන් මහින්ද සළකුණ නිවී යන ලකුණු

colombotoday

කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

colombotoday

පැරණි ආරක්‍ෂිත පොලිතීන් ආවරණය සහිත සිලින්ඩර වෙනුවට නව සිලින්ඩර නිකුත් කරන්නැයි ලිට්‍රො සමාගමට නියෝගයක්

colombotoday

මැතිවරණය වළක්වන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම යළි කැඳවීම 23 වැනිදා..

Admin