Colombo Today Local News

‘නාකි විසේ ගෙටත් උසේ !‘.. Sex, Sexism සහ ලක්ෂ්මන් කිරිඇල්ල

පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ (4) පාර්ලිමේන්තුවේදී මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ප්‍රශ්නයක් විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් ඊට නුසුදුසු ආකාරයේ පිළිතුරක් ලබා දී තිබිණි. ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය විමසා තිබුණේ “මාතර සිට බෙලිඅත්ත දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ඉදිකිරීම් කටයුතු මෙතෙක් අවසන් කර නොමැත්තේ මන්ද?” යනුවෙනි. ඇමති කිරිඇල්ල ඊට අශ්ශීල ලෙසින් පිළිතුරු බැඳ තිබුණේ එකී ඉදිරිකිරීම් කටයුතු දැනට පවතින්නේ අවසන් අදියරේ බවත් අවශ්‍ය නම් එය නැරඹීම සඳහා දෙදෙනාට ම එකට යා හැකි බවත් පවසමිනි. කුණු රසම සොයන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊට මහ හඬින් සිනා සී තිබිණි. කිරිඇල්ලගේ දෙපිට කැපෙන කතාවේ යටි අරමුණු නොදන්නා බබාලා පාර්ලිමේන්තුවේ සිටියේ යැයි උපකල්පනය කරන්නට බැරිය. එහෙත් හුදෙක් ගැහැණියක් වීම නිසාවෙන් මන්ත්‍රීවරියක් රටේ උත්තරීතර ම බව කියන සභාව ඉදිරියේ හෑල්ලුවට ලක් කෙරෙන විට ඊට එරෙහි වන්නට කිසිවෙකුත් නැතිය. මේ, සභ්‍යත්වය, සංස්කෘතිය ගැන තත්පරයෙන් තත්පරයට තෙපරබානා ලංකාවේ හැටි ය.

ගීතා කුමාරසිංහ යනු ඒකාබද්ධ විපක්ෂයේ හෝ මොන කණ්ඩායමක සාමාජිකාවක් වුවද එය මෙතැනට අදාල වන්නේ නැත. එසේම ද්විත්ව පුරවැසි භාවය මත ඇගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ අධිකරණ තීන්දුව හෝ මෙම කරුණට කොහෙත් ම අදාල නැත. ප්‍රශ්නය ඇත්තේ ලිංගිකත්වය මත පුද්ගලයෙකුට වෙනස් ලෙස සැලකීමෙහිය. ‘නාකි විසේ ගෙටත් උසේ’ කියා කතාවක් ද තිබේ. වයසක කිරිඇල්ල ඇමති ඒ මොහොතේද දකින්නේ ගීතා කුමාරසිංහ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය නොව ගීතා කුමාරසිංහ නම් හිටපු සරාගී නිළියවය. ගීතා කුමාරසිංහ නම් කාන්තාව නොව ඇගේ ශරීරය පමණය. ලෝකෙන් උතුම් රට බවට බෑඟිරි ගාන ලංකාවේ බොහෝ තැන්වලදී මෙන් මෙතැන දී ද කිරිඇල්ලට ගැහැණියක් යනු කෙළිබඩුවකි. ඇයට ලැබිය යුතු ගෞරවය ඔහුට අදාල නොවන්නකි.

ලංකාව අන්තර්ජාලයේ sex සොයා ලෝක වාර්තා තියා ඇති නමුත් ලාංකිකයින් sexism ගැන දන්නේ නැත. සැබැවින් ම sexism ගැන දැනුවත් සහ ඊට එරෙහි වන තරම් සංස්කෘතියක් හිමි ජාතියක් වූවා නම් බොහෝවිට අන්තර්ජාලයේ sex සොයා ලෝක වාර්තා තියන්නට යන්නේද නැත. ලිංගික පදනමින් පුද්ගලයකු අපහසුතාවට පත්වන ලෙස හැසිරීම වරදක් බව රටේ පාර්ලිමේන්තුවේ ඉන්නා පුද්ගලයන් නොසලකනා කල ඉතුරු බිතුරු අවශේෂ අය ගැන කතා කිරීම තේරුමක් ද නැත.

අනෙත් අතින් මේ කතාව කියන්නේ දීර්ඝ කාලයක් දේශපාලනයෙහි රැඳුණු වියපත් දේශපාලකයෙකි. ජ්‍යේෂ්ට අධිනීතීඥවරයෙකි. කැබිනට් ඇමතිවරයෙකි. ඒ අතුරිනුත් රටේ උසස් අධ්‍යාපනය භාර ඇමතිවරයා ය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ය. ශෝචනීය කරුණ නම් එතෙක් විස්තර කළ පුද්ගලයාට ශීලාචාරකම යන්න ගෑවීවත් නොතිබීමය. ඔතරම් පට්ටන්දර සහිත කිරිඇල්ල ගීතා ඉදිරියේ ඇද වැටෙන්නේ මර්වින් සිල්වාගේ ගාණටය. ඇත්තෙන් ම මර්වින් සිල්වා ඔවැනි කතාවක් කීවා නම් එය වෙනම ම කරුණක් ය. සැමතින් ම අශීලාචාර රාජපක්ෂ පාලනය මර්වින් සිල්වාව යොදවා තිබුණේ ම කාට හෝ අවිනීත කතා කියන්නට මය. ජනතාව ඒ පාලනය එළවා දැමුවේ වෙනසක් දකින්නට ය. එහෙත් sexism අසල දී කවුරුන් වුවත් අන්තිමේ එකය.

එසේම මේ ආණ්ඩුවේ නම ‘යහපාලනය’ ය. ආණ්ඩුව පිහිටුවීමේ පටන් කතා කළේ සමානාත්මතාව ගැනය. එය වාර්ගික, ලිංගික වැනි ක්ෂේත්‍ර ඔස්සේ සමානාත්මතාව පිහිටුවන්නට කතා නම් ලොරි ගණනින් කියා තිබිණි. එහෙත් Gender equality ගැන නිතර කතා කරනා අගමැති රනිල් වික්‍රමසිංහගේත් ජනපති මෛත්‍රීපාල සිරිසේනගේත් ආණ්ඩුව විසින් පසුගියදා පත් කෙරුණු ජනාධිපති නීතීඥයින් ලැයිස්තුවේ එකදු කාන්තාවක්වත් සිටියේ නැත. කතාව දෝලාවෙන් වුවද ගමන හොම්බෙනි. අගමැතිවරයා සහ ජනපතිවරයා දැන හෝ නොදැන කාන්තාවන්ට සමානව නොසලකද්දී කිරිඇල්ලලාගේ මෙවැනි අවිනීථ කටවල් වසන්නේ කෙසේදැයි අපට වැටහෙන්නේ නැත. ජනාධිපති නීතීඥ ලැයිස්තුවට එකදු කාන්තාවක් හෝ ඇතුළත් නොකිරීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සිය අප්‍රසාදය පළ කරන ලද බව දැන ගැනීමට ලැබුණු අතර ඒ පිළිබඳව ඇයට අපගේ ස්තූතිය හිමි විය යුතුය.

කටට ආ පළියට ඔහේ කතා කියන කිරිඇල්ල යුරෝපා රටක පාර්ලිමේන්තුවක සිටියා නම් කයිවාරුවට ලැබෙන ප්‍රතිචාරය සෙල්ලම් වන්නේ නැත. යුරෝපා රටක පාර්ලිමේන්තුවකදී ගැහැණියකට මෙසේ අශ්ශීල ලෙස ඇමතුවේ නම් පැය 24ක් තුළ ඔහුට ඉල්ලා අස් වීමට සිදුවන අතර විශාල වන්දි මුදලක්ද අදාල කාන්තාව වෙත ගෙවීමට සිදුවේ. එහෙත් මේ සකල සිරින් පිරි සිරිලංකාවය. මෙහිදී එවැන්නකට හැමෝට ම හිනා ය.

ගීතා කුමාරසිංහට වඩා වයසින් තරමක් බාල දියණියන් සිටින පියෙකු හැටියට, සුරූපී බිරිඳක් සිටින සැමියකු හැටියට අවම වශයෙන් එකී කාන්තාවන්ගේ ආත්ම ගෞරවය හෝ ආරක්ෂාවන පරිද්දෙන් හැසිරෙන්නට ජ්‍යේෂ්ට අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල ඉගෙන ගත යුතුව ඇත. වර්ගවාදයටත් වඩා අන්ත පුරුෂෝත්තමවාදයක ගිළී, එවැන්නක් ගැන නොදන්නාක් මෙන් නොසලකා ඉන්නා කිරිඇල්ලලා වෙත අපට කියන්නට ‘විලි ලැජ්ජයි!!’ කියාය.

FB

Related posts

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටි දුම්රිය ගමන් නවතී !

colombotoday

වනැල, විහාරගල රක්ෂිතය කැබලි කර බෙදා දුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

colombotoday

දකුණු පළාතේ සෞඛ්‍ය සේවකයින් සංකේත වර්ජනයක

colombotoday

නව කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි.

colombotoday

වෙළෙඳ ඇමති ඩුබායි යයි

colombotoday