ArticlesColombo Today Local News

ෆෙඩරල් රනිල්ගේ ලිච්ඡවී පාලනය

තමා තුළ නැති බෞද්ධකම මහජනතාවට පෙන්වීමට ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපූරු මාධ්‍ය සන්දර්ශනයක යෙදෙනවා. ඊට එතුමා භාවිත කරනවා ප්‍රකට කියමනක්. ඒ තමයි තමන් ලිච්ඡවී පාලනයක් ලංකාව තුළ ගොඩනැගීමට ක්‍රියා කරන බව. එ් ලිච්ඡවී පාලනය බුදුරජාණන් වහන්සේ අනුදත් එකක් නිසා ලංකාවට එවැනි පාලන ක්‍රමයක් ගැළපෙන බව යි රනිල් අගමැතිතුමාගේ නිර්දේශය. එතුමා තම ෆෙඩරල් අදහස් ලිච්ඡවී පාලනය හා පටලවා ගෙන ඇති බවක් මේ ප්‍රකාශය අනුව අපට පේනවා. කෙසේ වෙතත්, මේ ප්‍රකාශ නිසා රටේ ජනතාව නො මග යන බවකුත් පෙනෙන්නට තිබෙන නිසා අප මේ අවුල වහා ම නිරවුල් කරගත යුතු යි.

බුද්ධකාලීන භාරතයේ දේශපාලන පසුබිම තුළ රාජාණ්ඩු පාලන ක්‍රමය හා ගණතන්ත්‍ර පාලනය කියා පාලන ක්‍රම දෙකක් පැවතුණා. රාජාණ්ඩුවක පාලකයා මහාරාජ නමිනුත්, ගණතන්ත්‍ර රාජ්‍යයක පාලකයා රාජා නමිනුත් හැඳින්වුණා. මේ ගණතන්ත්‍ර ක්‍රමය සමූහාණ්ඩු පාලනය නමිනුත් සමහර තැන්වල සඳහන් වුණත් නූතන ලෝකයේ තිබෙන සමූහාණ්ඩු ක්‍රමය නම් නො වෙයි එය. ගණතන්ත්‍ර පාලනයට ගෝත්‍ර ප්‍රධානීන් රාශියක් (රාජාවරුන්) හවුල් වුණා.

බුදුරජාණන් වහන්සේ කිසි විටෙක ලිච්ඡවී රාජ්‍යයක් හෝ ගණතන්ත්‍ර පාලනයක් ගොඩනැගුවේ නෑ. වජ්ජි රාජ්‍යයේ ගණතන්ත්‍රය ගොඩනඟා ගෙන තිබුණේ ලිච්ඡවීන් විසින් ම යි. බුදුරජාණන් වහන්සේ සප්ත අපරිහානිය ධර්ම දේශනා කරන්නට යෙදුණේ ලිච්ඡවීන් විසින් ගොඩනඟා ගත් ගණතන්ත්‍රය වඩාත් සාර්ථක කරගැනීමට සාරධර්ම මාලාවක්. ඒ සාරධර්ම මාලාවෙන් ලෝකයේ ඕනෑ ම පාලන තන්ත්‍රයකට අවැසි පෝෂණය උකහා ගන්න පුළුවන්. ලංකාවට වුණත් එහි වෙනසක් නෑ. නමුත්, ලිච්ඡවීන්ගේ ගණ තන්ත්‍රය ලංකාවේ දේශපාලනයට ඈඳීම හෝ ලංකාවේ පාලන තන්ත්‍රය ලිච්ඡවීන්ගේ ගණ තන්ත්‍රයට ඈඳීම හෝ සම කිරීම ප්‍රස්තුතය එහෙම්පිටින් ම වටහා නො ගැනීමක්. එය අනුවණකමක්. ලිච්ඡවීන්ගේ ගණතන්ත්‍රය එකක්. ලංකාවේ තිබූ පාලන තන්ත්‍රය (පෙර සිරිත) හා ලංකාවට අවැසි පාලන තන්ත්‍රය අනෙකක්.

වජ්ජි රාජ්‍යය සංයුක්ත රාජ්‍යයක්. ලිච්ඡවීන් කියන්නෙ එහි ප්‍රධාන ජනකාය යි. ඔවුන්ගේ පාලන තන්ත්‍රයට රාජාවරුන් 7707 ක ට නො අඩු ගණනක් සම්බන්ධ වූ බව සැලකෙනවා. වෛශාලියේ සන්ථාගාරය තමයි ඔවුන්ගේ පාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කෙරුණු ස්ථානය. ඒ සන්ථාගාරයට වජ්ජීන් දවසට තුන් වරක් රැස් වුණා. වර්තමාන නේපාල ප්‍රදේශයේ සිට ගංගා නදී නිම්නය තෙක් විහිදුණු වෙළඳ මාර්ග පාලනය කළ හැකි තැනක මේ රාජ්‍යය විහිදී තිබුණා. පහළ ගංගා නිම්නයේ ලෝහ නිධිවලින් ලබාගත්තු ලෝහත්, ඒවායින් තැනූ භාණ්ඩත් නදියෙන් උතුරේ හිමාලය බද සියලු ප්‍රදේශවලට ගෙන යාමට හැකියාව ලැබුණා මේ මාර්ගවලින්. එබඳු ගෝත්‍ර ප්‍රධානීන් පාලන තන්ත්‍රයට හවුල් වූ බව සිතිය හැකි යි. නමුත් බුදුන් වහන්සේ පහළ වන විට ගොඩනැඟී තිබුණු සාමාජික හා ආර්ථික තත්ත්වයන් ඉදිරියේ මේ නිදහස් ගෝත්‍රයන් ක්‍රමයෙන් බිඳ වැටෙමින් තිබුණා. අභ්‍යන්තර ආරවුල් උද්ගත වීමට බොහෝ ඉඩකඩ තිබුණා. බුදුරජාණන් වහන්සේගේ අපරිහානිය දේශනාවන් හරහා ඒ බිඳ වැටීම් හැකිතාක් අවම වන්නට ඇති. ලිච්ඡවීන්ගේ සමඟිය ඊට හේතු වූවා නිසැක යි. අජාතසත්තට ලිච්ඡවීන් යටත් කිරීමට ඒ තිබුණු ආර්ථික සමාජයීය තත්ත්වයන් හොඳට ම ප්‍රමාණවත් වන්නට ඇති. නමුත් ඔවුන්ගේ සමඟිය අජාතසත්තට ප්‍රධාන බාධාව වූවා නිසැක යි. වස්සකාර යොදවා කරන කුමන්ත්‍රණය එ් බාධාව මැඬ පැවැත්වීමට යෙදූ ප්‍රයෝගයක්. යුදමය අවස්ථාවක දී සතිස් දෙනෙකුගෙන් සමන්විත අභ්‍යන්තර මණ්ඩලයක් වජ්ජීන්ට තිබුණු බව ජෛන ග්‍රන්ථත් සඳහන් කරනවා. මල්ල රාජ්‍යයත් මෙබඳු ම ගණ තන්ත්‍ර ක්‍රමයක් පැවතුණා. නමුත්, මල්ලයෝ උග්‍ර රණකාමීන්, ප්‍රතිවාදීන් මෙල්ල කිරීමෙහි සමත්.

ලංකාවේ ක්‍රමය ලිච්ඡවීන්ගේ මෙන් ගණ තන්ත්‍රයක් නො වෙයි. පුරාණ රජ කාලයේවත් එවැනි තන්ත්‍රයක් ලංකාවේ තිබී නෑ. ලංකාවට එවැන්නක් අවැසිත් නෑ. ඒ නිසා රනිල් අගමැතිතුමා ලිච්ඡවීන්ගේ ගණ තන්ත්‍රය ලංකාවේ ඇති කරන්නට යෑම එහෙම්පිටින් ම මුලාවක්. ගොඩනැගෙන රාජාණ්ඩු හමුවේ ගණතන්ත්‍රවලට පවතින්නට තරම් ඉඩක් ලැබුණේ නෑ. එය යල් පැන ගිය පාලන තන්ත්‍රයක් බවට ක්‍රමයෙන් පත්වුණා. දියුණු දේශපාලන වටපිටාවක් ගොඩනැඟෙන විට ගණතන්ත්‍රවලට තවදුරටත් එසේ පැවැතිය නො හැකි වුණා. මහාරාජාණ්ඩු හමුවේ ගණතන්ත්‍ර යනු ගෝත්‍ර ප්‍රධානීන්ගෙන් සැදුම්ලත් හුදෙක් ශේෂ ව පැවැති ප්‍රාථමික තන්ත්‍රයක් බව යි මහාචාර්ය ඔලිවර් අබේනායකගේත් අදහස.

බුදුරජාණන් වහන්සේ ගණතන්ත්‍රය ශක්තිමත් වීමට සදූපදේශ සැපැයූ බව ඇත්ත යි. නමුත්, මුළු ත්‍රිපිටක සාහිත්‍යය පුරා ම විසිරි තිබෙන බෞද්ධ දේශපාලන දර්ශනය ගණතන්ත්‍රයට නැඹුරුවක් දක්වනවා යයි සිතන්න අමාරු යි. එය අනිවාර්ය හා ප්‍රබල වශයෙන් ම අනුගත වන්නේ රාජාණ්ඩු පාලනයකට යි. බුදුදහමේ විශ්වරාජ්‍යය සංකල්පය හෙවත් චක්‍රවර්ති රාජ්‍යය සංකල්පය එහි අස්ථිත්වය පෙන්නුම් කරනවා. ඒ තුළ කියැවෙන්නේ මුළු මහත් ලෝකයම එක ම මහාරාජයෙකුගේ ධාර්මික අණසකට යටත් කිරීම පිළිබඳ ව. බෞද්ධ සන්දර්භයේ දේශපාලනික අවශ්‍යතාව පැහැදිලි යි. නිරවුල්. රනිල් අගමැතිතුමා එය හරියාකාර ව වටහා ගෙන නෑ. මා පෞද්ගලික ව දන්නා තරමින් එතුමා ඔය වජ්ජි රාජ්‍යය පිළිබඳ අදහස මුල් වරට උකහා ගෙන තිබෙන්නේ මාලිම්බඩ පඤ්ඤාසාර හිමියන්ගේ උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය සඳහා උන්වහන්සේ ලියූ පොතක් කියැවීමෙන්. නමුත් එය සර්වාකාර අවබෝධයක් නෙවෙයි. රනිල් අගමැතිතුමා උත්සාහ කරන්නේ තමන්ගේ දේශපාලන තේරීමට බෞද්ධ සංකල්ප ඈඳන බවක් පෙන්වීමට විනා බෞද්ධ දේශපාලනය බෞද්ධ පාලන තන්ත්‍රය රට තුළ ස්ථාපිත කිරීමට නො වෙයි.

ඒ කරුණු කාරණා කවරක් වෙතත් වජ්ජි රාජ්‍යය ගැන, ලිච්ඡවී ගණ තන්ත්‍රය ගැන නිතර දෙවේලේ උදම් අනන රනිල් අගමැතිතුමා අඩු ම තරමේ දේශපාලඥයෙකු හැටියට තමන්වත් සප්ත අපරිහානිය ධර්ම පිළිපදිනවා ද කියා අප විමර්ශනය කළ යුතු යි. එය වැදගත් වන්නේ එතුමාගේ දේශපාලන භාවිතාව තේරුම් ගැනීමට යි.

සප්ත අපරිහානිය ධර්ම මොනවා ද?

1. නිතර රැස්වීම
2. සමඟි ව රැස් ව, සමඟි ව කටයුතු සමඟි ව විසිර යාම
3. නො පැනවූ නීති නො පැනවීම හා පැනැවූ නීති නො කඩ කොට ආරක්ෂා කිරීම
4. රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පෝෂණය කරමින්, ඔවුන්ට ගරු සත්කාර කරමින්, ඔවුන්ගේ අවවාද පිළිපැදීම
5. කුල ස්ත්‍රීන්ගේ කුල ගෞරවය ආරක්ෂා කිරීම
6. රට තුළ පිහිටි හා රටින් පරිබාහිර ව පිහිටි ආගමික පූජ්‍යස්ථාන නඩත්තු කොට, ඒවාට ආරක්ෂාව සැපැයීම. ඒවාට ගරු කිරීම.
7. රටට නො පැමිණි ආගමික උතුමන් ගෙන්වා ගැනීම හා නො පැමිණි ආගමික උතුමන්ට පුද සත්කාර කොට උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා ලැබ ඍජු වූත්, ස්ථාවාර වූත්, සදාචාරවත් යහපාලනයක් ගෙන යාම.

සප්ත අපරිහානිය ධර්මවල පළමුවැනි කාරණා දෙක තමයි සමඟි ව රැස් ව, සමඟි ව කටයුතු කර, සමඟි ව විසිර යාම. ලිච්ඡවීන් ඒ ආකාරයෙන් දවසට තුන්වරක් රැස් වුණාට, රැස්වීම් බහුල වුණාට ලංකාවේ ව්‍යවස්ථාදායකවත් එසේ රැස් වෙන්නේ නෑ. රැස් වෙන දවසටවත් සමඟි ව කටයුතු කරන්නේ නෑ. බොහෝ විට රනිල් අගමැතිතුමා පාර්ලිමේන්තු සභාවාරයේ හැසිරෙන හැටි, කථා කරන හැටි මාධ්‍ය මඟින් දුටුවා ම ඒක මොන තරම් ප්‍රාථමික හැසිරීමක් ද කියා පෙනෙනවා. අන්‍යයන් හාස්‍යයට උපහාසයට ලක් කරනවා. තමන්ට බලය ලැබෙනවා පමණක් සමඟි වෙමු කියනවා. තමන්ගෙන් බලය ගිලිහී වෙන කෙනෙකුට නම් බලය යන්නෙ කෝලාහල කරනවා. භේදභින්නතා ඇති කරනවා. සමඟි ව පාලන තන්ත්‍රය මෙහෙයවන අයත් තමන්ගේ දේශපාලන තේරීම හා වාසිය උදෙසා භේදභින්න කරවනවා. මේ තමයි රනිල් අගමැතිතුමාගේ ක්‍රමය. ඒ නිසා වජ්ජිරාජ්‍යයක් ලංකාවේ ගොඩනඟන්නට යන එතුමා සප්ත අපරිහානිය ධර්මවලින් මුල් කාරණාවත් ප්‍රායෝගික ව හඳුනන්නේ නෑ.

නො පැන වූ නීති නො පැන වීමත්, පැනැ වූ නීත් කඩ නො කොට ආරක්ෂා කිරීමටත් රනිල් අගමැතිතුමා ගන්නා වූ උත්සාහය එතුමාගේ ව්‍යවස්ථාමය අවශ්‍යතාව වෙනුවෙන් ක්‍රියා කරන ආකාරයෙන් පැහැදිලි ව පෙනෙන්නට තිබෙනවා.

රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හා කුල ස්ත්‍රීන් සම්බන්ධයෙන් තිබෙන්නා වූ කාරණා රටේ වැඩිහිටි හා කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත වන අන්දමින් පැහැදිලි වෙනවා.

රටතුළ පිහිටි ආගමික සිද්ධස්ථාන සම්බන්ධයෙන් නම් රනිල් අගමැතිතුමා බොහොම උද්යෝගයෙන් ක්‍රියා කරනවා. එතුමා බෞද්ධයෙක් නෙවෙයි. ඒ වගේ ම එතුමා ලංකාව බෞද්ධ රටක් ය කියන කාරණය අමතක කොට තිබෙනවා. බුද්ධාගමේ ආරක්ෂාව හා පෝෂණය උදෙසා ව්‍යවස්ථාමය වශයෙන් බැඳී සිටියත් එතුමා බුදුසසුනට දක්වන අවධානයත්, අන්‍යාගම්වලට හා එකී ආගමික මධ්‍යස්ථානවලට දක්වන අවධානයත් පැහැදිලි ව පෙනෙනවා. රට පුරා සිද්ධ වන බෞද්ධ උරුමයන් විනාස කිරීම, මංකොල්ල කෑම, බෞද්ධාගමික ඉතිහාසය වළලා දැමීමට ක්‍රියා කරන ආකාරය, මුස්ලිම් උරුමයන්, කිතුණු උරුමයන් උලුප්පා පෙන්වීමට දරන තැත යන මේ කාරණා නිසා රනිල් අගමැතිතුමා අපරිහානිය ධර්මවල හයවැනි කාරණයට දක්වන අනුග්‍රහය පැහැදිලි වෙනවා.

හත්වැනි කාරණය ගැන නම් කතා නො කර ම සිටීම සුදුසු යි. රනිල් අගමැතිතුමා පාදිලිතුමන්ලාගේ, මවුලවිතුමන්ලාගේ, කුරුක්කල්තුමන්ලාගේ අවවාද අනුශාසනා හොඳට පිළිපදිනවා. හැබැයි රටේ මහානායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනාවට, මහාසඞ්ඝරත්නයේ වචනයට ඇහුම්කන් දෙන්නේ තබා හිස නමන්නේවත් නෑ. හාමුදුරුවරු මොනවා කීවත් තමන්ගේ අභිමතය ම යි. එතුමාගේ සහචර නඩයත් එසේ ම යි. මහනාහිමිවරුන් බැහැදකිනවා. තමන්ට පක්ෂපාතී නම්. අවවාද අනුශාසනා ලැබෙනවා ඇති. හැබැයි පිළිගන්නේ නෑ. රංගනයේ යෙදෙනවා විතර යි. ඒ බව මොනොවට පැහැදිලි වෙනවා. රටේ මුරදේවතාවුන් බඳු මහා සංඝරත්නය ජාතිවාදීන් සේ හංවඩු ගසමින් උන්වහන්සේලාට සලකන හැටි නම් නින්දිත යි.

ඉතිං පින්වතුනි, බුද්ධ දේශනාව අනුව පිහිටා ලංකාව වජ්ජි රාජ්‍යයක් කරන්නට තතනන, ලිච්ඡවී ගණ තන්ත්‍රය ලංකාවේ ගොඩනඟන්නට තටමන රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඒ වජ්ජීන්ගේ ක්‍රමයට ගරු කරන හැටි තමයි ඔය ඉහත කියැවුණේ. ඒ පිළිබඳ ව නුවණින් සිතා බැලීම ඉහමොළ ඇති රටවැසියන්ගේ කාර්යභාරයක්.

පංචන ජයසිංහ

Related posts

සුමාත්‍රා දූපත ආසන්නයේ භූ චලනයක්

colombotoday

ගොනා කෝවිලේ අංජු සමග සබඳතා පැවැත්වූ ගල්කිස්ස පොලිසියේ හිටපු ස්ථානාධිපතිගේ වැඩ තහනම්

colombotoday

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගැන අමෙරිකාවේ අවධානය – ජූලි චන්ග් ගෙන් සැර ප්‍රකාශයක්

Admin

සෑම මැතිවරණ කොට්ඨාශයකටම නිවාස ඒකක 100කින් යුත් නිවාස සංකීර්ණයක්

colombotoday

අගමැති සහ මහබැංකු අධිපති සිංගප්පූරු යයි

colombotoday

රාජ්‍ය ආදායම ඉහළ ගියහොත් පළමුව රාජ්‍ය සේවකයන්ට සහන

Admin