Colombo Today Local News

රණවිරු දඩයමට පනත් දෙකක් සම්මතයි.. ජාතික බුද්ධි බලකා නිලධාරීන් දඩයමත් අලුත් වටයකින් අරඹලා

 

‘ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් යුද අපරාධ සිදුකර ඇත’ යන ජිනීවා මිථ්‍යාව සනාථ කළ හැකි නව පනත් දෙකක් මේ වන විට සම්මත කර ගෙන ඇති මේ සිරිසේන – වික්‍රමසිංහ හවුල් ආණ්ඩුව, ජාතික බුද්ධි බලකායේ නිලධාරීන් රැසක් දඩයම් කිරීමේ මෙහෙයුමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරහා අරඹා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අනාවරණය කර සිටියේය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (15) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා මෙසේ ද සඳහන් කළේය.

“පෙබරවාරි 10 වැනිදා ලත් මැතිවරණ පරාජයෙන් පස්සේ, තෙල්දෙණිය ගින්න සහ ෆේස්බුක් තහනම මැද්දේ රණවිරු දඩයම සහ බුද්ධි අංශ අඩපණ කිරීම වේගවත් කරන්න ආණ්ඩුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ෂානි අබේසේකරලාට උපදෙස් දී තිබෙනවා.

‘වන්නි මෙහෙයුම් මූලස්ථානයේ සිට…’

ඒ අනුව බුද්ධි අංශ දඩයමේ නව වටය පසුගිය මාර්තු 13 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළා. බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුම දියත් වන විට වන්නි ආඥා බල ප්‍රදේශය ආරක්‍ෂක කලාපය සහ ආරක්‍ෂක නොවන කලාපය ලෙස කොටස් දෙකකට වෙන් කර තිබුණා. මේ කලාප දෙක වෙන් වූයේ ඕමන්තෙන්. ආරක්‍ෂක කලාපයේ සිට තමයි අපේ ආරක්‍ෂක හමුදා, ආරක්‍ෂක නොවන කලාපයේ යුද මෙහෙයුම් දියත් කළේ. ආරක්‍ෂක කලාපයේ කේන්ද්‍රය වූයේ වව්නියාවයි. වව්නියා ගුවන් හමුදා කඳවුර සහ ඊට යාබඳ යුද හමුදා කඳවුර ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය ලෙස පිහිටුවලා එතැන සිට තමයි මුළුමහත් වන්නියම මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුම ආරම්භ කළේ.

‘බෙදුම්වාදීන්ගේ වෛරයට පාත්‍ර වීම’

ඒ ගුවන් හමුදා කඳවුරට යාබද යුද හමුදා කඳවුර හැඳින්වූයේ ‘ජෝසප් කඳවුර’ නමින්. ඒ ජෝසප් කඳවුරේ තමයි ජාතික බුද්ධි බලකායේ පළමු ඛණ්ඩය ස්ථානගත වී සිටියේ. උතුරු පළාත හෙවත් වන්නියේ සියලු හමුදා මෙහෙයුම්වලට අදාළ බුද්ධි මෙහෙයුම් දියත් කළේ ඉහත කී ජෝසප් කඳවුරේ සිටයි. ඒ නිසාම දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාවේත් ඔවුන්ගේ හාම්පුතුන් වන බටහිර බලවේගවලත් බරපතළ විරෝධයට සහ වෛරයට, මේ ජෝසප් කඳවුරේ සිටි බුද්ධි මෙහෙයුම් නිලධාරීන් සහ සෙසු නිලයන් පාත්‍ර වී සිටියා. 2015 ජනවාරි 08 වැනිදා බලයට පත් වූ මේ රූකඩ ආණ්ඩුවට ඉහත කී බෙදුම්වාදී ඩයස්පෝරාව සහ බටහිර බලවතුන් බලපෑම් කළා ‘වහාම ජෝසප් කඳවුරේ සිටි බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට ගන්න, ඔවුන් හෙළිදරව් කරන්න, ඔවුන්ට අතුරුදහන් කිරීමේ චෝදනා එල්ල කරන්න’ කියා. කොටි සංවිධානයේ නූතන අනුප්‍රාප්තිකයන් වන ආර්. සම්බන්ධන්ලා, විග්නේෂ්වරන්ලා ද මේ ආණ්ඩුවට එවැනිම බලපෑමක් සිදු කළා.

‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කණ්ඩායමක්!’

ඒ බලපෑම්වලට හිස නමපු මේ ආණ්ඩුව, එක්සත් ජාතීන්ගේ විශේෂ මානව හිමිකම් නියෝජිත කණ්ඩායමකට ශ්‍රී ලංකාවට පැමිණිමට ඉඩකඩ හදලා දුන්නා. ‘ශ්‍රී ලංකාව තුළ සිදු වූ අතුරුදහන් කිරීම් ගැන සොයන්න, බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින අය ගැන සොයන්න’ කියමින් තමයි මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නියෝජිත කණ්ඩායම ආවේ. ඔවුන් 2017 දෙසැම්බර් 04 සිට දෙසැම්බර් 15 දක්වා ශ්‍රී ලංකව තුළ සිටියා. අවසාන දින දෙක තුළ තමන්ගේ මූලික ඉලක්කය සපුරා ගැනීමේ උවමනාවෙන් ඔවුන් ජෝසප් කඳවුරට ගියා. ‘බලහත්කාරයෙන් පිරිස් රඳවා ගෙන ඉන්නවාද?’ කියා බැලුවා. එම කඳවුරේ සියලු කටයුතු ඔවුන්ගේ නිරන්තර අවධානයට යොමු වුණා. ජොසේ අන්තෝනියෝ, ගුවේරා මුන්ඬේස්, ලේ ටුමේ, එලීනා ස්ටෙන්ටියර් යන නියෝජිතයන් සිව් දෙනා තමයි මේ කටයුත්තට ශ්‍රී ලංකාවට ආවේ. ඔවුන්ගේ වාර්තාවට අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ෂානි අබේසේකරලා පසුගිය මාර්තු 13 වැනිදා සිට වැඩ අරඹලා තිබෙනවා. ඔවුන් එදින ජෝසප් කඳවුරේ සේවය කළ දැනට විශ්‍රාමික සහ දැනටමත් ක්‍රියාන්විත රාජකාරියේ නිරත නිලධාරීන් 05 දෙනෙකු කැඳවා කටඋත්තර ගෙන තිබෙනවා.

මේ ආණ්ඩුව දැන් එතැනින් නතර වී නැහැ. ජෝසප් කඳවුරේ සේවය කළ සියලුම බුද්ධි අංශ නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිනයන්ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා, ‘ලිපියෙහි සඳහන් පොලිස් ස්ථානයට ගොස් කටඋත්තරයක් දෙන්න’ කියා. මේ මහා බුද්ධි අංශ දඩයම මාර්තු 19 වැනිදා සිට ඇරඹෙනවා.

‘රණවිරු දඩයම් පනත් දෙකම දැන් සම්මතයි’

මේ ආණ්ඩුව 2018 මාර්තු 07 වැනිදා වන විට රණවිරු දඩයම වෙනුවන්ම නීති දෙකක් හදලා තිබෙනවා. එක නීතියක් තමයි, ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත’ ඒ නීතිය යටතේ දැන් කොළඹ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවා තිබෙනවා. එහි කොමසාරිස්වරුන් ලෙස කොටි ධේනුවක් වන නිමල්කා ප්‍රනාන්දු ඇතුළු බෙදුම්වාදී එන්ජීඕ නඩයක් පත් කර අවසන්. තෙල්දෙණියේ ගින්න මැද්දේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද නොතකා පසුගියදා සම්මත කර ගත් ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරිම්වලින් සියලු තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පනත’ රණවිරු දඩයම සඳහා හදපු අනෙක් නීතියයි. ඒ පනත් දෙක මගින් ‘ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා යුද අපරාධ සිදුකර ඇත’ යන ජිනීවා මිථ්‍යාව සනාථ කර ගත හැකියි. එසේ තිබියදී තමයි තවත් වටයකින් බුද්ධි අංශ නිලධාරීන් දඩයම ආරම්භ කර ඇත්තේ. මේ කනගාටුදායක තත්වයට එරෙහිව මේ රටේ කෘතගුණ දත් ජනතාව පෙළගැස්වීමට ජාතික නිදහස් පෙරමුණ සහ ඒකබද්ධ විපක්‍ෂය ලෙස අප කටයුතු කරනවා. රණවිරු දඩයමට එරෙහිව පෙරට එන ලෙස ලක්මාතාවගේ කෘතගුණ දත් සියලු දූ පුතුන්ගෙන් ඉල්ලා සිටිනවා”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ කැස්බෑව නගර සභාවේ මන්ත්‍රීවරු වන අතුල සේනානායක සහ රණවිරු රංජිත් පද්මසිරි යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

Related posts

රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117කින් සම්මතයි

colombotoday

“සමෘද්ධි ව්‍යාපාරය මහ බැංකුවට පවරාගන්න ඉඩ තියන්නේ නැහැ” – ශාන්ත බණ්ඩාර

colombotoday

බේරුවල සිට මල්වාන දක්වා මුස්ලිම් බල ප්‍රදේශයක්… සියළු ආයුර්වේද වෛද්‍යවරු ඉවත් කර මුස්ලිම් (යුනානි) වෛද්‍යවරු පත්කිරීම නි.ඇමතිගෙන් බලපෑම්…

colombotoday

13ට එරෙහිව විරෝධතාව‍යක් – පාර්ලිමේන්තුව අසල උණුසුම් වෙයි

Admin

රටම කැලඹූ තාජුඩීන් ඝාතනය ගැන යෝෂිත පළමුවරට කතා කරයි

colombotoday

ඉයන් සුළි කුණාටුවෙන් පසු කියුබාව අඳුරේ…

colombotoday