ArticlesColombo Today Local News

සැබෑ සංහිදියාවක් වෙනුවෙන් මහින්ද කළ වැඩ වලින් දශමයක්වත් මේ ආණ්ඩුව කරලා නෑ

gotabhaya665“මහින්ද රාජපක්ෂ රජය මේ රටේ සංහිඳියාව ඇති කරන්න කරපු වැඩවලින් සියයට දශමයක තරමකවත් වැඩක් වර්තමාන ආණ්ඩුව කරලා නැහැ.” තමාට අවශ්‍ය වන්නේ පළමුවැනියා හෝ දෙවැනියා වීම නොවන බවත්, මෙරට ස්වෛරීභාවය, රට බේරාගත් රණවිරුවන් ආරක්ෂා කරන ඕනෑම පුද්ගලයකුට තම සහාය ලබා දෙමින් ඔහු සමග ඉදිරියට ගමන්කරන බවත් හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

හිටපු ආරක්ෂක ‍ලේකම්වරයා මේ බව සඳහන් කළේ රණවිරුවන් සුරැකීමේ ව්‍යාපාරය “විරුවනි ඔබ සුරැකීමට අපි සූදානම්” මැයෙන් සංවිධානය කර තිබූ වැඩසටහනට එක් වූ අවස්ථාවේදීය. කවුරුන් කුමක් කීවද තමන් විශ්වාස කරන ප්‍රතිපත්ති මාලාව වන්නේ මෙරට ඒකීයභාවය, ස්වෛරීභාවය සහ රට බේරාගත් රණවිරුවන් ආරක්ෂා කිරීම බවද එම ප්‍රතිපත්ති කුමන හේතුවක් මතවත් වෙනස් නොකරන බවද හෙතෙම පැවසීය.

“මම ආරක්ෂක ‍ලේකම්වරයා විදියට වැඩ භාරගන්න කලින් ඉඳන්ම විශ්වාස කළා වැදගත් වන්නේ ආයුධය නොව ආයුධය පිටුපස ඉන්න මනුස්සයා කියන කාරණය. මම මිනිසා කෙරෙහි තැබූ විශ්වාසය නිසයි අපි ලබපු සෑම ජයග්‍රහණයක්ම ලබාගන්න හැකියාව ලැබුනේ. අප 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති බවට පත්වන අවස්ථාවේදීත් අද වගේම ඛිෙදනීය අවස්ථාවකයි රට තිබුණේ.
එදා රණවිරුවා මානසිකව බරපතළ ලෙස වැටුණු අවස්ථාවකට පත්වෙලයි හිටියේ. අපේ පළමුවැනිම ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිතුමාට දැනගන්න ලැබුණා. හැම මාසයකම රණවිරුවන් එල්ටීටීඊ ත්‍රස්ත නායකයන් සමග සාකච්ඡා පැවැත්විය යුතුව තිබුණා කියලා.

ඉතින් ඒ වේලාවේ ජනාධිපතිතුමා ලබා දුන් පළමුවැනි නියෝගය වුණේ රණවිරුවන්ට තියෙන්නේ යුද්ධයත් තියෙන අවස්ථාවකට අවශ්‍ය විදියට සූදානම් වීම නිසා සාකච්ඡා කිරීමට අවශ්‍ය නැහැ කියලයි. සාකච්ඡා කිරීම් දේශපාලනඥයන් විසින් කරනවා කියලා ඒ වෙලාවේ ජනාධිපතිතුමා කිව්වා. හමුදා නිලධාරීන්ගේ මානසිකත්වය ගොඩනැගීමට එදා අපි කටයුතු කළේ. ඒ නිසා අපි යුද්ධය අවසන් වෙනකම් රණවිරුවන්ගේ මානසික තත්ත්වය ඉහළ නංවන්න විශාල වැඩසටහන් දියත් කළා.

එහි දී වැස්සට තෙමුණු නිල ඇඳුම් ඇඳන් ඉන්න රණවිරුවන්ව එයාලගේ ඇඳුම් වේලාගන්න ජනාධිපතිතුමා කන්ටේනර්වලට විශාල ෆෑන් සවිකරලා ඇඳුම් වේලාගන්න අවස්ථාව සලසලා දුන්නා. ඒ වගේ සුළු දේවල් ගැන පවා හිත යොමු කරලා අපි කටයුතු කළා. ඒ වගේම හමුදාවට නව සාමාජිකයන් බඳවාගන්න අපහසු කාලයක් තිබුණා. නමුත් ජනතාව අතරට විශ්වාසය ගෙන ගියාට පස්සේ අවුරුදු දෙකක් නොකඩවා හැම මාසයකම අටදහසක පිරිසක් බඳවාගන්න අපිට හැකියාව ලැබුණා. අප රණවිරුවාගේ මානසිකත්වය ගැන සැලකිල්ලට ගෙන යුද්ධය කළා. ඒ වගේම යුද්ධ අවසානයේදීත් අපි රණවිරුවා අමතක කළේ නැහැ.

ලෝකයේ කිසිම රටක කරලා නැති විදිහට රණවිරුවන් රැකබලා ගන්න අපි පියවර ගත්තා. මොකද අපේ රටේ අවුරුදු ගණනාවක් තිබුණ ත්‍රස්තවාදය නිසා රටේ ජනතාවට නිදහස ලබා දුන්න, ජාතියට යළිත් අභිමානය ලබා දුන්න, අපේ ජනතාවට බියෙන් තොරව ගමන් කිරීමට අවස්ථාව සලසා දුන් තමන්ගේ දෑස් අහිමි කරගනිමින් අපි හැමෝටම දෑස් ලබාදුන්, තමාගේ ආරක්ෂාව අහිමි කරගනිමින් අපේ ආරක්ෂාව රැකදුන් ඒ රණවිරුවන්ට රජයක් හැටියට අපේ කෘතගුණ දක්වන්නටයි මේ වැඩසටහන් ක්‍රියාත්මක කළේ.

යුද්ධ පැවතුණේ මහින්ද රාජපක්ෂ සමයේ විතරක් නමෛයි. ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී.බි. විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක යන නායකයන් සියලු දෙනාම ත්‍රස්තවාදය පරාජය කිරීමට හමුදාව යොදා ගත්තා. ඇත්තටම අවසාන අවුරුදු පහක කාලය තුළ දී රට වෙනුවෙන් රණවිරුවන් පන්දහසක් විතර පිරිසක් දිවි පිදුවා. ඒත් මීට කලින් රණවිරුවන් විසිපන්දහසකට වඩා වැඩි පිරිසක් රට වෙනුවෙන් ජීවිතය පූජා කළා.

ඒ වගේම අද වෙනකොට ආබාධිත රණවිරුවන් විසිපන්දහසක් විතර ඉන්නවා. ඒ අයගෙන් වැඩි පිරිසක් ඉන්නේ 2005ට කලින්. ඒත් අපි මේ රණවිරුවන් සියලු දෙනාම වෙනුවෙන් මිහිඳු සෙත් මැදුර, අභිමන්සල වගේ ස්ථාන ඇති කළා. මේ ස්ථානවලට රණවිරුවන් එනකොටයි ඔවුන් පිටව යන විටයි ඔවුන් තුළ ඇතිවෙලා තියෙන වෙනස කොච්චරද කියලා මට දැකගන්න හැකියාව ලැබුණා. සමහර අය මට දෝෂාරෝපණය කළා. හමුදා නිලධාරීන් තානාපතිවරුන් විදියට විවිධ රටවලට යැව්වා කියලා. ඒත් අපි ඒ කාර්යය කළේ ඒ රණබිමේ ඉදිරියෙන් හිඳිමින් සේනාංක මෙහෙයවපු අපේ රණවිරුවන් කළ කාර්යය ඇගයීමටයි. ඒ නිලධාරීන් අපේ විදේශ සේවයේ ඉන්න නිලධාරීන්ට වඩා හොඳින් කටයුතු කළා. අපි රණවිරුවන්ගේ නිවාස ඉදිකරන්න වගේම රණවිරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මේ රටේ තියෙන හොඳම පාසල ඉදිකළා. ඒ වගේම කොතලාවල විශ්ව විද්‍යාලය ඇති කළා. ඒ වගේම විශ්‍රාමික රණවිරුවන්ට රැකියා ලබාදෙන්න රක්නා ලංකා ආරක්ෂක සේවාව වගේ ආයතන ඇති කළා.

මේ සියලුම දේ කළේ අපේ රටේ රණවිරුවන් වෙනුවෙන්. ඒත් අවාසනාවකට වගේ වර්තමාන රජය විශ්වාස කරන්නේ රණවිරුවන් ඇගයීම සංහිඳියාවට බාධාවක් කියලයි. යුද්ධය අවසන් වුණාට පස්සේ අවතැන් වූ ලක්ෂයක් පමණ ජනතාව නැවත පදිංචි කරන තුරු ඔවුන් ඉතා හොඳින් රැකබලා ගත්තා. අවුරුදු දෙකහමාරක් වැනි කාලයක දී එල්ටීටීඊ සංවිධානය වළලපු බිම්බෝම්බ ඉවත් කර ඒවා නැවත පදිංචි කරන්න පුළුවන් ස්ථාන බවට පත් කළා.

ඒ වගේ ලෝකයේ කොහේවත් කරලා නැති ආකාරයට අවුරුදු දෙකහමාරක් වැනි කාලයක දී අවතැන් වුණ සියලුම දෙනා නැවත පදිංචි කළා. යාපනය අර්ධද්වීපය 2009 වෙනකම් තිබුණේ හමුදා කඳවුරක් විදියටයි. ඒත් 2014 වෙනකොට සියයට 90ක් අනවශ්‍ය ඉඩම් ජනතාවට ලබා දුන්නේ අපේ රජයයි. උපක්‍රමශීලීව ඉතා වැදගත් වන ස්ථාන හඳුනාගෙන ඒ ස්ථානවල පමණක් කඳවුරු ඉදිකරලා අනෙකුත් සෑම ස්ථානයක්ම යළිත් ජනතාවට ලබාදෙන්න අපි කටයුතු කළා. පලාලි කඳවුර අවට අධි ආරක්ෂිත කලාපය පමණයි ලොකු හමුදා කඳවුරක් විදියට තියාගත්තේ. මේ ඔක්කොටම වඩා අපි ඉතා බැරෑරුම් තීරණයක් ගත්තා. යුද හමුදාව එක්ක වැඩ කරපු ඊ.පී.ඩී.පී., ප්ලොට් වගේ සංවිධානවලට දීලා තිබුණ ආයුධ යළිත් ලබාගත්තා.

මේ සියල්ලම කළේ සාමාන්‍ය ජන ජිවිතයක් ඇති කරන්න. ඊට පස්සේ ප්‍රාදේශීය සභාවේ ඉඳලා පළාත් සභාව දක්වා මැතිවරණ පැවැත්තුවා. මේ සියලු දේටම වඩා අපේ හමුදාවට භාරවුණ එල්ටීටීඊ සාමාජිකයන් දහතුන්දහස සමාජගත කිරීම විශේෂ ක්‍රියාවක්. මේ රජය සංහිඳියාව කියලා කරන්නේ රණවිරුවන් පහත් තත්ත්වයකට දාලා බහුතරයක් වූ සිංහල ජනතාවගේ මානසිකත්වයට විරුද්ධ ක්‍රියාදාමයකට රට පත් කිරීමයි.

මේ නිසා බහුතරයක් මේ දේට කැමැති නැහැ කියලා අපි දන්නවා. එවැනි තත්ත්වයක් යටතේ සංහිඳියාවක් ඇති කරන්නට පුළුවන්ද? ඒක සංහිඳියාව ඇති කරනවාට වඩා ජාතීන් අතර ක්‍රෝධය තවත් ඇති කරන්නට හේතු වෙනවා. ආණ්ඩුව මේ දේවල් කරන්නේ වෙනත් අවශ්‍යතාවන් සපුරා ගන්නටයි. ඉතින් අද ජනතාව මේ ගැන දැනුවත් කළ යුතුයි.

අද ජනතාවට වර්තමාන තත්ත්වය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ජනතාව පුලපුලා ඉල්ලා සිටිනවා මේ රටට නායකත්වයක් දෙන්න කියලා. මම දැක්කා එක ඇමැතිවරයෙක් කියලා තියෙනවා චැනල් ෆෝ චිත්‍රපටයේ තියෙන දේවල් විශ්වාස කරලා රණවිරුවන්ට දඬුවම් දිය යුතුයි කියලා.

ඒත් මම පසුගිය කාලයේ දී ඇෆ්ගනිස්ථාන යුද්ධය සහ ඉරාක යුද්ධ ගැන ලියැවුණු ‍පොත් කියෙව්වා. ඒවාට අනුව ඇමෙරිකාව තමන්ගේ හමුදාවට අඩුම හානියක් වෙන්න තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒවායේ තියෙනවා ඇමෙරිකා හමුදාව අතින් සිද්ධ වුණ මානව හිමිකම් කඩවීම් පිළිබඳව. හැබැයි රණවිරුවන් වෙනුවෙන් ක්‍රියා කරන්න කියලා කියන්නෙත් ඇමෙරිකාවමයි.

අපේ බුද්ධි අංශ විශාල සේවාවක් කළා. ඒත් අද බුද්ධි අංශ නිලධාරීන් සිරබත් කනවා. ඒත් එයාලා සිරබත් කන්නේ මැරුණාද කියලාවත් දන්නේ නැති පුද්ගලයෙක් මැරුවා කියන චෝදනාවටයි. මේ අයට කියන්නේ ගෝඨාභයගේ නම කිව්වොත් ගෙදර යන්න දෙනවා කියලයි. ඒත් එයාලා මගේ නම කියන්නේ නැහැ. අද රට තුළ තියෙන්නේ නියම ‍පොලිස් පාලනයක්. අද අපි සමහර රටවල ප්‍රාන්ත වහලුන් බවට පත්වෙලා තියෙනවා. මේ වෙනකොට මුස්ලිම් ජනතාව ඇත්ත තේරුම් අරගෙන ඉන්නවා.

නුවන් සේනාරත්න
ඡායාරූප- වෙනුර චන්ද්‍රමාලිත

රිවිර පුවත්ත

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරණ තීරණයට බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයේ විරෝධය…

colombotoday

පාන් ගෙඩිය රු5කින් ඉහළ යයි ! බත් පැකට්ටුවත් රු30කින් ගණන් උස්සන ලකුණු

colombotoday

ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ජන්ම දිනය හෙටයි

colombotoday

රට තුළ මහ ආර්ථික අර්බූධයක්.. එදාවේල කන්නෙත් ණයට අරන්

colombotoday

දකුණු ඉන්දියාවේ සිට රහසේ පැමිණ සැඟවී සිටි සරණාගතයකු හා ඔහුගේ දියණිය අත්අඩංගුවට

colombotoday

වෙහෙරගොඩයාය පුරාවිද්‍යා නටබුන් අන්තවාදීන් විනාශ කර දමයි

colombotoday