ArticlesColombo Today Local News

ඒකීය – සන්ධීය – එක්‌සත්, වචන හරඹය සහ රට බෙදීමේ මාර්ග සිතියම

ds666වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර

ටී.එන්.ඒ පක්‍ෂය ඊනියා ”දෙමළ ප්‍රශ්නයට” ව්‍යවස්‌ථාමය විසඳුම් ලෙස දිගින් දිගටම ඉදිරිපත් කරන්නේ 2009 දී ඔවුන් විසින් සර්ව පාක්‍ෂික විද්වත් කමිටුවට ඉදිරිපත් කළ යෝජනා මාලාවයි. ඊට අනුව ඔවුන් ඉල්ලා සිටින්නේ ”එක්‌සත්” ශ්‍රී ලංකාවක්‌ තුළ බලය බෙදීමයි. එක්‌සත් සහ ඒකීය යන වචන වල සමාන අර්ථ ඇති බවත් මතු පිටින් පෙනේ. එහෙත් එක්‌සත් ව්‍යවස්‌ථාවක්‌ යනු සන්ධීය හෙවත් ෆෙඩරල් බලතල වෙනම රාජ්‍යයක ආසන්නය දක්‌වාම ලබාදෙන ”සහ-සන්ධීය” හෙවත් කොන්ෆෙඩරල් ව්‍යවස්‌ථාවකි. ඊට අලවන ලේබලය කුමක්‌ වුවත් ඒ තුළ තිම්පු මූලධර්ම හෙවත් දෙමළ ජනතාව වෙනම ජාතියක්‌ බව, උතුරු නැගෙනහිර පළාත් ඔවුන්ගේ නිජභූමිය බව සහ ඔවුන්ට ස්‌වයං තීරණ අයිතිය ඇති බව පිළිගත් විට ෆෙඩරල් බලතල කොන්ෆෙඩරල් හෙවත් සහ – සන්ධීය බලතල බවට පත්වේ.

එක්‌සත් හෙවත් සහ-සන්ධීය හෙවත් කොන්ෆෙඩරල් ව්‍යවස්‌ථාවක්‌ මගින් උතුරු නැගෙනහිර ජනතාව සහ රටේ සමස්‌ථ ජනතාව අතර පරමාධිපත්‍යයේ බලය සමානව බෙදී යයි. එම ප්‍රදේශයට ස්‌වයං පාලන බලතල ලබාදීමේ මූලික න්‍යායාත්මක පදනම වන්නේ එයයි. කැනඩාවේ ක්‌විබෙක්‌ ප්‍රාන්තයට සහ නැගෙනහිර ටිමෝරයට අදාළව ජාත්‍යන්තර අධිකරණය මගින් ලබාදී ඇති නඩු තීන්දුවලට අනුව එසේ ලබාදෙන ස්‌වයං පාලන බලය ක්‍රියාත්මක කිරීමට එරෙහිව මධ්‍යම රජය විසින් බාධා එල්ල කරන්නේනම් එම ජනතාවට වෙන්වීමේ අයිතිය හිමිවේ. නමුත් 2013 දී ජාතිවාදී පක්‍ෂ කිහිපයක්‌ සහ වර්තමාන යහපාලන රජයේ නායකයන් කිහිප දෙනෙකු අතර සිංගප්පූරුවේදී ඇතිකර ගත් කුප්‍රකට ”සිංගප්පුරු එක`ගතාව” අනුව ව්‍යවස්‌ථාවේ ”ඒකීය” වචනය තිබීම ටී.එන්.ඒ පක්‍ෂයට ගැටලුවක්‌ නොවේ. කෙසේ වෙතත් ඊට පෙර 2003 රනිල් වික්‍රමසිංහ ආණ්‌ඩුව විසින් ඇතිකරගත් ”ඔස්‌ලෝ එක`ගතාව” අනුව ටී.එන්.ඒ පක්‍ෂය ඉල්ලා සිටියේ ෆෙඩරල් ව්‍යවස්‌ථාවකි. මෙම තත්වය පැහැදිලි කරන්නේ කෙසේද?

ඔස්‌ලෝ එක`ගතාවයේදී ඔවුන් ඉල්ලා සිටි සන්ධීය හෙවත් ෆෙඩරල් බලතල සහ ඉන් පසුව 2009 දී එක්‌සත් ලේබලය යටතේ ඉල්ලා සිටි බලතල අතර බරපතල වෙනසත් නැත. ෆෙඩරල් හෙවත් සන්ධීය රාජ්‍ය ක්‍රමයේ එක්‌ අන්තයක්‌ වන්නේ ඕනෑම වේලාවක නීත්‍යානුකූලව වෙන්වීමේ අයිතිය ඇති ස්‌වයං පාලන ඒකකයක්‌ පිහිටුවීමයි. එවැන්නකට සන්ධීය, ෆෙඩරල්, සහ-සන්ධීය, කොන්පෆෙඩරල් හෝ එක්‌සත් ආදී ඕනෑම ලේබලයක්‌ ඇලවිය හැක. එහි මෙහා අන්තය වන්නේ ෆෙඩරල් ලේබලය නොමැතිව එහෙත් අභ්‍යන්තර ගැටුම් සහ ජාත්‍යන්තර මැදිහත්වීම් තුළ බලහත්කාරයෙන් බෙදා වෙන් කිරීම සාධාරණිකරණය වන තරමට ෆෙඩරල් බලතල ලබාදීමයි. ඉන්දියාවේ පවතින්නේ ඒ ආකාරයට ෆෙඩරල් ලේබලය නොමැතිව ෆෙඩරල් රාජ්‍යයකි. එවැනි රාජ්‍යය අර්ධ ෆෙඩරල් රාජ්‍යය ලෙසද හැදින්වේ.

හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතාට අනුව ශ්‍රී ලංකාවේ ෆෙඩරල් ලේබලය නොමැතිව ඒකීය ලේබලය යටතේ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මගින් ලබාදුන් බලතල ඉන්දියාවේ යම් ෆෙඩරල් බලතල ඉක්‌මවා යන තත්වයක්‌ පවතී. ඔහුට අනුව එම ෆෙඩරල් බලතල යම් පමණකට පාලනය වන්නේ ප්‍රබල විධියක ජනාධිපති බලතල නිසාය. ඉන් ඉතා හොඳින් පැහැදිලි වන්නේ ඒකීය ලේබලය යටතේ පවා ෆෙඩරල් බලතල ලබාදිය හැකි බවයි. ඊට හේතුව රාජ්‍යයක ව්‍යqහය පැහැදිලි කිරීමට යොදා ගන්නා ‘ඒකීය’ වචනයට ෆෙඩරල්, සන්ධීය, කොන්ෆෙඩරල් සහ සන්ධීය එක්‌සත් හෝ සමූහආණ්‌ඩු වැනි වචනවලට මෙන් ජාත්‍යන්තරව තහවුරු වූ හැඳින්වීමක්‌ නොමැති වීමයි. සිංගප්පූරු එකඟතාවයේදී ‘ඒකීය’ වචනය ප්‍රශ්නයක්‌ නොවන බව එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසන්නේ ඒ නිසාය. ඒ අනුව ටී.එන්.ඒ පක්‍ෂය දැන් ඉල්ලා සිටින්නේ සහ වර්තමාන ආණ්‌ඩුව ව්‍යවස්‌ථා සම්පාදක සභාව හරහා ලබාදීමට එක`ගවී ඇති බව පෙනෙන්නේ ඒකීය ලේබලය යටතේ දැනටමත් ලබාදී ඇති මෙහා අන්තයේ ෆෙඩරල් බලතල එහා අන්තයේ ෆෙඩරල් බලතල දක්‌වා වර්ධනය කිරීමයි. එසේ ලබාදෙන බලතලවලට එක්‌සත් ලේබලය අලවනවාද? යන්න සහ ලබාදෙන බලතල ප්‍රමාණය හෙවත් එහා අන්තයට කොතෙක්‌ දුර යනවාද යන්න තීරණය වන්නේ බහුතර මහජනයාගේ විරෝධයේ ප්‍රමාණය මත බව පැහැදිලිව තේරුම්ගත හැක. ව්‍යවස්‌ථාවේ ලේබලය කුමක්‌ වුවත් ව්‍යවස්‌ථාව මගින් තිම්පු මූලධර්ම පිළිගනිමින් ස්‌වයං තීරණ අයිතිය නමැති සංකල්පය නාමිකව හෝ තහවුරු කළහොත් සිදුවන්නේ කුමක්‌ද? එවිට ලබාදෙන ෆෙඩරල් බලතල වල ප්‍රමාණය කුමක්‌ වුවත් ඒකීය ලේබලය එසේ තිබියදීම එම ව්‍යවස්‌ථාව ක්‍රියාකාරිත්වයෙන් එක්‌සත් හෙවත් සහ-සන්ධීය හෙවත් කොන්ෆෙඩරල් ව්‍යවස්‌ථාවක්‌ බවට පත්වේ.

Related posts

දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

බදුර්දීන්ගේ දිගාමඩුලු ගෝලයා මන්ත්‍රී මුශාරෆ් ලාහුගල වනෝද්‍යානයට කඩා පනී. | මායිම් ගල් ගලවා දමා මහා වන සංහාරයකට අර අඳියි.

colombotoday

අලුත් වනජීවී ඇමති සහ උප ඇමති නිසා වන ජීවීනුත් අවදානමේ !

colombotoday

උතුරෙන් දැවැන්ත ජන ගගක් කොළඹට… කොටි සැකකරුවන් නිදහස් කරන්න ඉල්ලා උද්ඝෝෂණයකට සැරසෙයි…

colombotoday

ඉන්දීය යුද හමුදා ප්‍රධානි අද ජනපති හමුවෙයි

colombotoday

පාතාලයෙන් වෙඩි පිට වෙඩි.. දුමින්ද සිල්වාගේ රියදුරු මරුට !

colombotoday