Colombo Today Local News

නාරාහේන්පිට පොලිස් පිරවුම්හලේ 121ට ඉන්ධන ලබා දීම ගැන පරීක්‍ෂණයක් කරනවා – ඇමැති කංචන විජේසේකර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාසයෙන් ඉන්ධන නිකුත් කිරීම ඊයේ (19)දින උදේ සිට වහාම නවතා දැමූ බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඉන්ධන ඩීසල් ලීටරයක් නව මිල ගණන්වලට යාවත්කාලීන නොකොට රුපියල් 121 කට මීට වසර දෙක තුනකට පෙර තිබූ මිලටම ලබා දීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන බවද හෙතෙම කීය.

මන්ත්‍රීවරුන් සඳහා එලෙස පෝලිම්වලින් තොරව ඉන්ධන නිකුත් කිරීමට පහසුකම් සලසා තිබීම ජනමාධ්‍ය විසින් වාර්තා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ ඇතිවූ කතාබහ අතරතුර ඇමැතිවරයා මේ බව කීය.

බුද්ධික පතිරණ මහතා…

මන්ත්‍රීවරුන්ට රුපියල් 121 ට ඩීසල් දෙනවා කියන එක මහ පජාත වැඩක්. මම අරගෙනත් නැහැ. මගේ බල්ලෙක්වත් ගන්නේ නෑ. කරු ජයසූරිය හිටපු කථානායකතුමා පාර්ලිමේන්තුවට කල්කිරි දෙන්නේ බය වෙන්න එපා කියපු දවසේ ඉඳන් මම මේ පාර්ලිමේන්තුවෙන් තේ එකක්වත් බොන්නේ නෑ. එළියේ ජනතාවට ෆාම් ඔයිල් තිබෙන පිටිකිරි දෙන කොට අපිට ටින්කිරියි කල්කිරියි දෙනවා කියන්නේ මොන තරම් බලු වැඩක්ද? කිසිම මන්ත්‍රීවරයකුට විශේෂයෙන් තෙල් දෙන්න එපා. මේක පාහර තුච්ඡ වැඩක්. අපිට ඕනේ නෑ. මේක නවත්වන්න. අපට එපා. මම ගන්නේ නෑ. අපට විශේෂ වරප්‍රසාද එපා. මම මඟුල් ගෙදරක ගියෙත් නෑ තෙල් නැතුව.

නලින් බණ්ඩාර මහතා..

ඒ මාධ්‍යවේදීන්ගේ දුරකථනවල තිබුණු ඒ දර්ශන ඔබතුමාලා ඩිලීට් කරලා. ඒ සිද්ධිය වෙන වෙලාවේ සීසීටීවී දර්ශනත් තිබුණා. ඒ මාධ්‍යවේදීන් දෙදෙනා වීඩියෝ කරපු ඒ දර්ශන සුරක්ෂිත කර තියාගන්න කියලා මම ඉල්ලනවා.

වීරසුමන වීරසිංහ මහතා…

කථානායකතුමා මේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව බලාගන්න ඕනා. එක් මන්ත්‍රීවරයෙක් ම්ලේච්ඡ ලෙස ඝාතනය වුණා. ඒකට මේ බූරු රැළ වගකියන්න ඕනා. අපි පෝලිම්වල ඉඳලා තමයි තෙල් ගහන්නේ. මගේ රියැදුරු ඊයේ පැය 04ක් තිස්සේ පෝලිමේ ඉඳලා තෙල් ගහගත්තේ. අපිට මැරුම් කන්න වෙන්නේ. ඇඟේ තරමට මොළයක් තියෙනවා නම් මේ වැඩේ කරන්න එපා. මේ වගේ ජනප්‍රිය තීරණ ගන්න එපා. මේ පාර්ලිමේන්තුවේ ගෞරවය රකින්න.

මොහොමඩ් මුසම්මිල් මහතා…

බුද්ධික පතිරණ මහතාට 121ට තෙල් හම්බවුණාට අනෙත් 224ටම හම්බවෙලා නෑ. නමුත් එතුමා ගත්තාට අපි ගත්තේ නෑ. වැරදි සමාජගත කරන්න එපා. තමන්ගේ ජනප්‍රියතාව වෙනුවෙන් මිනිස් ජීවිත බිලි දෙන්න එපා කියලා කියනවා.

බුද්ධික පතිරණ මහතා…

මම කිව්වේ නෑ මම 121 ට තෙල් ගහගත්තා තියලා. මම ඔය පැත්ත පළාතේ ගිහිනුත් නෑ.

ප්‍රසන්න රණතුංග මහතා…

කථානායකතුමාගෙන් අපි ඉල්ලීමක් කළා මේ සතියට පමණක් පාර්ලිමේන්තු එන්න පොලිසියේ ඉන්ධන හලෙන් තෙල් දෙන්න කියලා. පසුගිය දිනෙක මන්ත්‍රීවරයෙක් මැරුවා. මේ තැනකදී තවත් එවැනි දෙයක් වුණොත් කවුද වගකියන්නේ? ඒ නිසා බාල ප්‍රසිද්ධියක් බලාපොරොත්තු වෙන්න එපා.

මහින්ද අමරවීර මහතා…

මේ වගේ වරප්‍රසාදයක් අපි බලාපොරොත්තු වෙන්නේ නෑ. අපිට ඒවගේ වරප්‍රසාදයක් එපා. ඒ වගේම දැන් කුඹුරුවලට වතුර ඇවිත් තිබෙනවා. ඒ නිසා ඒ වාහනවලට අවශ්‍ය ඩීසල් ටික දෙන්න. ධීවරයන්ටත් මේ ප්‍රශ්නය තිබෙනවා. ගොවීන්, ධීවරයන්, කම්හල්වල ප්‍රශ්නය විසඳන්න කියලා ඉල්ලනවා.

විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා…

කිසිම ස්ථානයකින් මේ මොහොතේදීවත් මීට පෙරදීවත් අඩු මිලකට තෙල් දීලා නෑ. ඉදිරියට දෙන්නෙත් නෑ. මේක වැරදි විදිහට සමාජගතවෙලා. කථානායකතුමා ඉල්ලීමක් කළා. පොලිස්පතිතුමාගෙන් පාර්ලිමේන්තු සතියේ මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලබා දෙන්න යම් ඉඩ කඩක් සකස් කරන්න පුළුවන්ද කියලා. පොලිසිය මුදලට තෙල් නිකුත් කරන්නේ නෑ. නමුත් ඔබතුමා ඉල්ලීම කළාම අත්පිට මුදලට පමණක් මේ දින කිහිපයට පවතින නීතිය අනුව සීමාසහිතව තෙල් දෙන්න තීරණය කළා. මේ පොලිසිය ඒ මුදල යාවත්කාලීන කරලා නෑ අවුරුදු දෙකකින්. ඔවුන් ඒ තාක්ෂණික වරද කරලා තිබෙනවා. ඒ නිසා අපි අද උදේ සිට මේ අත්පිට මුදලට තෙල් දීම නවත්වලා තිබෙනවා.

ඒ වගේම අපි මේ යාවත්කාලීන නොකිරීම ගැන පරීක්ෂණයක් පවත්වනවා. විශේෂයෙන්ම කිසිම මන්ත්‍රීවරයකුට වෙළෙඳපොළේ පවතින මුදලට වඩා ශත පහකින් වත් අඩු කරලා නෑ. අපේ සියලු දෙනාගේම වාහනවලට තෙල් ගහන්නේ පෝලිමේ ඉඳලා මහ රෑ 02- 03 වනතෙක්. අපෙන් ඉල්ලීම් කරලා තිබුණත් අපි ඒවාට ඉඩ දුන්නේත් නෑ.

අපි අත්‍යවශ්‍ය සේවා වන ගිලන් රථවලට පමණක් එක් ඉන්ධන හලකින් පමණක් ඉන්ධන ගන්න අවසර දීලා තිබෙනවා. අධිකරණ පද්ධතියෙනුත් ඉල්ලුවා අපි. ඒත් ඉඩ දුන්නේ නෑ. නමුත් දිගින් දිගටම හිතා මතා වෛරය ඇති කිරීමට මාධ්‍ය ආයතන කිහිපයක් ක්‍රියා කළා. ඒ ගැන කථානායකතුමා පියවරක් ගන්න. ඒ වගේම අපි පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා කිව්වා. ඒත් තවමත් පෝලිම්වල රැස්වෙලා. අද දවසේ පෙට්‍රල් දෙන්න වෙන්නේ නෑ.

Related posts

කැළණි විහාරයේ දායක සභාවෙන් දොට්ට දැමූ රනිල් වික්‍රමසිංහ විහාරාධිපති හිමියන්ට විරුද්ධව පරීක්ෂණයක් ඉල්ලයි

colombotoday

චීන තානාපතිගේ ප්‍රකාශය විශිෂ්ඨයි.. ඔහුගැන රජයේ ක්‍රියා පිළිකුල් – NUTA

colombotoday

අපේ ජන බල පක්ෂය ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද ඉල්ලා අස්කරගනු ලැබුවා

colombotoday

තනපට ගැලවූ සංගීතය ගැන ප්‍රධාන සංවිධායක මහේල-සංගා සමාව ඉල්ලයි

colombotoday

පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වෙයි

Admin

කොරෝනා ආසාධිත සංක්‍යාව 197 දක්වා ඉහලට

colombotoday