Colombo Today Local News

දැන් මේක සුද්දාට ගිය රටක් ! යහපාලකයෝ කන්නේ බත්ද කියලා දැන් නම් සැකයි

anura dissanayakeඉඩම් මිලදී ගැනීමට තිබූ නීති ලිහිල් කර විදේශීකයන්ට ලංකාවේ ඉඩම් අඩු මිළට අත්පත් කර ගැනීමට රජය අවස්ථාව ලබා දී තිබෙන බවත් මෙවර අයවැය මගින් ආණ්ඩුව කෘෂිකර්මාන්තය සහ ගොවියා අත්හැර දමා ජාතික ආරක්ෂාවට පවා සෘජුවම වැදගත්වන ආහාර සුරක්ෂිතතාවය විනාශකර දමා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ 07 කොළඹදි මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය. එහදී අනුර දිසානායක මහතා දැක්වූ අදහස් වැඩිදුරටත් පහත පරිදිය.

එහිදී ඔහු දැක්වූ අදහස් වැඩිදුරටත් පහත පරිදිය.

එජාප, ශී‍්‍රලනිප හවුල් ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය ලේඛනයෙන් විශාලතම අසීරුතාවයකට, කප්පාදුවකට ලක්වී ඇත්තේ මේ රටේ කෘෂිකර්මාන්තය සහ ගොවි ජනතාවයි. කෘෂිකර්මාන්තය ප‍්‍රධාන ආදායම් මාර්ගය කරගත් විශාල ගොවිජනතාවක් අපේ රටේ ඉන්නවා. ඔවුන්ගේ ප‍්‍රධාන ආදායම් මාර්ගය වී තිබෙන්නේ කුඹුරක් හෝ හේනක් වගා කිරීමයි. ඒ වගේම අපේ රටේ ආහාර සුරක්‍ෂිතතාවය කියන්නේ රටේ ජාතික ආරක්‍ෂාවට ඉතාම වැදගත් දෙයක්. එනිසාම කෘෂිකර්ම ක්ෂේත‍්‍රය වැදගත් තැනක් ගන්නවා.

අපේ රටේ ඉතිහාසය, අපේ රටේ පිහිටීම සහ වර්ෂාපතනය යන සියලූ කාරණා පෙළගැසී තිබෙන්නේ කෘෂිකාර්ම කටයුතු සඳහායි. නමුත් මේ හවුල් ආණ්ඩුවේ අයවැයෙන් මුළුමනින්ම කෘෂිකර්මාතයත් ගොවිජනතාවත් විශාල පීඩනයකට ලක්කොට තිබෙනවා. ගොවීන්ට ලබාදෙන පොහොර සහනාධාරය නිෂ්පාදන සහනාධාරයක්. වී, එළවළු ඇතුළු වගාවන්ගෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට මෙම රසායනික පොහොර වැදගත් වෙනවා. රසායනික පොහොර පාවිච්චිය ගැන මේ වන විට විවාදයක් මතුවී තිබෙන අතර ඒ පිළිබඳ විද්‍යාත්මක සංවාදයක් අවශ්‍යයයි. නමුත් ආණ්ඩුව මෙම පොහොර සහනාධාරය කප්පාදු කරන්නේ රසායනික පොහොරවල අහිතකරභාවය මත පිහිටා නොවේ. අහිතකරභාවය මත පොහොර සහනාධාරය කප්පාදු කරනවා නම් එයට වෙනත් විකල්පයක් යෝජනා කළ යුතුව තිබෙනවා. ආණ්ඩුව දැන් යෝජනා කරනවා වර්ෂයකට රුපියල් 25,000ක පොහොර සහනාධාරයක් ලබාදෙන්න.

මීට පෙර පොහොර සහනාධාරය අක්කර 5 ලබාදුන්නා. දැන් එය අක්කර 2.5ක් දක්වා කප්පාදු කර තිබෙනවා. දේවහූව, මින්නේරිය ඇතුළු ප‍්‍රධාන ගොවිජනපදවල ගොවීන්ට කුඹුරු අක්කර 5ක් පමණ තිබෙනවා. එසේ තිබියදි සහනාධාරය අක්කර 2.5කට අඩුකිරීම අසාධාරණයි. දැන් ගොවීන්ට එක කන්නයක් සඳහා ලැබෙන්නේ රුපියල් 12,500ක්. අක්කරයක් ගත්තොත් රුපියල් 5,000ක් පමණයි. නමුත් එක් කන්නයක් සඳහා යූරියා ඇතුළු රසායනික පොහොර සඳහා අක්කරයකට රුපියල් 11,162ක මුදලක් ගොවියකු විසින් දැරිය යුතු වෙනවා. එම මුදලින් මීට පෙර ගොවියා විසින් දැරුවේ රුපියල් 2,000ක් පමණයි. ඔහුට පොහොර සහනාධාරය ලෙස රු. 9162ක් ලැබුණා. දැන් එය රු. 5,000 දක්වා රු. 4162කින් අඩුකර තිබෙනවා. ඒ අනුව අක්කර 2.5ම රු. 10,000 ක පමණ මුදලක් කප්පාදු කර තිබෙනවා. අක්කර 5කට ගණනය කළාම රුපියල් 27500ක් පමණ වෙනවා. කප්පාදු වෙන රුපියල් 10,000ත් සමගය ගොවියට රුපියල් 37500ක පමණ පාඩුවක් සිදුවෙනවා.

පොහොර සහනාධානරය පිළිබඳව අයවැය ලේඛනයේ පූර්විකාවේ සඳහන්කර තිබෙනවා ‘මෙම ගරු සභාව විසින් පොහොර සහනාධාරය, ඉඩම්, තාක්‍ෂණික සහායන්, බීජ ඇතුළු නිමක් නැති සහනාධාර ගොන්නක් අනුමත කර තිබෙනවා’ කියලා. ආණ්ඩුව මේ නොකියා කියන්නේ එම සහන කප්පාදු කිරීමට යන බවයි.

ඒ වගේම වීවලට ලබාදී තිබූ සහතික මිල අඩුකර තිබෙනවා. පසුගිය දින 100 අයවැය තුළදී සම්බා කිලෝවක් සඳහා සහතික මිල රු. 50ක් යෝජනා කළා. මෙවර අයවැයෙන් එය රු. 41 දක්වා අඩුකර තිබෙනවා. ආණ්ඩුව එක් ගොවියෙකුගෙන් වී කිලෝ 2,000ක් රු. 50 ගණනේ මිලට ගත්තා. දැන් එය 41කට අඩු වූ පසුව ගොවියාට එක් කන්නයකට රු. 18,000ක පාඩුවක් සිදුවෙනවා. එය අවුරුද්දේ කන්න දෙකට රු.36,000ක පාඩුවක්. පොහොර සහනාධාරය කප්පාදුව නිසා රු. 20,000ක් අහිමි වෙනවා. ඒ අනුව අක්කර 2.5ක් තිබෙන ගොවියාට වසරකට රු.56,000ක පමණ පාඩුවක් සිදුවෙනවා.

මේ අතර බීජ වෙළඳපොළ සම්බන්ධයෙන් ගැටළුවක් මතුවී තිබෙනවා.

ආණ්ඩුව යෝජනා කරනවා ‘ප‍්‍රයෝජනයට නොගත් සහ ඌණ උපයෝජිත රජයේ ඉඩම් දිරිගැන්වීමක් වශයෙන් පෞද්ගලික අංශයට ලබාදෙනවා කියලා. ඌණ උපයෝජිත ඉඩම ලෙස ආණ්ඩුව අදහස් කරන්නේ බීජ පර්යේෂණ ආයතන සහ බීජ ගොවිපොළවල් සතු ඉඩම්. මහඉළුප්පල්ලම, පැල්වෙහෙර වැනි බීජ ගොවිපොළවල් අද කඩා වට්ටලා තිබෙනවා. දැන් ආණ්ඩුව කරන්න යන්නේ එම බීජ ගොවිපොළවල් සතු ඉතිරි ඉඩම් ටිකත් පෞද්ගලික අංශයට පවරා දීමටයි. අපේ රටේ ගොවියා වගා කිරීමට සුදුසු බීජ නොමැතිකමින් විශාල දුෂ්කරතාවයන්ට පත් වී තිබෙනවා. ගෝවා බීජ කිලෝ ග‍්‍රෑම් එකක් වරායට එනකොට රු.4,200ක් වන අතර එය වෙළඳපොළේ රු.45,000ක් පමණ වෙනවා. මිරිස් බීජ කිලෝග‍්‍ර‍්‍රෑම් එකක් රු.75,000ක් පමණ වෙනවා. එනිසා ආණ්ඩුව කළයුතු වන්නේ එම බීජ ගොවිපොළෙවල් පෞද්ගලික අංශයට පවරා දීම නොව බීජ පර්යේෂණ ආයතන සහ බීජ ගොවිපොළවල් වැඩි දියුණු කිරීමයි.

ඒ වගේම අපේ රටේ ඉඩම් සම්බන්ධයෙන්ද මේ අයවැයෙන් විවිධ යෝජනාවන් සිදුකර තිබෙනවා. හැම රටකම පාහේ ඉඩම් යනු එම රටට විශාල සම්පතක්. එනිසා ස්වදේශිකයන්ට ඉඩම් විකිණීමේදී අනුගමනය කරවාට වඩා නීති රීති ප‍්‍රමාණයක් විදේශිකයන්ට ඉඩම් විකිණීමේදී අනුගමනය කරනවා. අනෙකුත් විදේශ රටවල්වලදී නම් අපේ රටේ පුරවැසියෙකුට අඩුම තරමේ කඩයක් දාන්න පුළුවන්කමක් නැහැ. ඒ සඳහා කඩය ලබාගත යුත්තේ එම රටේ පුරවැසියෙකුගේ නමට. ඒ තරමට ඉඩම් නීති සංකීර්ණයි. නමුත් මේ අයවැයෙන් විදේශිකයන්ට ඉඩම් පවරා දීමේදී පනවා තිබූ බදු ඉවත් කිරීමට යෝජනා කරනවා. 2001-2003 රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ මාස 24 ආණ්ඩුව කාලයේ මේ දේම සිදුකළා. ඒ අනුව බේරුවල වෙරළ තීරයේ ඉඩම්, ගාලූ කොටුවේ ඉඩම් විශාල ප‍්‍රමාණයක් විදේශිකයින්ට අයිති වුණා. එම මාස 24 ආණ්ඩුවෙන් පසුව ඉඩම් ඇමතිවරයා වූයේ මමයි. මා ඇමතිවරයාව සිටින කාලයේදී විදේශිකයන්ට ඉඩම් පැවරීමේදී 100%ක බද්දක් පැනවූවා. එසේ කිරීමට හේතුව ශී‍්‍ර ලාංකිකයින්ගේ සහ විදේශිකයින්ගේ ආදායම් විශාල පරතයක් තිබෙන නිසා. සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 35,000ක් පමණ වෙනවා. එංගලන්තයේ නම් ඒක පුද්ගලයෙකුගේ මාසික ආදායම ශී‍්‍ර ලංකා මුදලින් රු.500,000ක් පමණ වෙනවා. යුරෝපා රටකනම් මෙය රු.ලක්‍ෂ තුනක් පමණ වෙනවා. ඒ අනුව ගතහොත් ශී‍්‍ර ලාංකිකයින්ට වඩා විදේශිකයන්ට වැඩි ආදායමක් ලැබෙනවා. එනිසා අපේ රටේ ඉඩම් විකිණීමේදී දෙපාර්ශ්වය සමාන ලෙස ගැනීම ආසාධාරණයි. සාමාන්‍යයෙන් විදේශිකයෙකුගේ පෙන්ෂන් එකට ලංකාවෙන් ඉඩමක් මිලදී ගන්න පුළුවන්. රනිල් වික‍්‍රමසිංහ මහත්තයලා අයවැයෙන් කරන්නේ විදේශිකයන් පනවා තිබූ මෙම බද්ද ඉවත් කිරීමයි. අපිට අහන්න තිබෙන්නේ මේ ආණ්ඩුව ඡන්ද ගත්තේ සුද්දන්ගෙන්ද කියලා. මේ රටේ ජනතාවෙගන් ඡන්දෙ අරගෙන සුද්දන්ගේ බදු ඉවත් කරනවා.

ඒ වගේම රට තුළට ආයෝජන ආකර්ෂණය කර ගැනීමට බාධාවක්ව පවතින ඉඩම් (බැහැර කිරීම, සීමා කිරීම) පනත යටතේ හඳුනාගත් ආයෝජනවල හිමිකාරිත්වය සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් ඉවත් කරන්න ආණ්ඩුව යෝජනා කරනවා. ආණ්ඩුව ලංකාවේ ඉඩම් නීති ලිහිල් කරන්න යනවා. අපේ රටේ ඉඩම්වල අයිතිය පංසල්වලට, දේවාලවලට, දළදා මාලිගාවට අයත්ව තිබෙනවා. ඒවා විකිණීමට හැකියාවක් නැහැ. ඒ වගේම අඳ ඉඩම්ද විකිණීමට හැකියාවක් නැහැ. එම ඉඩම්වල හිමිකාරිත්වය තිබෙන්නේ පාරම්පරිකවයි. ගොවීන්ට මහවැලි ඉඩම් ලබාදෙන විට ඉඩම් කට්ටි කිරීම තහනම් කළා. ඒ තරමට අපේ රටේ ඉඩම් නීති ශක්තිමත්. 1971 නැගිටීමෙන් පස්සේ කතාබහක් ඇතිවුණා, අපේ රටේ ඉඩම් සම්පත් රදළ පවුල් කිහිපයකට අයිති වී තිබීමත් එම අරගලයට හේතුවක් වුණා කියලා. ඒ නිසා 1972 ඉඩම් නීතියක් සම්මත වුණා එක් පුද්ගලයෙකුට තබාගත හැක්කේ ඉඩම් අක්කර 50ක් පමණයි කියලා. නමුත් අද රනිල් වික‍්‍රමසිංහ මහත්තයලා ඉඩම් අක්කර 5,000ක් දක්වා සමාගම්වලට බදු දෙන්න ඉඩම් නීති සංශෝධනය කරනවා. ඒ වගේම ආණ්ඩුව යෝජනා කරනවා ඉඩම් බැංකුවක් ඇතිකිරීමට. ආණ්ඩුවට අයිති වී තිබෙන ඉඩම් තෝරාගෙන මෙම ඉඩම් බැංකුව ස්ථාපිත කරන්න නියමිතයි. රජයේ ඉඩම් කියන්නේ ජනතාවගේ ඉඩම්. ආණ්ඩුව කළ යුත්තේ එම ඉඩම් ජනතාවට බෙදා දීමයි. නමුත් ආණ්ඩුව කරන්න යන්නේ ඉඩම් බැංකුවක් හරහා එම ජනතාවගේ ඉඩම් සමාගම්වලට බෙදා දීමයි. ඉඩම් කියන්නේ අපේ ඥාතීත්වයයි. එම ඉඩම් පෝෂණය වී තිබෙන්නේ අපේ මුතුන් මිත්තන්ගේ ඇට කැබලිවලින්. එවැනි ඥාතීත්වයක් තිබෙන ඉඩම් මේ ආණ්ඩුව බදු ඉවත්කරලා සුද්දන්ට ලබාදෙන්න යනවා. මේ කි‍්‍රයාදාමයට එරෙහිව සටන් කළ යුතුයි.

ඒ වගේම ගොවි විශ‍්‍රාම වැටුප සම්බන්ධයෙන් මේ අයවැයෙන් කිසිදු සඳහනක් කර නැහැ. ගොවි විශ‍්‍රාම වැටුප කියන්නේ ආණ්ඩුවෙන් ලබාදුන් එකක් නෙවෙයි. එය දායක විශ‍්‍රාම වැටුපක්. ඒ සඳහා ගොවීන් වාරිකය ගෙවා තිබෙනවා. කන්නයක් පාසා ගොවීන් තමන්ගේ වාරිකය ගෙවලා මේ විශ‍්‍රාම වැටුප් අරමුදල ගොඩනැගුවා. ගොවියාට අවුරුදු 60 සම්පූර්ණ වූ පසුව විශ‍්‍රාම වැටුප ලැබෙනවා. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විශ‍්‍රාම වැටුප්ලාභී වයස අවුරුදු 62 දක්වා දික් කළා. ඒ විතරක් නෙවෙයි පෝස්ටර් කටවුට් ගහලා, අරමුදල ශූන්‍ය කළා. ගොවීන් දායක වෙලා ඇතිකළ අරමුදල විනාශ කළා. එනිසා ගොවි විශ‍්‍රාමය ගොවින්ට ලබාදිය යුතුයි. එය ගොවියාගේ අයිතියක්. එජාප මන්තී‍්‍රවරු විපක්‍ෂයේ ඉඳගෙන ගොවි විශ‍්‍රාම වැටුප ලබාදිය යුතුයි කියලා පාර්ලිමේන්තුවේ කථා කළා. නමුත් මේ අයවැයෙන් ගොවි විශ‍්‍රාම වැටුප ගැන කිසිදු සඳහනක් කළේ නැහැ. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවෙන් අඩුම තරමේ අවුරුදු 62දී වත් විශ‍්‍රාම වැටුප ලබාදෙන්න යෝජනා කළා.

එනිසා මේ ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ගයට කෘෂිකර්මාන්තයවත් ගොවියාවත් අදාළ නැහැ. රවී කරුණානායක කියනවා, අපේ රටින් ගොවියා වී ගොවිතැනින් ඉවත් වෙන්න කියලා. බත් නොකන රවී කරුණානායකලාට වී ගොවිතැන අවශ්‍ය නැති වුණාට බත් කන අපි කියනවා අපේ රටට වී ගොවිතැන අවශ්‍යයි කියලා. රවී කරුණානායකලා කන්නේ මොනවද කියලා වෙනම හොයලා බලන්නත් ඕනෑ. ඕනෑම රටක් තමන්ගේ ප‍්‍රධාන ආහාරය ගැන සුරක්‍ෂිතභාවයක් ඇතිකරගන්න ඕනෑ. ඔස්ටේ‍්‍රලියාව, අමෙරිකාව, ජර්මනිය, එංගලන්තය, ජපානය ආදී ඕනෑම රටක් තාක්‍ෂණය අතින් කොයි තරම් දියුණු වුණත් තමන්ගේ රටේ ප‍්‍රධාන ආහාරය නිෂ්පාදනය කරගන්නවා. මොකද එය රටේ ජාතික ආරක්‍ෂාවටත් ඉතාම වැදගත් දෙයක්. රටේ තිබෙන අවිවලට වඩා ආහාර වැදගත් වන නිසා. නමුත් මේ ආණ්ඩුව අපේ රටේ ආහාර සුරක්‍ෂිතභාවය මුළුමනින්ම විනාශ කර දමනවා. වෙනත් රටවලින් ලැබෙන ආහාර පිළිබඳව විශ්වාසය තැබීම වැරදි මිථ්‍යාවක්.

එනිසා ආණ්ඩුවේ මෙම කප්පාදු කිරීම්වලට එරෙහිව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ලෙස උද්ඝෝෂණ පා ගමන් සහ සත්‍යග‍්‍රහ ව්‍යාපාරයක් සූදානම් කර තිබෙනවා. මේ වනවිට දඹුල්ලේදීත්, ඇඹිලිපිටියේදීත්, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නායකත්වයෙන් ගොවීන් විසින් අඛණ්ඩ සත්‍යග‍්‍රහයක් ආරම්භ කොට තිබෙනවා. ඉදිරියේදී තිස්සමහාරාමයේ, අනුරාධපුර, කුරුණෑගල ප‍්‍රදේශවලදීත් මෙම සත්‍යග‍්‍රහ ව්‍යාපාර ආරම්භ කිරීමට නියමිතයි. එමෙන්ම ලබන 19 වනදාට පෙර ගොවිජනතාවගේ සහභාගිත්වයෙන් කොළඹදී විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමටද කටයුතු සංවිධානය කර තිබෙනවා.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න දැක්වූ අදහස්.

ගොවීන්ට පොහොර සඳහා මුදල් ලබාදීම නවත්වන ලෙසටත් අඩු මිලට පොහොර ලබාදෙන ලෙසත් වී වලට සහතික මිලක් ලබාදෙන ලෙසත් ගොවි විශ‍්‍රාම වැටුප් ලබාදෙන ලෙසත් ආණ්ඩුවට බල කරමින් අපි උද්ඝෝෂණ පෙළපාලි සහ සත්‍යග‍්‍රහ ව්‍යාපාර සියලූම ගොවි දිස්ති‍්‍රක්ක නියෝජනය කරමින් පවත්වනවා. මේ වනවිට දඹුල්ලේදී සහ ඇඹිලිපිටියේදී සත්‍යග‍්‍රහ ආරම්භ කොට තිබෙනවා. ඒ වගේම කෘෂිකර්ම ඇමතිවරයා නියෝජනය කරන අනුරාධපුර දිස්ති‍්‍රක්කයේදීත් ජනාධිපතිවරයා නියෝජනය කරන පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ජයන්තිපුරදීත් සත්‍යග‍්‍රහ ව්‍යාපාර ආරම්භ කරනවා. ඒ වගේම හම්බන්තොට අම්බලන්තොට නගරයේදීත් අම්පාර නගරයේදීත් ගල්ගමුව නගරයේදීත් කන්තලේදීත් උද්ඝෝෂන පා ගමන් සහ සත්‍යග‍්‍රහ ව්‍යාපාර පවත්වන්න නියමිතයි.

එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිපත්තිය වී තිබෙන්නේ ඔවුන්ගේ ආණ්ඩුවේ වගකීම නීති සම්පාදනය හා යටිතල පහසුකම් ලබාදීම පමණක් බව. අනෙක් සියල්ල පෞද්ගලික අංශයට ලබාදීමට ඔවුන් අදහස් කරනවා. අපි වැනි කුඩා රටකට එවැනි ප‍්‍රතිපත්තියක් අතිශය විනාශකාරීයි. එනිසා එක්සත් ජාතික පක්‍ෂය යෝජනා කරන මෙම ආර්ථික උපාය මාර්ගය විනාශකාරී එකක්. එනිසා අයවැය කාරක සභා විවාදයේදී සුළු සුළු යෝජනාවලින් මෙම ආර්ථික උපාය මාර්ගය වෙනස්කළ නොහැකියි. අප යෝජනා කරන්නේ මෙම ආර්ථික උපාය මාර්ගය මුළුමනින්ම වෙනස් කිරීමක් එනිසා අපි අයවැයට තුන්වන වර කියවීමේ විවාදදයේදී ඊට විරුද්ධව ඡන්දය ලබා දෙනවා.

 

Related posts

ආරක්ෂක අංශ සාමාජිකයන් නිල ඇඳුමෙන් දේශපාලන ප්‍රචාරක කටයුතු බෑ

colombotoday

වකුගඩු රෝග නිවාරණය කෘෂි සමාගම් අතට.. වසවිස විරෝධීන් උද්ඝෝෂණයේ

colombotoday

බජට් පාටිය අත්හිටුවන්නැයි විපක්ෂය ඉල්ලයි

colombotoday

5412 ක් යුද හමුදාවෙන් ඉවත්වෙන්න ඉල්ලයි !

colombotoday

තේ දලු මිල 100% කින් ඉහළට

colombotoday

ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග 39ක් අල්ලයි

colombotoday