Colombo Today Local News

මෛත්‍රීගේ රාජකාරී දුරකථනය භාරව සිටි නිලධාරියා පාස්කු කොමිසමට දුන් සාක්ෂිය

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඒ වනවිට සිංගප්පුරුවේ රැඳී සිටි හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ කරගැනීම සඳහා තමන්ගේ දුරකථනයට ඇමතුමක් ලබා ගත්තේද යන්න පිළිබඳව තමන්ට මතකයක් නොමැති බව හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා පවසයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාව හමුවේ ඊයේ (27)දිනයේ සාක්ෂි ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

කෙසේවෙතත්, කොමිසමේ නිරීක්ෂණය වූයේ මෙම නිලධාරියා මීට පෙර ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ ලබාදී ඇති ප්‍රකාශය සහ ඊයේ දින ලබාදුන් සාක්ෂිවල පරස්පරතා පවතින බවය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පුරුවේ රැඳී සිටි දිනවල ජනාධිපතිවරයාගේ රාජකාරි දුරකථනය අතැතිව සිටි, වර්තමානයේද හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාව කටයුතු කරන ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ඊයේ කොමිසම හමුවේ සාක්ෂි ලබාදුනි.

එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ, එම ගමනට හිටපු ජනාධිපතිවරයා සමග සහභාගී වු පිරිස කවුරුන් ද යන්නය.

ජනාධිපතිතුමාගේ බිරිඳ, පෞද්ගලික වෛද්‍යවරයා, ප්‍රධාන ආරක්ෂක නිලධාරි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ තමන් එම ගමනට සහභාගි වූ බව සාක්ෂිකරු පැවසීය.

ජනාධිපතිවරයාගේ දරුවන් සහභාගි වුණේ නැද්දැයි, අතිරේක සොලිසිටර් ජනාරාල්වරිය පෙරළා විමසීමක් කළාය.

“ජනාධිපතිවරයාගේ පුතා කලින්ම එහේ ගිහින් ඉඳලා, එහෙදී අපිත් සමග සම්බන්ධ වුණා. අනෙක් දරුවන් දෙදෙනාත් සහභාගි වුණා වගේ මතකයි,” යැයි සාක්ෂිකරු පිළිතුරු දුනි.

“ඔබ දැන් කියනවා දරුවන් සහභාගි වුණා කියලා. නමුත් ඔබ මේ කොමිසමේ පොලිස් ඒකකයට ප්‍රකාශ දෙද්දී හිටපු ජනාධිපතිවරයාගේ දරුවන් මේ ගමනට සහභාගි වුණා කියලා සඳහන් කරලා නැහැ නේද ?,” යැයි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ ය.

“නැහැ ස්වාමීනි. මට ඒ වෙද්දි මතකයක් තිබ්බේ නැහැ. මම ඊට පස්සේ කිහිපදෙනෙක්ට කතා කරලයි හොයාගත්තේ. මට දරුවන් ගැනයි, හෝටලය ගැනයි ප්‍රකාශවලදී සටහන් කරන්න බැරිවුණ නිසා මම ඒ ගැන පස්සේ සොයා බැලුවා,” යැයි සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.

“2019 අප්‍රේල් 18 සිට 21 වෙනතෙක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැජට් පාරේ පිහිටි නිල නිවස හරහා සිංගප්පුරුවේ සිටි ඔබ සතුව පැවති හිටපු ජනාධිපතිවරයාගේ රාජකාරි දුරකථනයට ඇමතුම් 43 ක් ඇවිත් තිබෙනවා. ඔබ සතුව පැවති දුරකථනයෙන් ඇමතුම් 07 ක් අරගෙන තිබෙනවා, පැජට් පාරේ පිහිටි නිල නිවසට. ඒ කියන්නේ හිටපු ජනාධිපතිතුමා එතුමාගේ අවශ්‍යතා වලට ඔබ සතුව පැවති දුරකථනයෙන් ඇමතුම් ගත්තා කියන එක නේද?,” රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂකරුගෙන් විමසා සිටියා ය.

“නැහැ ජනාධිපතිතුමාගේ අවශ්‍යතාවලට පමණක් නෙමේ, අපේ අවශ්‍යතාවලටත් ඇමතුම් ගන්නවා. අනික ජනාධිපතිතුමාගේ පවුලේ අයත් සම්බන්ධ වෙලා හිටපු නිසා එයාලට එන ඇමතුම් මේ දුරකථනයට එනවා,” යැයි සාක්ෂිකරු පිළිතුරු දුනි.

“ඔබ ඔය කියන්නේ පවුලේ අනිත් අයට ඇමතුම් එන්නෙත් ඒ අය ඇමතුම් ගන්නෙත් මේ දුරකථනයෙන් කියල ද?, ඒ අයත් හිටපු ජනාධිපතිතුමා වගේ ජංගම දුරකතන භාවිතා කළේ නැහැ කියල ද?,” දැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පෙරළා ප්‍රශ්න කළාය.

“නැහැ, එහෙම නෙමේ. ඒ අය ජංගම දුරකථන භාවිතා කළා. ඒ වුනාට යම් යම් ඇමතුම් ආවා,” යැයි හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා පිළිතුරු දුන්නේය.

“ඉකුත් වසරේ අප්‍රේල් 20 සවස 6.16 ට රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගෙන් ඔබ සතුව පැවති දුරකථනයට ඇමතුමක් ආව ද?,” යනුවෙන් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එහිදී විමසීමක් කළාය.

“නැහැ, එහෙම ඇමතුමක් ආවේ නැහැ” යැයි සාක්ෂිකරු පිළිතුරු දුනි.

එහිදී නැවතත් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ, “පාස්කු ප්‍රහාරය එල්ල වු දින ප්‍රහාරයට පෙර පෙ.ව 7.59 ට පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවස හරහා නිලන්ත ජයවර්ධන මහතා ඔබ සතුව පැවති දුරකථනයට ඇමතුමක් ලබාගත්තේ ද?,” යන්නය.

“දුරකථන ඇමතුමක් ආ බවක් මේ වාර්තාවේ පෙන්නුම් කරනවා. නමුත් මට ඒ ගැන මතකයක් නැහැ,” යැයි සාක්ෂිකරු පිළිතුරු දුනි.

“මහත්මයා, මේ ඇමතුම විනාඩි 2යි තත්ත්පර ගණනක ඇමතුමක්, මතක නැති වෙන්න බැහැනේ,” යැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය යළි ප්‍රශ්න කළාය.

“ස්වාමිනි මේ ඇමතුම ඇවිත් දැන් අවුරුදු එකහාමාරකටත් කිට්ටුයි. ඒ නිසා මට ඒ ගැන මතකයක් නැහැ,” යැයි හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරි ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා පිළිතුරු දුන්නේය.

Related posts

මැතිවරණ කොමිසමෙන් ජනපතිට, අගමැතිට විශේෂ දැනුම්දීමක්…

colombotoday

වම්බටු ගෙඩි 4ක් රු 100යි.. සියළුම එළවලු තොග කිලෝව රු 100 පනී !

colombotoday

රාජකාරී වේලාවේදි පෞද්ගලික වෛද්‍ය සෙවෙයේ යෙදුණ වෛද්‍යවරු අල්ලයි

colombotoday

විදෙස් ප්‍රේෂණ ඉහළ යයි

Admin

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජිල් බෝල ගැසූ 6ක් වටලයි

Admin

විග්නේෂ්වරන් ඉවතට ! උතුරේ නව මහඇමති ශිවාජිලිංගම් ??

colombotoday