Colombo Today Local News

ගම්මන්පිල අත්අඩංගුවට ගැනීම බැලූබැල්මට නීති විරෝධීයි – අගවිනිසුරු

udaya gammanpila

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

උදය අත්අඩංගුවට ගැනීම නීති විරෝධියි ?

අත්අඩංගුවට ගැනීම නීති විරෝධි බවට ප්‍රකාශ කරන මෙන්මූලික අයිතිවාසිකම් පෙත්සමක් මම රක්ෂිත බන්ධනාගාරයේ සිටිය දී ගොනු කළා. එම පෙත්සම විභාග කළ යුත්තේ ඇයි කියලා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මැතිතුමා කරුණු දැක්වුවා. විභාග නොකල යුත්තේ ඇයි කියලා ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් අයේෂා ජිනසේන නීතිපතිවෙනුවෙන් කරුණු දැක්වුවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1) වගන්තියෙන් කියන්නේ කිසිම පුරවැසියෙක් නීති විරෝධිව අත්අඩංගුවට නොගත යුතුය. මේ අත්අඩංගුවට ගැනීම බැලුබැල්මට නීතිවිරෝධි කියලා පෙනෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළබව අගවිනිසුරුතුමන් වන ශ්‍රි පවන් මැතිතුමා අද දැනුම් දුන්නා. ඒ අනුව පෙත්සම් විභාගය දෙසැම්බර් 14 දින පැවැත්වීමට නියමිතයි.

පවතින දේශපාලන වාතාවරණය තුළ මේ ජනපීඩිත වැඩබැරි ආණ්ඩුව වෙනුවෙන් නැගි සිටින හඩවල් තර්ජනයෙන් ගර්ජනයෙන් යටපත් කරන්නට උත්සහා කරද්දි. මාධ්‍ය වලට පසුගිය දවස් වල එල්ලවුණු තර්ජන අපි දැක්කා. ජනාධිපතිතුමා උදැසන පත්තර කියනව නිවේදකයාගේ චරිතය නිරූපනය කරන්න පටන් අරගෙන තියෙනවා. එහෙම පසුබිමක මාධ්‍යවේදීන් වුණු තමුන්නාසේලාත් විපක්ෂයේ ඉන්න මන්ත්‍රීන් වන අපිටත් ශ්‍රේෂ්ඨාධිකරණය පිළිබදව තවමත් වීශ්වාසය තියාගෙන කටයුතු කිරිමට හැකි වීම දැවැන්ත සහනයක් කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගෞරවයක් විදිහට අපි සිහිපත් කරන්න කැමතියි.

මංගලට එරෙහිව විශ්වාස භංග යෝජනාවක්

යුද අපරාධ විනිශ්චය සඳහා විදේශීය විනිසුරුවරුන් ගෙන නොඑන බවට ජනාධිපති කියන විට විදේශ ඇමති කියනවා නෑ ඒක ජනපතිගේ පෞද්ගලික මතය, ආණ්ඩුවේ මතය වන්නේ විදේශීය විනිසුරන් ගෙන ඒම බවයි. එතකොට ජනාධිපති කියනවා මම ජනපති තනතුරේ සිටින තුරු ලංකාවේ විනිශ්චය කටයුතු වලට විදේශීය විනිසුරන් ගේන්නේ නෑ. දැන් කවුද ඇත්ත කියන්නේ? කාගේ මතය ද ආණ්ඩුවේ මතය වන්නේ?

විධායක බලය පිළිබඳ ජන වරම තිබෙන්නේ ජනපතිට මිස විදේශ ඇමතිට නොවේ. ජනපති දුන් බලයක් තමයි විදේශ ඇමතිට තිබෙන්නේ. ජනපතිගේ මතය විදේශ ඇමති පිලි ගන්නේ නැතිනම් ඒ විදේශ ඇමතිව ජනපති ඉවත් කළයුතුයි. නැතිනම් ඇමතිවරයා නම්බු පිටින් ඉවත් විය යුතුයි. මේ දෙකම වෙන්නේ නැතිනම් විදේශ ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ආ යුතුයි.

ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් ජිනීවා යෝජනාව ගෙන ඒම හරහා අපි විදෙස් විනිසුරන්ට එකඟ වෙලා ඉවරයි. ලෝකය වටේ ගිහින් තමන් කරලා එන දේවල් පිළිබඳ විදෙස් ඇමතිතුමා ජනපති තුමාට නිවැරදිව වාර්තා කරලා නෑ. අද ජනාධිපතිවරයා ජත්‍යන්තරයට දුන්න පොරොන්දු කඩ කරලා හරි මේ යුද අපරාධ විනිශ්චය සඳහා විදේශීය විනිසුරුවරුන් එන එක නතර කරනවනම් අපි එකගයි. එතුමා අපිට දුන්න පොරොන්දුවල හැටියට විදේශිය රටවලට එක පොරොන්දුවක් කඩ කිරීමේ මම වරදක් දකින්නේ නෑ. මේ පොරොන්දුව නොදි සිටියනම් තමයි හොද අවසනාවකට ජනාධිපතිතුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව විදේශ ඇමතිවරයා එම පොරොන්දුව දීලා ඉවරයි. එය කඩන්න ජනිධිපතිතුමා එඩිතර වේනම් අපි කැමතියි. මේක ස්වාධින රටක් ලෝකයේ කිසිම ස්වාධින රටක් තමන්ට එරෙහිව ගෙනාපු යෝජනාවකට එකග වෙලා නැත. ලංකාව අතින්වුණ බරපතල වරදක්. ජනාධිපතිතුමා එය නිවැරදි කරගන්න කැමතිනම් අපි කැමතියි එතුමට සහයෝගය ලබා දෙන්න.

එක්ටා ගිවිසුමට ජනමත විචාරණයක්

ඌරන් කැකුණ තලන කොට හබන් කුකුළන්ට මගුල් කිව්වාලු. අපි දන්නවා ඉන්දීයාව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හරහා සිපා අත්සන් කරගන්න උත්සහ කරා. අපි ආණ්ඩුව ඇතුලේ සිට ඒකට විරුද්ධ වුණා. ප්‍රජාත්‍රන්තවාදි නායකයෙක් විදිහට මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනමතයට හිස නමලා ඒක හකුලා ගත්තා. දැන් ආණ්ඩුව කියන්නේ කවුරු විරුද්ධ වුණත් අපි එක්තා අත්සන් කරනවා කියලා. කවුරු විරුද්ධ වුණත් අපි වැට් බද්ද වෙනස් කරනවා. අපි ඒ කාළේ එහෙම කිව්වේ නෑ. ජනතා නියෝජිතයෝ පත්වෙලා ඉන්නේ ජනතාවගේ මතය ක්‍රියාත්මක කරන්න. ජනතාව විරුද්ධ දේ කරන්න පුළුවන් ඒකාධිපති පාලනයකදි විතරයි. මේ රටේ අද තියෙන්නේ ඒකාධිපති ආණ්ඩුවක් කියලා අපිට කියන්න සිද්ධ වෙනවා. ඒ වගේ බ්‍රිතාන්‍ය යුරෝපීය සංගමයෙන් ඉවත් වීමට තීරණය කිරීම පදනම් කරගෙන ලංකාව එක්ටා ගිවිසුම ඉන්දියාව සමග අත්සන් කරන්න ඕනෑ කියලා අගමැති කියනවා. එක්ටා සහ බ්‍රිතාන්‍ය ඉවත් වීම අතර සම්බන්ධය කුමක්ද කියලා මට නම් තේරෙන්නේ නෑ. බලවත් රටවල් සමග ගිවිසුම් අත්සන් කරන එක ලෙහෙසියි. අපට පාඩු වුණත් යලි අවලංගු කරන්න බෑ. 1988 ජනපතිවරණයේ දී එජාපය සහ ශ්‍රිලනිප දෙකම කිව්වා ඉන්දු ලංකා සාම ගිවිසුම අහෝසි කරනවා කියලා. කලේ නෑ නොවෙයි කරන්න බෑ.

එක්ටා ගිවිසුමෙන් ජාතික ආරක්ෂාවට, බෝ වන රෝග පාලනයට සේවා නියුක්තියට ජනවාර්ගික සමබරතාවට බරපතල හානියක් සිදු වෙනවා. අපි ආණ්ඩුවට අභියෝග කරනවා ආණ්ඩුව මේ කරන්නේ ජනතාවගේ යහපත උදෙසා කියලා ආණ්ඩුව විශ්වාස කරනවනම්, ආණ්ඩුව මේ කරන්නේ ඉන්දියවේ රුකඩක් විදිහට ඉන්දීයාවේ යහපත වෙනුවෙන් පමණක් කියලා ආණ්ඩුව විශ්වාස කරන්නේ නැතිනම් භය නැතුව ජනතාව ඉදිරියට එක්තා අරගෙන යන්න. ඒ නිසා ජනමත විචාරණයකින් තොරව එක්ටා අත්සන් නොකළයුතුයි. අපි ලැස්තියි සමස්ථ ජාතියෙම සහයෝගයෙන් පරාජය කරන්න. අපිට වඩා ඒ සටනේදී වෘර්තියවේදින් සහ ව්‍යාපාරික ප්‍රජාව ඉදිරියෙන්ම ඉන්නවා.

නීතිය සහ සාමය අමාත්‍යාංශය අධීක්ෂණය

ඡායා ඇමති මණ්ඩලයක් පත් කිරීම පිලිබඳ ආන්දෝලනයක්. හොඳ දෙයක් වැරදි විදියට කිරීම. මාධ්‍ය හමුවක් පවත්වා මෙහි අරමුණපැහැදිලි කලා නම් ගැටළු මතු වන්නේ නෑ. ලෝකයේ රටවල් 84 ක විපක්ෂයේ මන්ත්‍රීවරු ආණ්ඩුවේ අමාත්‍යාංශ බෙදාගෙන කටයුතු කරනවා. ඒ තුළින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කරන වැරදි අඩුපාඩු මගහැරිමට හැකියාව තියෙනවා. පසුගිය දවස්වල ඉදිරිපත් වුනු පනත්පාර්ලිමේන්තුවට ආවම අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක් කරලා පරාජය කරා. අද දිනත් වැට් පිළිබද පෙත්සම විභාවෙමින් තියෙන්නේ. පසුගිය ජුනි 22 අවතැන්වුවන් ලියාපදිංචිය පිළිබද පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. එය බෙදුම්වාදය ශක්තිමත් කරන ජාතිවාධි පනත් කෙටුම්පතක්. නමුත් අදාල දින හත තුල අපිට ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක්කරන්න අපිට බැරි වුණා. අනේ මම රක්ෂිත බන්ධනාගාරයේ හිටියේ කියලා ඇග බේරගන්න පුළුවන්. මගේ බිරිද අසනිපවේලා හිටියේ කියලා තවත් කෙනෙකුට ඇගබේරගන්න පුළුවන්. මම අසනිපෙන් හිටියේ කියලා තවත් කෙනෙකුට ඇගබේරගන්න පුළුවන්. මම පිටරට හිටියේ කියලා තවත් කෙනෙකුට ඇගබේරගන්න පුළුවන්. නමුත් වැඩේ වෙලා නෑ. වැඩේ දැක්කකම ස්වේචාවෙන් අතට ගන්නවා නමුත් වැඩේ කෙරුනේ නැතිවුණාම ඇයි කියලා අහන්න කවුරුවත් නෑ. මේ ආණ්ඩුව කරන වැරදි එකක් ලිස්සලා ගියෝ මේ රටට වෙනස් කල නොහැකි වරදක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි තිරණය කරා මේ විශයන් බෙදාගන්න. දැනට පෞද්ගලික නඩු වල පැටලිලා ඉන්න මන්ත්‍රීවරු දෙදෙනෙක් අපෙන් ඉල්ලීමක් කරා එයින් නිදහස් කරන්න කියලා ඒ දෙදෙනා ඇරෙන්න අනිත් සියළුම මන්ත්‍රීවරුන්ට අධික්ෂණය කිරිමේ වගකීම බාරදිලා තියෙන්නේ. මේකට කිසිම පහසුකමක්, බලතලයක් නෑ. නිශ්චිත අමාත්‍යංශයක වැරදි අඩුපාඩු පෙන්වා දෙන්නත් ඒවා නිවැරදි කර ගත්තේ නැත්නම් රටට කියන්නත් වගකිමක් ලැබෙනවා.

අපේ අනාගත ආණ්ඩුවේ ඇමතිවරු ඉන්නේ උපරිමය 25යි. මෙතන 50ක් ඉන්නේ හේතු දෙකක් තියෙනවා. සෑම මන්ත්‍රීවරයෙක්ටම අපි වගකීමක් පැවරුවා. මේ ආණ්ඩුවේ අමාත්‍යාංශ 45ක් තියෙනවා. විශයන් බෝහෝ අසාර්ථක ලෙස කඩලා තියෙන්නේ. නිදසුන ලෙස උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති. ශිෂ්‍යන් නිතරම මහපාරේ උද්ඝෝණය කරන නිසා ඒ දෙක අතරේ සම්බන්ධයක් තියෙනවා කියලා හිතුවද දන්නේ නෑ. ඒක නිසා අපිට සිදුවුණා එක දෙකට කඩන්න. පක්ෂ නායකයින් මට නීතිය හා සාමය දුන්නාම ඒකට ගැට ගහලා තියෙනවා දක්ෂිණ සංවර්ධන.ඒක මට දීලා වැඩක් නෑ මොකද මම දකුණු පාලාත නියෝජනය කරන මන්ත්‍රිවරයෙක් නෙවෙයි.

උදාහරණයක් විදිහට අපේ අමාත්‍යාංශ ගත්තොත් මේක දුන්න දුණුගමුවේ. ඊතල කිතලගමුවේ. රාළ මීගමුවේ. මුවෙක් පැන්නලු සබරගමුවේ වගේ වැඩක්. පොලීසිය එක්කෙනෙක් ළග, නීතිපති තවත් කෙනෙක්ගාව, බන්ධනාගාර තවත් ඇමතිකෙනෙක් ගාව. යුක්තිය පසිදලිමේ ක්‍රියාව කාර්යක්ෂමව කිරීමට පොලීසිය, නීතිපති, රසපරික්ෂක,උසාවි, බන්ධනාගාර මේ සියල්ම තියෙන්න ඔනේ එක තැනක. අපේ ආණ්ඩුවක නීතිය සහ සාමය අධිකරණසහ බන්ධනාගාර එකටයි තියෙන්නේ.

මේ ආණ්ඩුව යටතේ දේශපාලන පක්ෂග්‍රාහිත්වයෙන් යටපත් කළ පැමිණිලි තිබෙනවා. ආණ්ඩුවේ අයට ළමයි හප්පලා බේරිලා යන්න පුළුවන්, කූට ලේඛන හැදුවයි කියලා පිළි අරගෙන නෝනාමහත්වරු හම්බවෙලා සමාවත් අරගෙන එත් නීතිය ක්‍රියාත්මක නොවි ඉන්න පුළුවන්. විපක්ෂයේ අය අත්අඩංගුවට ගන්න පැමිණිලි නවකතා ලියපු අය ඉන්නවා.

නීතිය නිවැරදිව ක්‍රියාත්මක කරලා මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගත්තත් අපි කිසිම ප්‍රශ්න කිරීමක් කරන්නේ නෑ. නිවැරදි නිළධාරින් රකිනවා කියලා අපි වගකීමෙන් ප්‍රකාශ කරනවා විපක්ෂයේ සියළුම මන්ත්‍රීන් අත්අඩංගුවට ගත්තත් නීතිය හරියට ක්‍රියාත්මක කරලා. හැබැයි දේශපාලන පක්ෂග්‍රහිත්වය වෙනුවෙන් ආණ්ඩුවේ දේශපාලකයන් බේරා ගන්න කටයුතු කරපු, විපක්ෂයේ මන්ත්‍රීවරු බොරු නඩු වල ගැටගහපු නිලධාරින්ටනම් රාජ්‍ය සේවයේ ස්වාදීනත්වය පිළිබද පාඩම යහපාලනය වගේ සුන්දර වචන වලින් නෙවෙයි ප්‍රායෝගිකව කියලා දෙන්න අපිට සිද්ධවෙනවා.

අරවින්ද අතුකෝරල

Related posts

“පන්සල, පාසල දියුණු වුණත් සංස්කෘතිය, හැදියාව පිරිහිලා” – සංස්කෘතික නියෝජ්‍ය ඇමති

colombotoday

මන්නාරම් මිනී වළේ ඇමරිකානු කාබන් වාර්තාව වෙනුවට තමිල්නාඩුවේ වෛද්‍යවරයකු කොටි හිතවාදීන් ජිනීවා ගෙන යයි

colombotoday

5 ශිෂ්‍යත්ව විභාගය වෙනුවට වෙනත් විභාගයක් – ජනපති

colombotoday

ඩයස්පොරාවේ ඉල්ලීම් 10ක් ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාවේ.. ‘ටැමිල් නෙට්‘ හෙළිකරන සිංගප්පූරු සම්මුතිය මෙන්න

colombotoday

“මේ ආණ්ඩුවේ ලෝක හොරු ඉන්නවා”.. රාජිතගේ පොටෝ එකක් පෙන්වා රන්ජන් කියයි !

colombotoday

බදියුදීන්ගේ ඇමරිකානු ගිණුමට ශ්‍රී ලංකාවෙන් ඩොලර් ලක්ෂයක් !

colombotoday