Colombo Today Local News

අපි බංකොලොත් රටක් ලෙස නම්වෙලා ඉවරයි… පරිභෝජනය සියයට 25කින් හකුලා ගත යුතුයි

රට තුළ පවතින අර්බුදයෙන් ගොඩඒම සඳහා සියලුම දෙනා සිය පරිභෝජනය 25%කින් හකුලා ගැනීමට සූදානම් වියයුතු බව පාඨලී චම්පික රණවක පවසයි.

ඒ අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ මොහොතේ ප්‍රමුඛතා හඳුනාගෙන ඉන්ධන, ගෑස් සහ විදුලිය කළමනාකරණය කළ යුතු බවය.

“අපි බංකොලොත් රටක් ලෙස නම්වෙලා ඉවරයි. මේ රටේ සම්ප්‍රදායික දේශපාලන ක්‍රමය අද බිඳවැටිලා. ජනතාව අතට නීතිය අරගෙන මේක සිදුකළ යුතුයි කියන තැනට අද පත්වෙලා.”

“ඉතාමත්ම භයානක දේ තමයි පොලීසිය සහ ආරක්ෂක අංශ අද දෙගිඩියාවකින් ඉන්නවා. කුමක් කළ යුතුද? කියලා.”

“අපේ දරුවන්ටත් මේ විදිහට ද ජීවත් වෙන්න වෙන්නේ කියන ප්‍රශ්නය අපිට දැන් පේනවා.”

“මේ සිදුවෙමින් පවතින්නේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂවල බිඳවැටීමත් එක්ක අලුත් ජීවන ක්‍රමයකට රට හැඩ ගැසෙමින් යන ආකාරය.”

“නිව් පෝට්‍රස්, කොළඹ වරායේ ජැටි, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි, දකුණු ත්‍රිකුණාමලයේ ඉඩම්, පුත්තලමේ සුළං බලාගාර වැනි ව්‍යාපෘති ප්‍රසම්පාදන ක්‍රියාවලි මගින් කළා නම් රටට ලබාගත හැකි ප්‍රයෝජනය අතිවිශාලයි.”

“දැන් මේ කරන තාවකාලික පිළියම්වලින් තව පරපුරු දෙකක් අතරමං වෙනවා.”

“නව අගමැතිතුමා හරහා යම් ධනාත්මක බලාපොරොත්තුවක් සමාජයේ ඇතිවුණා.”

“අගමැති ඇතුළු ආණ්ඩුවට මේ මොහොතේ තිබෙන බලගතුම දේ තමයි 21 වන සංශෝධනය විදිමත්ව ගෙනත් තමන්ට දේශපාලන ස්ථාවරත්වයක් තිබෙන බව ලෝකෙට ප්‍රකාශ කිරීම.”

“එහෙම නැතුව මෙතන කෑගහන, අවුල්කරන, කඩාවැටෙන ආණ්ඩුවකට කිසිම රටක් ආධාර ලබාදෙන්නේ නැහැ.”

“අපි ජපානයට තිබෙනවා බිලියන 3කට වඩා ණයක්. චීනයට බිලියන 7කට වඩා ණයයි. ඉන්දියාවට බිලියන 4කට වඩා ණයයි.”

“අපි කිව්වා ණය ගෙවන්න විදිහක් නෑ කියලා. දැන් අපිට පුළුවන් ද ආයේ ගිහින් ආධාර කරන්න කියලා ඉල්ලන්න.”

“අපිට අද ඉතුරුවෙලා තියෙන්නේ එක මාවතයි. ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් අපට ලබාදීලා අපි මෙතෙක් වියදම් නොකර සංවර්ධනයට ලබානොදී ඩොලර් මිලියන 1,900ත් 2,000ත් අතර ගාණක් තියෙනවා.”

“අපිට මේක රීපපස් කරගන්න පුළුවන් නම් මේ ඉදිරි මාස 3 හෝ 4 ට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ විදුලිය ලබාදීමට හැකියි.”

“ඒක අපිට කරගන්න බැරි වුණොත් අපි තවත් අගාධයකට යනවා.”

“දැනටමත් ලෝක බැංකුව ඩොලර් මිලියන 400ක් පමණ දෙන්න පොරොන්දුවෙලා තියෙනවා. නමුත් එය කිසිසේත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.”

“අපේ මිතුරු රාජ්‍යයන් අපිට පිහිට නොවුණොත්… අද අමෙරිකාවේ ආර්ථිකය පහළින් පහළට යනවා. යුරෝපය යුද්ධයක, චීනය කොවිඩ් නිසා පසුබසිමින් ඉන්නවා. ඉන්දියාවෙත් අද විදුලිබලය නැහැ.”

“එහෙනම් අද අපට ඉතුරුවෙලා තියෙන්නේ අපි ගැන විශ්වාසය තියෙලා අපේ ආනයන අපනයන සහ ණය ගෙවීම් පාලනය කරගැනීම සඳහා ගමනක් යන්නයි.”

“අපි ලෑස්ති ද අපේ පරිභෝජනය 25%ක් හකුලා ගන්න. අපි අපේ ප්‍රමුඛතා හඳුනාගත යුතුයි.”

“මේ රටේ බස් 18,000ත් තියෙනවා. ත්‍රීවිල් ලක්ෂ 10ක්, යතුරුපැදි 40 ලක්ෂයක් තිබෙනවා.”

“අපි තීරණය කළ යුතුයි මුලින්ම ඉන්ධන දෙන්නේ දුම්රියට ද බස්වලට ද නැතිනම් සුපිරි රථවලට ද, ත්‍රීවිල් සහ යතුරුපැදිවලට ද කියලා.”

“ඉන්ධන සහ ගෑස් සඳහා අවම ක්‍රියාවලියක් හඳුන්වා දෙන්න ඕනේ.”

“ප්‍රමුඛතාවය හඳුනානොගෙන හැම කෙනාටම තෙල් දෙන්න ගියොත් අපට මේක ඉදිරියට ගෙනියන්න බැහැ.”

“විදුලි බලයත් එහෙමයි. ඒකක 300ට, 180ට වැඩියෙන් භාවිත කරන 250,000ක් ඉන්නවා. ඒකක 60ට වැඩියෙන් භාවිත කරන දුප්පත් ජනතාව 31 ලක්ෂයක් ඉන්නවා.”

Related posts

ඡන්දහිමියන්ට කොමිසමෙන් නිවේදනයක්

colombotoday

මහ බැංකුවෙන් පොළී අනුපාත ගැන දැනුම්දීමක්

Admin

ඇවන්ගාඩ් නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනී.. ඇපමත නිදහස්

colombotoday

රාජ්‍ය සේවක වැටුප් සහ සුබසාධන දීමනා ගැන රජයේ තීරණය

colombotoday

තරගාවලි ජය ශ්‍රී ලංකාවට

Admin

නවක හෙද හෙදියන් 2,519කට අගමැතිගෙන් පත්වීම්

Admin