Colombo Today Local News

“සයිටම් වෙඩිල්ල” නාටකයේ සුලමුල

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමීර සේනාරත්න මහතාට වෙඩි තැබීමේ නාටකය රඟදක්‌වා ඇත්තේ එම වෛද්‍යවරයාට ජීවිත තර්ජනයක්‌ ඇති බවට ඒත්තු ගන්වා ඔහුට විශේෂ පොලිස්‌ ආරක්‍ෂාවක්‌ ලබාගැනීමට බව පොලිසිය කළ විමර්ශනවලදී හෙළිවී ඇත. 

වෛද්‍ය සමීර සේනාරත්න මහතා ගමන්ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය නාටකයක්‌ බව හෙළි වී ඇත්තේ එම සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසුවය.

මෙම වෙඩි තැබීමේ නාටකයේ නිර්මාණකරුවා ලෙස කටයුතු කර ඇත්තේ මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු බව ද පරීක්‍ෂණවලින් හෙළි වී ඇත. එම හිටපු මන්ත්‍රීවරයා සහ වෙඩි තැබීමට සම්බන්ධ තවත් තිදෙනකු මේ වන විට සැඟවී සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විමර්ශන ආරම්භ කර තිබේ.

වෛද්‍ය සමීර සේනාරත්න මහතාට මරණ තර්¨ජන එල්ල කරමින් දුරකථන ඇමතුම් ලැබුණු බවට කළ පැමිණිලි ද ව්‍යාජ බවට හෙළි වී තිබේ.

පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළි වී ඇති අන්දමට මෙම නාටකයේ නිර්මාණකරු වන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා වෛද්‍ය සමීර සේනාරත්න මහතාගේ සමීපතම මිතුරෙකි.

සයිටම් ආයතනයට පක්‍ෂව අධිකරණ තීන්දුව ලැබීමෙන් පසු ඊට එරෙහිව විශාල ජනමතයක්‌ ගොඩනැඟුණු අතර විවිධ කණ්‌ඩායම් සයිටම් ආයතනයට විරෝධය පළකරමින් උද්ඝෝෂණ පැවැත්වූහ.

මෙම විරුද්ධ කණ්‌ඩායම්වලින් සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කරන තමන්ට ජීවිත තර්ජන එනු ඇතැයි සිතූ වෛද්‍ය සමීර සේනාරත්න මහතා ඊට විසඳුමක්‌ සෙවීමට උත්සාහ කර ඇති බව පොලිසිය පවසයි.

මෙම සිද්ධියේදී තමන්ට උපකාර කරන ලෙස වෛද්‍යවරයා ඔහුගේ සමීප මිතුරකු වන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට පවසා ඇත. වෛද්‍යවරයා ගමන් ගන්නා මෝටර් රථයට වෙඩි තබා ඔහුට ජීවිත තර්ජනයක්‌ ඇති බවට පොලිසියට ඒත්තු ගැන්වීමේ සැලසුම සකස්‌ කර ඇත්තේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසිනි.

ඒ සඳහා පුද්ගලයන් සිව්දෙනකු යොදාගෙන ඇති අතර නාටකය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 5 ක කොන්ත්‍රාත් මුදලක්‌ ලබාදීමට ද හිටපු මන්ත්‍රීවරයා පොරොන්දු වී ඇත.

අදාළ කොන්ත්‍රාත් මුදලින් රුපියල් ලක්‍ෂයක්‌ හිටපු මන්ත්‍රීවරයා එම කල්ලියට ලබා දී ඇති බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සමීර සේනාරත්න මහතාගෙන් පොලිස්‌ මූලස්‌ථාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය ප්‍රශ්න කර ඇත.

මෙම වෙඩි තැබීම සඳහා යොදාගන්නා ලද මිලිමීටර් 9 වර්ගයේ පිස්‌තෝලයක්‌ද ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

වෛද්‍ය සමීර සේනාරත්න මහතා සයිටම් ආයතනයේ සිට නිවස බලා යද්දී ඉකුත් 06 වැනිදා රාත්‍රි නාඳුනන පිරිසක්‌ ඔහු ගමන් ගත් මෝටර් රථයට වෙඩි තබා තිබිණි.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව පොලිසිය මුල සිටම සැක පහළ කළ අතර වෙඩි තැබීම සිදුවන අවස්‌ථාවේ වෛද්‍යවරයා මෝටර් රථය තුළ සිටියේ නම් අනිවාර්යයෙන්ම තුවාල සිදුවිය යුතු බව ද හෙළිකර ගත්තේය.

බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති නන්දන මුණසිංහ, නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රියන්ත ජයකොඩි, පොලිස්‌ අධිකාරි ප්‍රියන්ත ලියනගේ යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

Related posts

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Admin

කෝප් කමිටුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ට කැඳවීමක්

colombotoday

කාලගුණය ගැන රතු නිවේදනයක්

colombotoday

ජවිපෙ සහ පෙරටුගාමීන් හාල් රු 1000 ට ගියත් කතා කරන්නේ නෑ.- ඔවුන් අතර ඩීල් එකක් තියෙනවා.

colombotoday

ඥාති තිදරු මවට අතවර කළ යක්කලමුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

දේශපාලන පක්ෂ මැයිදිනය සමරද්දී, වනසන ජාතික උරුමය සොයා ඥාණසාර හිමි විජිතපුර යයි

colombotoday