Articlesfeatured

අරාබියට එක නීතියක් ලංකාවට නීති ගොඩක්

නිදහස ලැබූ නමුදු බ්‍රිතාන්‍යයන්ගේ චාරිත්‍ර පවත්වාගෙන යාමේ සිරිතක් ලංකාවේ තිබේ. කතානායකවරයා, අග විනිසුරු ඇතුළු විනිසුරුවරුන් විනිසුරුවරියන් හිස් ආවරණයක් (විග්) පැළඳීම නිදසුනකි. “ඔළුව කසන” නිසා හිස් ආවරණයෙන් මිදීමට බ්‍රිතාන්‍යයන් උත්සාහ කරන නමුත් මෙවැනි සිරිත්වලින් මිදීමට ලංකාවේ උගතුන් දරන උත්සාහයක් පිළිබඳ වාර්තා අප දැක නැත. ආගමික කටයුතු වලදී මැල්කම් රංජිත් කොළඹ බිස්කුතුමා ද හිස් ආවරණයක් පළඳියි. වාද්දුවේ පැවති ආගමික උත්සවයකදී ඒ ගැන පැහැදිලි කළ එතුමා ‘ඔටුන්නක් වගේ එකක් දාගෙන ඉන්නෙ ටෙලි නාට්‍ය රඟපාන නළුවො වගේ වෙන්න නොවෙයි. ජනතාවගේ දුක වෙනුවෙන් පෙනී සිටින්න. ඒක කරන්න බැරිනම් අපි මේව ගලවලා දමා යන්න ඕනැ’යි කීවේය.

හිස් ආවරණය ජනතා සේවයේ සංකේතයක් බව ඒ කතාව අසන්නාට හැඟේ. “හිස්වැස්ම මෙන් සාධාරණ විනිශ්චය පළඳිනු ඇත” යනුවෙන් බයිබලයේ සඳහන් වේ. (සලමොන්ගේ ප්‍රඥාව 5:18) ලංකාවේ ඇතැමුන් ඇමරිකන් ජාතිකයින් අතර ජනප්‍රිය ‘කැප්’ තොප්පි පළඳින්නේ නම්, අනුකාරකයින් හැටියට විනා පරමාර්ථයක් ඇතිව නොවේ. පැරණි ගාන්ධාර කතාවක් සේ සැලකෙන වඳුරන් සහ තොප්පි වෙළෙන්දාගේ කතාවෙන් කියැවෙන්නේ වඳුරන් තොප්පි වෙළෙන්දා අනුකරණය කළ බවයි.

ලංකාවේ කුණු කතා නමින් ජනප්‍රිය කතා වර්ගයක් තිබේ. ඒවා සමාන කළ හැක්කේ ඇතැම් නිසදැස් කවිවලට පමණි. නිසදැස් කවියේ ප්‍රාරම්භකයෙකු වශයෙන් සැලකෙන මහාචාර්ය සිරි ගුණසිංහ, ‘කවි එනවා කැරකි කැරකි සිගරැට් දුම් වළලු වගේ’ කියා කවියක සඳහන් කළේය.

කුණු කතා වලින් ප්‍රතිවාදී දේශපාලනඥයින්ට පහර ගසන ‘කැලෑ පත්තර’ නිකුත් කිරීම බ්‍රිතාන්‍යයන් රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවූ කාලයේ සිදුවිණි. පෑන් පොත් හිඟ ඒ කාලයේ කැලෑ පත්තර නිකුත් කරන දේශපාලනඥයන් උතුම් රාජ්‍ය සභාවට අගෞරව කරතැයි කිසිවෙකුගෙන් මැසිවිලි නැගී නැත. වර්තමානයේ එසේ නොවේ. මහජන නියෝජිතයෙකු පාර්ලිමේන්තුවේදී කුණු කතාවක් කී සැණින්, ‘පාර්ලිමේන්තුවේ ගෞරවය රැකිය යුතුයැ’යි සමහර ඡන්ද දායකයෝ මොර දෙති. තමන් මොර ගහන්නේ බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය ආරක්ෂා කිරීමට බව මොවුන්ට නොවැටහේ. ඇඟිල්ලෙන් ඇන පෙන්වුවත් ඒ නොදකී.

පැරණි කැලෑ පත්තරයක අඩංගු වූ කතාවක් මෙසේය: කොළඹ පදිංචි වී සිටි එක්තරා සොරෙක්, වෛශ්‍යාවක වූ සිය මැණිකේ සමග උඩරට දුම්රියෙන් ගම බලා ගියේය. අතරමගදී ඇයට විලිරුදාව ඇතිවිය. දුම්රියේ ගමන් කළ සුදු වෛද්‍යවරයෙක් ඔවුන්ට උපකාරයට ආවේය. එළියටගත් පිරිමි දරුවා අතක් මිට මොලවාගෙන සිටීම වෛද්‍යවරයාට ගැටලුවක් විය. ඔහු සෙමින් දරුවාගේ අතේ ඇඟිලි දිගහැරියේය. එවිට දරුවා මිරිකාගෙන සිටින තමාගේ ඇඟිල්ලේ තිබුණ මුද්ද වෛද්‍යවරයාට දකින්ට ලැබුණි.

මේ කතාව ඇසූ ඔලිවර් ගුණතිලක කෝපවූ බවක් දැනගන්නට නැත. නමුත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ දෙපැත්ත කැපෙන කතාවකට සජබ මන්ත්‍රීවරියක උදහස් වූ අයුරු අපි රූපවාහිනී නාළිකාවලින් දුටුවෙමු. මීට ටික දිනකට පෙර සඳහිරු සෑය හදන්නට මුදල් වැය කිරීම අයහපත් ක්‍රියාවක් ලෙස පෙන්වූයේ ඇයමය. ඒ කතාව වරදක් බව සමහරුන්ට නොවැටහුණි. උදහස් වූ මන්ත්‍රීවරිය සමඟ එක්වී කාන්තාවන්ට විරුද්ධ හිංසනය වැළැක්වීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියෝත් පෙළ ගැසුනහ. රිෂාඩ් බද්දයුද්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ කාන්තාවක මිය ගිය විට පෙර කී මන්ත්‍රීවරියන් කාන්තා හිංසනය වැළැක්වීමට ඒ අයුරින් එක් වූ බවක් අපට දැනගන්නට නැත.

සිංහල බෞද්ධ චින්තනයට අනුව සියලු සත්වයින් හිංසාවෙන් වළක්වා ගත යුතුය. නමුත් ගැටලුව හිංසාව කුමක්දැයි පැහැදිලි කරගැනීමයි. සමහර දෙවිවරු සත්ව බිලිවලට ලොල්ය. දෙවියන් සතුන් මවා ඇත්තේ මනුෂ්‍යයින්ගේ ආහාරයට යැයි සමහර ආගමිකයෝ සිතති. මොන ආණ්ඩුවක් ආවත් දේශපාලනඥයින්ගේ උදව්වවෙන් කැලෑ නසන්නෝ සිටිති. ඇතැම් බටහිර වෛද්‍යවරු හරක් මස් කන්නැයි ලෙඩුන් පොළඹවති.

ඇමරිකානු හමුදාව පලවාහැර ඇෆ්ගනිස්ථානයේ බලය ඇල්ලූ තලිබාන්වරු ඇෆ්ගනිස්ථානයට එක් නීතියක් (ෂාරියා) ඉදිරිපත් කළහ. නයිජීරියාව ඉරානය සවුදි අරාබිය ආදී ඉස්ලාම් රටවල් ගණනාවක රට පුරා ෂාරියා නීතිය ක්‍රියාත්මක වේ. තලිබාන් ෂාරියා නීතියේ විශේෂත්වය එමගින් දැඩි ලෙස කාන්තාවන් පාලනය කිරීමයි. සම්පූර්ණ බුර්කාව නැතිව පාරට බසින ඇෆ්ගාන් කාන්තාවන් ගල් ගසා මරණයට හෝ කස පහර සියයක දඬුවමකට ලක්වේ.

බ්‍රිතාන්‍යය පාලකයෝ සිංහල නීති ක්‍රමය වනසා ඉංග්‍රීසි නීතිය රටේ පිහිටුවූහ. ෂාරියා නීතිය ක්‍රියාත්මක කරන ඉස්ලාම් උසාවි ක්‍රමයක්ද බ්‍රිතාන්‍යය කාලයේ සිට රටේ ක්‍රියාත්මක වේ. ලන්දේසි කාලයේ ඇරඹූ තේසවලමෙයි නීතියට අනුව උතුරේ ඉඩම් මිලයට ගැනීමට සිංහලයන්ට නොපුළුවන. ඉස්ලාම් ආගමික සංවිධාන, සිංහලයන්ට නැගෙනහිර ඉඩම් මිලයට ගැනීම අහුරා තිබේ.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ රටට එක නීතියක් අවශ්‍ය බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ එඩිතර භික්ෂුවකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටට එක නීතියක් සකස් කිරීමට වුවමනා උපදෙස් ලබාගැනීමට පත්කළ ජනාධිපති කාර්ය සාධක බලකායේ නායකත්වයට උන්වහන්සේ පත්කිරීමට විරුද්ධ වන්නෝ තවමත් ඒ අරමුණ ඉටුකර ගැනීමට වෙහෙසෙති. දේශපාලන පක්ෂ වල වහලුන් නිසා ඔවුන් පස්සේ දුවන සිංහල බෞද්ධයන් පිරිසක් ද සිටිති.

කොලට් සේනානායක
නාරද කරුණතිලක

උපුටාගැනීම අන්තර්ජාලයෙන්

Related posts

හතර කේන්දරේ පාළු චීවරධාරීන් රට පස්සට ඇද්දා – මංගල සමරවීර

colombotoday

අපේ ශ්‍රේෂ්ඨාධිකරණය කාන්තාවන්ට අකැපද?

colombotoday

ෂරියා මූල්‍ය සමාගමක් පිහිටුවාගෙන කෝටි 120ක පොල්ලක් තබා ඉන්දියාවට පැන්න ෂිහාම් සීරීබ් අත්අඩංගුවට

colombotoday

බදුයුදීන්ගේ ගෙදර තරුණියෝ 11 ක් කෘරත්වයට. – ඇතැමුන්ට ලිංගික අතවර. තවත් තරුණියක් දුම්රියට පැන දිවි නසාගෙන.

colombotoday

කුලහීනයකුට වතුර උගුරක් නොදෙන තවමත් ඉවරයක් නැති යාපනයේ කුල යුද්ධය

colombotoday

වළලනවාද? දවනවාද? ශරියා ද? සතුරන්ට වඩා ළඟම සිටින ව්‍යාජ මිතුරන්ගෙන් ප්‍රවේසම් වීම වඩා වැදගත්.

colombotoday