ArticlesColombo Today Local News

පරාජිතයන් පිරි පාර්ලිමේන්තුවක, ජනතාව රවටා සම්මතකර ගැනීමට යන නව ව්‍යවස්තාව කුණු කූඩයට !

sllosd66ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (ක‍්‍රි.ව. 1798-1815) සිංහලේ අවසන් රජු විය. 1815 දී කන්ද උඩරට ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ සිට බ්‍රිතාන්‍යයන් අප පාලකයෝ විය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කෘර පාලකයෙක් හැටියට සැළකෙන්නේ ඇහලේපොළ කුමාරිහාමි ඇතුළු පවුල ඝාතනය කරවූ ආකාරයෙන් බව කියයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කෘර පාලනයෙක් වූයේ නම් එම රජු සිහසුනෙන් නෙරපා දමා ඇති කරගත් පාලන ක්‍රමය ජනතා හිතවාදී එනම් කෘර නොවන පාලනයක් විය යුතුය. එය එසේ වීද? පෘතුග්‍රීසීන් පළවා හැරීමට ලන්දේසීන්ගේ උදව් ගැනීම ඉගුරැ දී මිරිස් ගැනීමක් වූ ආකාරයට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නොරපා දමා බ්‍රිතාන්‍යයන්ට රට යටත් කරදීමෙන් වූ සන්හිදියාව කවරාකාරයක් ගනීද?

1971 සහ 1988-1989 කාලයේදී ටයර් සෑමත දැවී පිළිස්සීගිය තරැණ ජීවිත සහ ඇහලේපොළ කුමාරිහාමි ඇතුළු පවුල ඝාතනය කිරීම අතර යුක්ති සහගත භාවයේ දෙයාකාරයක් වෙයිද? රජුගේ අණමත ඇහලේපොළ කුමාරිහාමි ඇතුළු පවුල ඝාතනය විය. 1971 සහ 1988-1989 කාලයේදී ටයර් සෑමත තරැණ තරැණියන් දැවී පිළිස්සී ගියේ නිදහස් සවෛරී ස්වාධීන ශ්‍රීලංකාවේය. විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණය නැමති ආයතන රටේ ප්‍රධාන පාලන ආයතන වී තිබෙද්දීය. එදා රජ සමයේදී මෙන් නොව නිදහස් අධිකරණ පද්ධතියකින් යුක්තිය පසිදලද්දී 1988-1989 කාලයේදී තරැණ තරැණියන් කෘරලෙස ඝාතනය විය. එදා ඇහලේපොළ පවුල ඝාතනය අමානුෂික වීමත් 1988-1989 කාලයේදී තරැණ තරැණියන් කෘරලෙස ඝාතනය විම මානුෂික වීමත් එක්වර සිදුවිය නොහැකිය.

වර්ෂ 1815 දී බ්‍රිතාන්‍යයන් රට යටත් කර ගැනීමෙන් පසු ඇති වූ නිදහස දිනා ගැනීමේ අරගල වල ප්‍රතිඵල ලෙස 1947 සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහිකරගත් බව කියති. ඉන් නොනැවතී බ්‍රිතාන්‍යය කිරීටයේ අධිකරණ වලින් මිදීමට කියා 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරමින් එහි 1වන ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරී ස්වාධීන ජනරජයක් විය. 1947 දී මෙන්ම 1972දී ද ඇතිකරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වලින් රටේ නිදහස නොමැති බව තේරැම් ගත් අප ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ විධායක ප්‍රධානීන් නැවත 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවා ගනිමින් ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරී ස්වාධීන ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට පත් කර ගත්තේ ය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවා ගත්තාට අමතරව මේ වන විට එය 19වතාවක් සංශෝධනය කර ගැනීමටද ක්‍රියා කර ඇත.

ව්‍යවස්ථාදායකය විසින් අවසාථානුකූලව 1947, 1972 සහ 1978 සිට 2015 දක්වාම වරින් වර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස් කර ගත්තද නැවත එය සම්පූර්ණයෙන් වෙනස් කර අලුතින් නව ආණ්ඩුක්‍රමයක් සකසා ගැනීම සදහා 2වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයද පත් කර ගනිමින් මේ වන විට පාර්ලිමේන්තුවේ විශාල මෙහෙයුමක්ද ක්‍ර්යාත්මක වෙයි.

1947, 1972 සහ 1978 සිට 2015 දක්වාම වරින් වර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස් කර ගැනීම සහ මේ වන විට ඒ සදහා 2වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයද පත් කර ගනිමින් නව ආණ්ඩුක්‍රමයක් සකසා ගැනීමට කටයුතු කිරීම මගින් පෙනී යන පැහැදිලි කරැණු වන්නේ 1815 දී අපෙන් උදුරා ගත් නිදහස සොයා යන ගමනේදී ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ ආයතන ත්‍රිත්වය ම වල්මත් වී සිටින බව මිස වෙන දෙයක් නො වේ.

1815 සිට අපට අපේ කියා කිසි දෙයක් නොමැති තත්ත්වයට පත් විය. අපේ ආගම, අපේ නීතිය, අපේ භාෂාව, අපේ රට කියා දෙයක් නැති කරගැනීම සිදු වූයේ 1815 කන්ද උඩරට ගිවිසුමේ ප්‍රතිඵලයෙනි. එදා සිට අපි අපේ දේ සොයා යන නමුත් මහා උජාරැවෙන් අපිම පනවා ගත් 1947, 1972 සහ 1978 සිට 2015 දක්වාම වරින් වර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස් කර ගත්තද ඒ කිසිත් අපේ කම හොයා ගත් බවට පිළිතුරැ නො වීය. 1815 අපෙන් උදුරාගත් නිදහස නැවත අපට ලබා ගත හැකි වූයේ නම් මේ ආකාරයට වසරෙන් වසර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනුවෙන් කාලය සහ මුදල් සහ ශ්‍රමය වැය කිරීමට අවශ්‍ය නොවන්නේ ය. නමුත් ලංකාවේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන ත්‍රිත්වයේ ප්‍රධානීන්ගේ නො හැකියාව පෙන්නුම් කරමින් ලාංකිකයන් නිතිපතා රටේ පාලන ක්‍රමයට අදාල ආණ්ඩුක්‍රමය වෙනස් කරමින් දිවි ගෙවන්නන් බවට පත් වී සිටිති. වඩා හාස්‍ය ජනක සිදුවීම වන්නේ වර්තමානයේ ක්‍රියාත්මක වන 2වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් යෝජනා කරන ආණ්ඩුක්‍රමය පවා ජනමතවිචාරණයකින් සම්මත වුවද එහි ආයුකාලය පිළිබදවය.

2වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ පරාජිතයන් අසුන්ගෙන සිටීමත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ජාතික ආණ්ඩුවක් පවත්වා ගනිමින් ඇමති මණ්ඩලය වැඩිකරගෙන සිටීමත්, හිටපු අගවිනිසුරැවරයා අනීතික ලෙස ඉවත් කරගනිමින් නව අගවිනිසුරැවරයෙකු පත් කර ගැනීමත් යන නීතිවිරෝධී ආකාරයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවිමට ක්‍රියාකරන හෙයින් මේ පැනවීමට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිසේත් නීත්‍යානුකූල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නො වන තැනට පත් වී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බලහත්කාරයෙන් මෙන්ම කිහිප දෙනකුගේ බලය මත පැනවීම ශිෂ්ට ලෝකය අනුමත කරන්නේ නැත.

එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් චාටු කථා කියමින්, පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් මෙන්ම හොර ජනමතවිචාරණයකින්ද ජනතාව රවටමින් සම්මත කරගත හැකි නමුත් ජනතාවගේ බලය එකී ආණ්ඩුක්‍රමයට නො ලැබේ.

1947, 1972 සහ 1978 සිට 2015 දක්වාම වරින් වර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස් කිරීමට සිදුවූයේ එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලින් යටත් විජිත වහල් බැමි බිදීමක් සිදු කරනු නොලැබූ හෙයිනි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1වැනි ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරී ස්වාධීන ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට පත් කරනු ලැබුවද එහි 140 සහ 141 ව්‍යවස්ථා මගින් රිට් (Writ) ආඥා සම්බන්ධව අධිකරණ බලය එංගලන්තයට පවරා දුන්නේ ය. ලංකාවේ පවතින සියලු නීති සිංහලෙන් සහ දෙමළෙන් පැනවිය යුතු බවට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.4 ව්‍යවස්ථවේ දක්වා තිබුණද නීතිපති දෙපාර්තමේන්තුව සහ එය මෙහෙයවන ලන්ඩන් වලින් LLM -PHD ගත් නීතීඥවරැ ඒ සදහා අවහිර කරති. වමතෙන් ගන්නා නිදහස දකුණතෙන් පාවා දෙනවා කියන්නේ මේ ආකාරයේ කටයුතු සිදුවන විටය.

ජාත්‍යන්තර නීතිය සහ යටත් විජිත නීතිය යනු එකක් නොව දෙකකි. වර්තමාන ලංකාවේ තීතිපද්ධතිය සකස් වී ඇත්තේ ජාත්‍යන්තර නීතිය යනු යටත් විජිතභාවය බවට සිතන නීතීඥවරැන්ගේ ඒකාධිකාරය තහවුරැවන ආකාරයටය. 11 වන ලොක යුද්ධයේ නියමුවන් වූ ජර්මනිය‍, ජපානය සහ ඉතාලිය වර්තමානයේ පවා සෘජු කාය විලාශයෙන් නැගී සිටීමත්, අභ්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවලියකින් ජයගත් ලාංකිකයන් ජාත්‍යන්තර යුධ අපරාධ උගුලේ සිරකිරීමත් වටහා ගැනීමෙන් ලංකාවේ නීති පද්ධතියේ පවතින යටත් විජිත ගැතිබව පහසුවෙන් තේරැම් ගත හැකිය. ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය මෙහෙයවන්නේ ශ්‍රී ලංකා නීතී විද්‍යාලයේ හෝ කොළඹ විශ්ව විද්‍යාලයේ හෝ විවෘත විශ්ව විද්‍යාලයේ නීතීඥවරැ හෝ නීති උපාධිධාරීන් නො වෙති. ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය මෙහෙයවන්නේ ලන්ඩන් නීතීඥවරැ වෙති. ලන්ඩන් වලින් නීතීඥවරැ වූ හෝ ලන්ඩන් වලින් LLM හෝ PHD ගත් නීතීඥවරැ ලංකාවේ නීතිපද්ධතිය පාලනය කරයි. දේශීය නීතීඥවරැන් ලන්ඩන් නීතීඥවරැන්ගේ ආවතේවකරැවන්ගේ තත්ත්වයට ඇද දමා ඇත්තේ නිදහස් චින්තයක් යටත්විජිත නීති ක්‍රමයකට ආගන්තුක හෙයිනි.

වර්තමානයේ ක්‍රියාත්මක 2වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් යෝජනා කරන ආණ්ඩුක්‍රමය පවා මෙහෙයවන්නේ ලන්ඩන් වලින් LLM -PHD ගත් නීතීඥවරැ විසිනි. මොවුන් කිසිවිට රටේ ජනතාවගේ නිදහස ලගාවන අකාරයට නීති සම්මත නොකරයි. සිදුවන එකම දෙය වන්නේ යෝජිත ආණ්ඩුක්‍රමයත් 1947, 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙන්ම වැඩි කල් නො ගොස්ම කුණු කූඩයට යාම පමණි.

රටට, ජාතිකත්වයට ඇලුම්කරන නීතීඥ ප්‍රජාවක් බිහිවන තෙක් ම තට්ටු මාරැ ක්‍රමයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පැනවෙමින් ජනතාව ගොනාට අන්දනවා දැක ගත හැකි වනු ඇත.එතෙක් ඇහලේපොළ කුමාරිහාමි ඇතුළු පවුල ඝාතනය වූ ආකාරයට 1971 සහ 1988-1989 කාලයේදී ටයර් සෑමත තරැණ තරැණියන් දැවී පිළිස්සී ගිය ආකාරයට.. උපන්බිමේ සුජාත පුතුන් සහ දියණිවරැ ආකලයේ පරවී යනු දැක ගත හැකිය. ජාතිකත්වය සහ ජාතිවදය අතර වෙනස නොදකින පුරවැසියන් සිටින සමාජයක යටත් විජිත භාවය තහවුරැ කිරීම පහසු වෙයි.

Related posts

බොරැල්ලේ වෙඩිතැබීමට සැකකරුවන් හසු වෙයි

Admin

වනාතවිල්ලූවේ ගොඩනගන් නට ගිය වහාබ් මිටියාවත, ඉස්ලාම් මූලධර්මවාදය රහසින් කි‍්‍රයාත්මකයි…!

colombotoday

Video: ඉල්ලන්නේ නෑ කිවුවට ඉල්ලනවාමයි – ශ්‍රීලනිපයේ මීළග ජනපති අපේක්ෂකයා මෛත්‍රීමයි !!

colombotoday

කැළණිතිස්සෙන් නුදුරේදීම මෙගාවොට් 165ක් යළිත් ජාතික විදුලිබල පද්ධතියට

colombotoday

රාජිතගේ චක්ගෝලයා රූමි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ධූරයට – මිස්ටර් 10% ලෙස නමකුත් පටබැදේ

colombotoday

රඹෑව ප්‍රදේශයේදි අනතුරකින් තිදෙනෙක් මරුට

Admin