Colombo Today Local News

ග්‍රෑන්ඩ් හයට් හෝටලයේ ඉතිරි වැඩ වලට සල්ලි නෑ… හිල්ටන් හෝටලයත් සමග විකුණා දැමීමට ඇමති මණ්ඩලය තීරණය කරයි..

රජයේ උපායමාර්ගික දේපළ ගණයට අයත් නොවන හිල්ටන් සහ හයට් හෝටල් ව්‍යාපෘති පවරාදීමේ තීරණය ගත්තේ අමාත්‍ය මණ්ඩලය බවත් එය වාර්ෂික අයවැය කතා කීපයක දී ද යෝජනා කර ඇති බවත් මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එම් අලිහසන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනය මෙසේය. හයට් හෝටලයේ ඉදිකිරීම් කටයුතු අඩක් පමණ දැනට නිමකර ඇති අතර එහි වියදම දරා ඇත්තේ රාජ්‍ය ව්‍යවසායයන් වන අර්ථසාධක අරමුදල, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ලිට්ට්‍රෝ ගෑස් සමාගමයි. ඒ වෙනුවෙන් වියදම්කර ඇති මුදල වන රුපියල් බිලියන 15 සඳහා එම හෝටල් ව්‍යාපෘතිය ජනතාවට වගවිය යුතුය. ඉහත කී රාජ්‍ය ආයතන එම ව්‍යාපෘති සම්පූර්ණ කිරීම වෙනුවෙන් තව තවත් විශාල මුදල් සම්භාරයක් වියදම් කළ යුතු වන්නා පමණක් නොව ඒ වෙනුවෙන් බැංකුවලට ඇප සහතික ද ලබාදිය යුතු වන්නේය. දීර්ඝකාලීන ආයෝජනවලින් ප්‍රතිලාභ ලැබීමට ඉතා දීර්ඝ කාලයක් ගතවන බැවින් මහජන මුදල්, විශේෂයෙන් අර්ථසාධක අරමුදලේ මුදල්, හෝටල් ව්‍යාපෘති ඉදිකිරීම සඳහා නොයෙදවිය යුතුය. මේ හේතුව නිසා හයට් හෝටලයේ ඉදිකිරීම් කටයුතු තවදුරටත් රජයට බරක් නොවන්නට නම් එය සම්පූර්ණ කිරීමට මූල්‍යමය ශක්තියක් ඇති කීර්තිමත් ආයෝජකයකුට එම ව්‍යාපෘතිය පැවරීමට සිදුව ඇත.

හිල්ටන් හෝටලය දැනට ලාබ උපයමින් තිබෙන ව්‍යාපෘතියක් වුවත්, අලූතෙන් ආරම්භ වන අනෙකුත් හෝටල් සමඟ ඇතිවන තරගයට මුහුණදීමට නම් පසුගිය අවුරුදු 30 පුරාවට නවීකරණයකට ලක් නොවූ එහි දැනට පවතින කාමර සියල්ල නවීන පහසුකම් සහිතව අධිශ්‍රේණි ගත තත්ත්වයකට පත්කළ යුතුව ඇත. එබඳු නවීකරණ ක්‍රියාවලියක් සඳහා රුපියල් බිලියන 4 වැඩි මුදලක් වියදම් වෙතැයි බලාපොරොත්තු වේ. තවද මෙම හිල්ටන් හෝටල් පරිශ්‍රයේ අමතර හෝටල් ගොඩනැගිලි කුළුනක් සඳහා අත්තිවාරම් දමා තිබෙන බැවින් හා අක්කර දෙකක පමණ ඉඩම වාණිජ දේපළක් ලෙස නව ආයෝජනයකට යොමු කිරීම හෝ සේවා නිවස්න ව්‍යාපෘතියක් ඉදි කිරීමට යෝග්‍යයය. රාජ්‍ය ව්‍යවසායක් ලෙස හිල්ටන් හෝටලයට මෙබදු නව ආයෝජනවල යෙදවීමට තරම් මූල්‍ය ශක්තියක් නොමැති බැවින් යම් හෙයකින් එසේ කරන්නේ නම් ඒ වෙනුවෙන් මූල්‍යාධාර ලබාදීම රජය කළයුතු වේ. එසේ නොවන්නේ නම් ඒ සඳහා අධික පොලී අනුපාතයක් යටතේ ණය ලබා ගැනීමට සිදුවනු ඇත. මේ කාරණා සැලකිල්ලට ගැනීමේ දි ඉහත දැක්වූ නව ආයෝජන ආරම්භකර ඉදිරියට ගෙනයමින් තව තවත් රැකියා අවස්ථා බිහි කළ හැකි මූල්‍යමය වශයෙන් ශක්තිමත් ආයෝජකයකුට එකී හෝටලය පවරාදීම සාධාරණ කරුණකි.

මෙහිදී වැදගත්ම කාරණය වන්නේ රජයේ භාණ්ඩාගාරය, අර්ථසාධක අරමුදල, ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ලිට්ට්‍රෝ ගෑස් සමාගමට එකී යෝජිත හෝටල් පැවරුමෙන් ලැබෙන මුදල් මහජන සුබසිද්ධිය සඳහා වඩා ප්‍රයෝජනවත් කාර්යයන්හි යෙදවීමට හැකිවීමයි. ඊට අමතරව මෙම ක්‍රියාවලියේ දී හිල්ටන් හෝටලයේ සේවකයෝ සඳහා යම් කොටස් ප්‍රමාණයක් ලබාදීමට රජය ඇපකැපවී සිටී. ඒ පිළිබඳ අවසන් නිගමනයන් ගැනීම සහ උපදෙස් ලබාදීම ඉදිරියේ දී සිදුකෙරනු ඇත. එබැවින් විදේශීය හෝ දේශීය නව ආයෝජකයන් මෙම වත්කම් වැඩිදියුණු කිරීමට ආකර්ෂණය කරගැනීමට තීරණය කර ඇත්තේ එකී දේපළවල හිමිකරුවන්ට මෙන්ම රටේ ආර්ථිකයට ද උපරිම යහපත සැලසීම සදහා බව පැහැදිළි කරුණකි.

මෙම හෝටල් පවරාදීමේ ක‍්‍රියාවලියේ දී රජය විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් අනුගමනය කරයි. මෙය ආයෝජන ව්‍යාපෘතියක් බැවින් නියමිත කාර්යක්ෂම හා ආයෝජන ඇගයුමක් කිරීමට හැකිවන අයුරින් විස්තරාත්මක තොරතුරු සංදේශයක් අදාළ ආයෝජකයන් වෙත ලබාදීම පළමු කොටම කළයුතු කර්තව්‍යයකි. එබැවින් ජාත්‍යන්තරව තම කාර්යාල පවත්වාගෙන යන හෝටල් ව්‍යාපෘති හිමිකම් පවරාදීමේ ව්‍යාපාරවල යෙදී සිටින ස්වාධීන මූල්‍ය උපදේශකයකු පත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. අමාත්‍ය මණ්ඩලය පත්කරන උපදේශක ප්‍රතිසම්පාදන කමිටුවක් හරහා යෝජනා ඉල්ලීම් පත්‍රිකාවක් නිකුත් කිරීමෙන් පසු සිංගප්පූරුවේ ලිසාඩ් ඒෂියා සමාගම සහ ලංකාවේ එම්ටීඅයි උපදේශක සමාගම, අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසු, ඉහත කී ව්‍යාපෘතියේ මූල්‍ය උපදේශකයන් ලෙස තෝරාගෙන ඇත. ඉහත කී යෝජනා ඉල්ලීම් පත්‍රයට ප්‍රතිචාර දක්වා තිබූ දේශීය හා විදේශීය මූල්‍ය උපදේශක සමාගම් 16 අතරින් මෙම සිංගප්පූරු හා ලංකා සමාගම් දෙක තෝරාගෙන ඇත.

ඉන්පසුව අමාත්‍ය මණ්ඩලය පත්කළ සාකච්ඡා කමිටුවක් ඉහත කී පැවරුම් ක්‍රියාදාමය පරීක්ෂා කිරීමට පත්කෙරෙනු ඇත. මූල්‍ය උපදේශකයන් සහ රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාර සඳහා වූ ජාතික ආයතනය එම කමිටුවට සහාය වේ. මෙකී ක්‍රියාදාමයේ පළමු පියවර වන්නේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලියැවිලි කැඳවීමයි. මෙය හුදෙක් ලංසු තබන පාර්ශ්වය කවුරුන්දැයි හඳුනා ගැනීම සඳහා සිදුකෙරේ. කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපි දැන්වීම් පළ වු පසු ඒ හරහා ව්‍යාපෘතියට කැමැති පාර්ශ්වයන් ඔවුන්ගේ ව්‍යාපාරය කුමන ආකාරයේ ද, මූල්‍ය ශක්තිය හා මිල දී ගැනීමට කැමැත්තක් ඇත්තේ කුමන හෝටලේ වත්කම් ද යන්න දැන්විය යුතුය. එවිට ඔවුන් මූල්‍ය උපදේශකයන් සම්බන්ධකරගත් පසු තනි පිටු ආකෘතියක සැකසු ඉල්ලූම්පතක් ඔවුන්ගේ මූලික තොරතුරු ඇතුඵත්කර එවීම සඳහා ඔවුන් වෙත යවනු ලැබේ. එවිට අදාළ හෝටලය සම්බන්ධ රහස්‍ය නොවන තොරතුරු ඔවුන් වෙත ලබාදෙනු ඇත. පසුව අදාළ ආයෝජකයාට එම තනි පිටුවේ ඉල්ලූම් පත සම්පූර්ණකර එවීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා ඉල්ලීම් කිරීමට කාලය ලබාදේ. එබැවින් කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපි එවීමට මුදලින් ලංසු තැබීමක් අවශ්‍ය නොවේ. මේ අතර ලිසාඩ් සහ එම්ටීඅයි සමාගම් ඔවුන්ගේ ජාත්‍යන්තර කාර්යාල හරහා රටවල් කීපයකම සිටින ජාත්‍යන්තර දේපළ වෙළෙඳාම් ආයෝජකයන් හා මේ සම්බන්ධව දැනටමත් සාකච්ඡා ආරම්භකර තිබේ.

Related posts

ලොරියකට පොලිසියෙන් වෙඩි

Admin

අදත් පැය 3කට අධික විදුලි කප්පාදුවක්

colombotoday

චීනයට කොරෝනා ගෙනාවේ ඇමරිකානු හමුදාවෙන් – චීන රජයෙන් චෝදනාවක් !

colombotoday

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ට හා අධ්‍යක්ෂවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි

colombotoday

බස් රථ තුළ වෙළෙඳාම් කිරීම තහනම් !

colombotoday

ජපානයේ අකිහිතෝ අධිරාජයා ජාතිය අමතයි.. රජකම අතහරින බව කියයි

colombotoday