ArticlesColombo Today Local News

“මේ ඇසෙන්නේ රට බෙදන පෙරහැරේ ෆෙඩරල් කස කාරයන්ගේ හඬයි” – ඉදුරාගාරේ ධම්මරතන හිමි

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තුව ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ බවට පත් කර තිබෙන මෙම අවස්‌ථාවේ දී දෙමළ ජාතික සංධාන නායකයන් පෙඩරල් පාලනයක්‌ ඉල්ලමින් කරනු ලබන ප්‍රකාශ පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ.

නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව මගින් පෙඩරල් පාලනයකට පාර කැපේද යන කාරනය පිළිබඳව මෙන්ම වර්තමානයේදී බුද්ධ සාසනය මුහුණ දී තිබෙන ප්‍රශ්නවලට විසඳුම් පිළිබඳව අප විමසා සිටියේ කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්‌කෘත අංශයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්ගෙණි. උන්වහන්සේ ඒ පිළිබඳව දැක්‌ වූ අදහස්‌ පහත පරිදි වේ.

ප්‍රශ්නය – පසුගිය සතියේදී උතුරේ මහ ඇමැති විග්නේෂ්වරම් මහතා ප්‍රකාශ කර තිබෙනවා උතුර සහ නැගෙනහිර පළාත් සඳහා එක්‌ රටකුත්, සෙසු පළාත් සඳහා තවත් රටකුත් ස්‌ථාපිත කළ යුතු බව.

ඒ වගේම විපක්‍ෂ නායක ආර්¾ සම්බන්ධන් මහතාත් ප්‍රකාශ කර තිබෙනවා. ජාත්‍යන්තර ප්‍රජාවගේ සහ වත්මන් ආණ්‌ඩුවේ සහයෝගයෙන් පෙඩරල් පාලනයක්‌ ලබා ගත හැකි පසුබිමක්‌ තිබෙන බව.

එම ප්‍රකාශයන් පිළිබඳව ඔබවහන්සේගේ ආකල්පය කුමක්‌ද?

පිළිතුර – රටක්‌ දුර්වල කිරීමට නම් පළමුවෙන්ම ඒ රාජ්‍ය පාලනය වෙනස්‌ කළ යුතු වෙනවා. ලෝකයේ ඉතා ධනවත්ම වටිනා රාජ්‍යයක්‌ ලෙස තමයි හයිටි රාජ්‍යය පැවතියේ. පැපුවානිව්ගිනියා යන රාජ්‍යයත් පැවතියේ ඒ ආකාරයටම තමයි. මෙම රාජ්‍ය දෙකටම වටිනා ඛනිජ සම්පත් හිමිවී තිබුණා.

එම ඛනිජ සම්පත් කොල්ලකෑම සඳහා අධිරාජ්‍යවාදී රටවල් පළමුවෙන්ම කළේ එම රටවල තිබුණු ආණ්‌ඩු වෙනස්‌ කළ එක. ආණ්‌ඩු වෙනස්‌ කිරිමෙන් පසුව අධිරාජ්‍යවාදීන් පළමුවෙන්ම එම රටවල ජනතාව මත්ද්‍රව්‍යවලට හුරු කිරීම ආරම්භ කළා. දැවැන්ත ශක්‌තියකින් යුතු මිනිසුන් ජීවත් වූ මේ දෙරටේ මිනිසුන් අද වන විට අවුරුදු 45 කින් ජීවිතය නිමා කරන තත්ත්වයක්‌ ඇතිවෙලා තිබෙනවා. නිව්ගිනි රාජ්‍යයේ මිනිසකුගේ ආයු කාලය අවුරුදු 45 යි. ඒ අය විශාල වශයෙන් මස්‌ කෑමට පුරුදු පුහුණු කළා. ඒ වගේ රස කාරක, උත්තේජ කාරක, දැකුම්කාරක ආහාර මගින් ඔවුන් රෝගීන් බවට පත් කළා. ඒ වගේම විශාල වශයෙන් ඒඩ්ස්‌ රෝගය පැතිරෙන තැනට කටයුතු කළා. අවුරුදු 18 න් පාසල් හැර යන ආකාරයට අධ්‍යාපන ක්‍රමය වෙනස්‌ කළා.

ඒ සියලු කටයුතු අතරේ එම දෙරටේ තිබූ භෞතික සම්පත් කොල්ලකෑවා. තවමත් කොල්ලකමින් සිටිනවා.

මේ රටෙත් ඒ ටික කරන්න නම් මෙම රාජ්‍යය අස්‌ථාවර රාජ්‍යයක්‌ බවට පත් කරන්න ඕනි. ඒ සඳහා ක්‍රියාත්මක කරන සැලැස්‌මේ පුංචි පුංචි කොටස්‌ තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය එක්‌ කොන්දේසියක්‌ තමයි තමන්ට කැමැති තමන්ට පාලනය කළ හැකි රාජ්‍ය පාලනයක්‌ නිර්මාණය කිරීම. එක්‌ පුද්ගලයකු වටා ගොනු වන රාජ්‍යය දිය කර හැරීම, අධ්‍යාපනය අද පමණක්‌ දකින හෙට නොදකින තැනට වෙනස්‌ කිරීම, සාරධර්ම අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නැති කිරීම, මත්ද්‍රව්‍ය භාවිතයට ජනතාව වැඩි වශයෙන් යොමු කිරීම වැනි කටයුතුවලින් අස්‌ථාවර රාජ්‍යයක්‌ නිර්මාණය කිරීමට පුළුවන්කම තිබෙනවා.

ඒ සඳහා කළ හැකි තවත් කටයුත්තක්‌ තමයි ජාතීන් අනුව රට බෙදීම. විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ සහ මහඇමැති විග්නේෂ්වරම් මහතාගේ මුවින් එළියට ඇවිත් තිබෙන්නේ එම වැඩ පිළිවෙළ තමයි. ඉංගී්‍රසි හෝ සිංහල හඬින් එළියට ආ යුතු වැඩපිළිවෙළ දැන් දෙමළ හඬින් එළියට ඇවිත් තිබෙනවා. ඒ දෙමළ ජනතාවගේ යහපත සඳහා නොවෙයි. ඒ රට දෙකඩ කිරීම සඳහායි. මේ රටේ ජාතීන් කිහිපයක්‌ම වාසය කරනවා. එම ජනතාව ජාතීන් අනුව හෝ ආගම් අනුව වෙන් කළොත් මිනිසුන් වශයෙන් එකතු වෙන්නේ නෑ. ඒ අනුව පැහැදිලිවෙනවා සම්බන්ධන් සහ විග්නේශ්වරන්ගේ හඬින් මේ එන්නේ ඇමරිකාවේ සහ යුරෝපයේ හඬ බව. ඒ හඬ අපට ඇසෙන්නේ ලංකාව අස්‌ථාවර කිරීමට ගිලගැනීමට එන එම රටවල කසකරුවන්ගේ හඬක්‌ හැටියට තමයි.

ප්‍රශ්නය – 2017 වර්ෂය වන විට නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වනවා. ඒ අනුව ලබන වසර වන විට සම්බන්ධන් මහතාගේ සහ විග්නේෂ්වරම් මහතාගේ අපේක්‍ෂාව යථාර්ථයක්‌ බවට පත් වීමට ඉඩ තිබෙනවා නේද?

පිළිතුර – දැන් සෑම දෙයක්‌ම සිද්ධ වෙන්නේ නෛතිකව. මේ කාලයේ ප්‍රතිපත්තිය වී තිබෙන්නේ යුද්ධයෙන් කරන්න බැරි වූ දේ නීතියෙන් හෝ නීතිමය ගැටවලින් කිරීම තමයි. මේ වන විට හාමුදුරුවරු සහ ජනතාවත් නීතිමය ගැටවලට අසු කරමින් සිටිනවා. එලෙස නීතිමය පැත්තෙන් අසරණ කරලා ගැට ගහගන්න තමයි මේ හදන්නේ.

රටක්‌ වශයෙන් වැදගත් කාරණා සලකා බලලා ඔය ව්‍යවස්‌ථාව ගෙන එනවා නම් හොඳයි. මටත් මතයක්‌ තිබෙනවා ව්‍යවස්‌ථාව වෙනස්‌ වන්නේ නම්, එය වෙනස්‌ කළ යුත්තේ කෙසේද කියන එක සම්බන්ධයෙන්. නමුත් යෝජිත ව්‍යවස්‌ථාව හරහා රට කැබලිවලට කැඩීමට සහ ජාතීන් අනුව බෙදීමට යමෙක්‌ උත්සාහ දරනවා නම් අපි අපේක්‍ෂා කරන එකම පරමාර්ථයක්‌වත් ඉෂ්ට වන්නේ නෑ. අපට පෙනෙන ආකාරයට නව ව්‍යවස්‌ථාව ගෙන ඒමට සූදානම් වන්නේ මේ රට ජනතාව ශ්‍රී ලාංකික ජාතිය ලෙස එක්‌ කිරීමට වඩා, රට ජාතීන් අනුව භේද බින්න කිරීමට බව පැහැදිලියි. දැනට තිබෙන සාක්‍ෂි සාධක අනුව එම තත්ත්වය හොඳින්ම පෙනෙන්න තිබෙනවා.

ප්‍රශ්නය – මේ වන විට පාර්ලිමේන්තුව ව්‍යවස්‌ථා සම්පාදන මණ්‌ඩලයක්‌ බවට පත් කර තිබෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුත්a ව්‍යවස්‌ථා සම්පාදන මණ්‌ඩලය නියෝජනය කරනවා.

එම පසුබිම තුළ ව්‍යවස්‌ථා සම්පාදන මණ්‌aඩලය හරහා බෙදුම්වාදී ඉල්ලීම් පරාජය කිරීමේ හැකියාවක්‌ තිබෙනවාද?

පිළිතුර – දේශප්‍රේමි හැඟීම් තිබෙන ජනතා නියෝජිතයන් ඊට එරෙහි වනවා නම් අපි ඒ පිළිබඳව ඔවුන්ට ස්‌තුති වන්ත විය යුතුයි. එසේ නොමැතිව රට පිළිබඳව නොසිතන තැනක ඉඳල යම් අයෙක්‌ සහයෝගය දෙනවා නම්, එය ඔවුන්ගේ පැවැත්ම සඳහා කරන කටයුත්තක්‌ ලෙස තමයි අර්ථ දක්‌වන්න වෙන්නේá යම් අයෙක්‌ තමන්ගේ පැවැත්ම ගැන නොසිතා රට පිළිබඳව සිතා කටයුතු කරනවා නම් ඔහුට ප්‍රණාමය හිමිවිය යුතුයි.

ප්‍රශ්නය – පාර්ලිමේන්තුව ව්‍යවස්‌ථා සම්පාදන මණ්‌ඩලයක්‌ බවට පත් කිරීමෙන් අනතුරුව, 26 දෙනකුගෙන් යුත් කමිටුවක්‌ පත් කර තිබෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතරින් තිදෙනකුට පමණයි එම කමිටුව නියෝජනය කිරීමේ අවස්‌ථාව තිබෙන්නේ.

ඔවුන් තිදෙනාට හැකියාවක්‌ තිබෙනවා ද නව ව්‍යවස්‌ථාව සඳහා බලපෑමක්‌ කිරීමට?

පිළිතුර – ප්‍රමාණාත්මක සහභාගිත්වයක්‌ නොමැති නිසා ඔවුන්ට හැකි වන්නේ අදහස්‌ ඉදිරිපත් කිරීමට පමණයි. එම තත්ත්වය තුළ ඔවුන්ට කිසිදු වෙනසක්‌ කළ හැකි බව මම සිතන්නේ නෑ.

ප්‍රශ්නය – එම තත්ත්වය තුළ 13 වැනි සංශෝධනය ද ඉක්‌මවා යන පෙඩරල් ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය වීම පරාජය කළ හැක්‌කේ කෙසේද?

පිළිතුර – නව ව්‍යවස්‌ථාව සම්පාදනය කිරීම සඳහා පොදු මහජනතාවගේ සැබෑ නියෝජනයක්‌ ලබා ගත යුතුයි. ඔවුන්ගේ අදහස්‌ අනුව හෙට දවස උදෙසා ජාතීන් වශයෙන්, වර්ග වශයෙන් වෙන් නොවන ජාතිවාදී සහ වර්ගවාදී නොවන රටක්‌ සඳහා ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කරගත යුතු වෙනවා. ඒ සඳහා අප කටයුතු කළ යුතුව තිබෙනවා.

ප්‍රශ්නය – රට, ජාතිය, ආගම, ආරක්‍ෂා කිරීමට කටයුතු කරන භික්‍ෂූන් වහන්සේලා මර්දනය කිරීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වන බවට චෝදනා එල්ල වී තිබෙනවා.

එම චෝදනාව පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක්‌ද?

පිළිතුර – මෑතකාලීනව ලංකාවේ වැඩියෙන්ම භික්‍ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගත්තේ මෑතකාලයේදී තමයි. සාමාන්‍යයෙන් පැවිද්දෙකු වේවා ගිහියෙකු වේවා සමාජ විරෝධී වැඩක්‌ කරල තිබෙනවා නම් අත්අඩංගුවට ගැනීමේ වරදක්‌ නෑ.

එහෙත් දැන් සිද්ධ වෙන්නේ ජාතියක්‌ ගැන කතා කිරීම, අධ්‍යාපනය ගැන කතා කිරීම, රටේ ඒකීයභාවය ගැන කතා කිරීම බරපතළ වරදක්‌ බවට පත් කරනවා. එසේ වරදක්‌ බවට පත් කරන අත්අඩංගුවට ගැනීම හොඳ දෙයක්‌ නෙවෙයි. මෙලෙස අත්අඩංගුවට ගැනීම භික්‍ෂූන් වහන්සේලා භීතියට පත් කර හෙට දවසේදී නැඟී සිටීම වැළැක්‌වීම උදෙසා කරන කටයුත්තක්‌ ලෙස තමයි අපිට පෙනෙන්නේ.

ප්‍රශ්නය – මේ වන විට සමහර ප්‍රදේශවල පන්සල් භික්‍ෂූන් වහන්සේලා නොමැතිකම නිසා එම පන්සල් වැසී යැමේ තත්ත්වයක්‌ ඇති වී තිබෙනවා. මේ ප්‍රශ්නයට තිබෙන විසඳුම කුමක්‌ද?

පිළිතුර – ඇත්ත වශයෙන්ම ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා භික්‍ෂූන් වහන්සේලා ලංකාව තුළත් ලෝකය තුළත් විසුරුවා හැරීම සඳහා විශාල වැඩ කොටසක්‌ කළා.

ඊට අමතරව මෑත කාලීනවත් විවිධ නිකායවල භික්‍ෂූන් වහන්සේලා විවිධ සම්ප්‍රදායයන් ඇති කර තිබෙනවා.

අපට ලැබෙන තොරතුරු අනුවත් පුවත්පත්වල පළවන තොරතුරු අනුවත් මේ වන විට ලංකාව පුරාම විහාරස්‌ථාන සියයක පමණ ප්‍රමාණයක්‌ භික්‍ෂූන් වහන්සේලාගෙන් තොර වී තිබෙනවා. ඒ වගේම විහාරස්‌ථාන – දහසක පමණ භික්‍ෂූන් වහන්සේලාගේ සක්‍රීයභාවය අඩුවී තිබෙනවා. ඒ සඳහා භික්‍ෂූන් වහන්සේලාගේ අධ්‍යාපනය පිළිබඳ ගැටලු, ස්‌වාමින් වහන්සේලා ට නිත්‍ය නේවාසික නොවීම, එක්‌ ස්‌වාමින් වහන්සේ නමක්‌ යටතේ විහාරස්‌ථාන කිහිපයක්‌ තිබෙන නිසා සෑම විහාරස්‌ථානයකම රැඳී සිටින්නට නොහැකි වෙන්න පුළුවන්කම යන කාරණා ඒ සඳහා බලපා තිබෙනවා. එම තත්ත්වයන් තුළ දහම් පාසල් පවා පවත්වාගෙන යැමට නොහැකි වී තිබෙනවා. මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ පදවිය වැනි ප්‍රදේශවල මෙම තත්ත්වය දකින්න තිබෙනවා. කිලෝ මීටර් දහයෙන් දහය වගේ දුරකින් දහම් පාසල් තිබෙන කොට එම ප්‍රදේශවල දරුවන්ට දහම් පාසලකට යන්න තිබෙන අවස්‌ථාව අඩුවී තිබෙනවා.

මෙම තත්ත්වය තුළ භික්‍ෂූන් වහන්සේලා අතරට නව වෙනසක්‌ ඇති කළ යුතුය කියල මම සිතනවා. වර්තමානය වන විට විශාල මානව සම්පතක්‌ රට තුළ සිටිනවා. එම මානව සම්පත අතර, විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්, ජීවිතයේ සැඳෑ සමය සැදැහැ සිතින් ගෙවන ව්‍යාපාරිකයන් විවිධ භාෂාවන් පිළිබඳව දැන උගතුන් සිටිනවා. මේ වගේ දැන උගත් සංවරශීලී වැඩිහිටි පිරිසක්‌ මේ රටේ සිටිනවා. ඔවුන්ට පුළුවන් පැවිදි වන්න. පැවිදි කරන්න පුළුවන්. ඔවුන්ට මාස තුනක්‌ පමණ ගිහියන් ලෙසත්, මාස තුනක්‌ පමණ පැවිද්දන් ලෙසත් පුරුදු පුහුණු කරල සමාජ නායකත්වය පිළිබඳව පුහුණුවක්‌ ලබාදීල, ඒ වගේම ජාතිකත්වය පිළිබඳව හැඟීම ලබාදීල, ඇති වී තිබෙන මෙම ප්‍රශ්නයට විසඳුමක්‌ ලෙස යොදා ගන්න පුළුවන්. මේ කාලයේ වැඩිහිටියන් පැවිදිවීම විය යුතු දෙයක්‌ ලෙස මම දකිනවා. මේ වන විට උපවැදිවීමේ ප්‍රවනතාවයකුත් තිබෙනවා. වැඩිහිටියන්ට පැවිද්ද ලබා දීම ඒ සඳහාත් විසඳුමක්‌ වෙනවා. එම නිසා විහාරස්‌ථාන භික්‍ෂුන් වහන්සේලාගෙන් තොරවීමේ ප්‍රශ්නය විසඳීමට වැඩිහිටියන් පැවිදි කිරීම හොඳ විසඳුමක්‌ කියල මම සිතනවා.

සාකච්ඡා කළේ – එරික්‌ ගාමිණී ජිනප්‍රිය

ඉරිදා දිවයින

Related posts

මීළග මෙහෙයුමට ගෝඨාභය සූදානම්… ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගනී ??

colombotoday

මහ බැංකු වාර්තාව ඛේදවාචකයක්. රුපියල අවප්‍රමාණයෙන් ණය බර කෝටි 83,600කින් වැඩි වෙලා

colombotoday

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී පුද්ගලයෙකු මරුට

Admin

කිසිදු අවස්ථාවක ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබදව ජනාධිපති ආරක්ෂක අංශය දැනුවත් කර නොමැති බව හෙළිවේ

colombotoday

සෞඛ්‍ය සේවකයෝ අදත් විරෝධයක

Admin

උදයංග වීරතුංග ඩුබායිහිදි අත්අඩංගුවට ගනී..

colombotoday