ArticlesColombo Today Local News

අපේ බන්දුල සර්…ඉක්මනින් සනීප වෙලා ඒන්න මේ නරාවළෙන් පාරිභෝගිකයා ගොඩගන්න. – මම සර්ගේ (අ)කීකරු ශිෂ්‍යයා

වෙළඳ හා පාරිභෝගික අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොවිඩ් වෛරසය අසාධිතව ප්‍රතිකාර ලබන බව ප්‍රචාරය වීමත් සමගම ඔහු සමග පාරිභෝගික ගැටළු සම්බන්ධයෙන් නිතරම ගැටළු ඇතිකරගන්නා පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා Facebook සටහනක් යොදා තිබෙනවා.

අදාළ සටහන…

අපේ බන්දුල සර්…ඉක්මනින් සනීප වෙලා ඒන්න මේ නරාවළෙන් පාරිභෝගිකයා ගොඩගන්න.

අද උදෑසනම අහන්න ලැබුන නරක ආරංචියක් වූයේ බන්දුල ගුණවර්ධන ගුරුතුමාට කොවිඩ් ආසාදනය වී ඇති බවයි. දිනකට 4000 කට ආසන්න පිරිසකට කොවිඩ් ආසදනය වන අවස්ථාවක හා කොවිඩ් වැළදී මිත්‍රයන් අසල්වැසියන් මියයද්දී හිතට එන්නේ විශාල කණගාටුවකි.බන්දුල සර්ට කොවිඩ් වැළදීම පිළිබදව අමුතුම දුකක් හිතට එන්නේ බන්දුල සර් අපිට ජීවිතය පිළිබදව කියා දුන් අපේ ගුරුපියා නිසාය. 1993 වසරේ උසස්පෙල හැදෑරීමට සුදානමින් සිටියද විභාගය ආසන්න වන විටත් මා සිටියේ අතරමං වෙලාය. මා ඇතුලු මිත්‍රයන් දෙදෙනෙකු ඔය අතරතුර බන්දුල සර්ගේ නුගේ‌ගොඩ සසෙක්ස් ආයතනයට ඇතුල්වන්නේ උසස්පෙළ සමත්විය යුතුයයි යන අධිෂ්ඨානයෙන්ය. 1989 වර්ෂයේ භීෂණය මැද සාමාන්‍ය පෙළ සදහා පෙනී සිටි අප මිනිසුන් මහමග මරාදමනවා ඇසින් දැක ඇති අය වන බැවින් කෙසේ හෝ උසස්පෙළ කඩඉම පසුකලයුතුයයි අධිෂ්ඨාන කළේ මෙම සමාජ ක්‍රමය වෙනස් කිරීම සදහා කටයුතු කල යුතුයැයි එම අවස්ථාවේ දැනුන නිසාය. කෙසේ වෙතත් විෂයන් හතරම රුපියල් 100/= වැනි මුදලකට ඉගෙන්වීමට බන්දුල සර් කටයුතු කළේය. එපමණක් නොව එම මුදල ගෙවීමට නොහැකි අයට නොමිලේ කාඩ්පත් නිකුත් විය. සර් ඒ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. සර්ට ඒ වෙනකොට තිබුණේ රතුපාට ජීප් රථයක් බව යාන්තමින් මතකය. ආර්ථික විද්‍යාව හා වාණිජ්‍ය බන්දුල සර්ද දේශපාලන විද්‍යාව ටෙරන්ස්පුරසිංහ සර්ද ගණකාධිකරණය අබේරත්න බන්ඩාර සර්ද ඉගැන්විය. කෙසේ වෙතත් විෂයට අමතරව සර් අපට ජීවිතය ඉගැන්විය. මාස 8 ක පමණ කෙටිකාලයකින් මම විෂයන් හතරම උපරිමෙයෙන් හැදෑරුවද මාගේ අනෙක් මිත්‍රයන් දෙදෙනා බන්දුල සර්ගේ පංතිය හැරගියේය. පංතිය අවසන් වන දවසේ බන්දුල සර් සර්ගේ ජීවිත කතාව පැයගණනක් අපට කීවිවේය. ඒ අධ්‍යාපනයේ වටිනාකම අපට කියාදීමටය. දෙමාපියන්ගෙන් ඈත්වී නෑදෑයන්ගේ අවම සැළකිලි යටතේ බන්දුල සර් ජීවිතය ජයගෙන තිබූණි. සර්ට තිබුණු කළිසම් දෙකෙන් එකක් විකුණා තිබුණි. ඒ බන්දුල සර් අපිට කී කතාවේ එක් කොටසකි. සර් නිතරම කිව්වේ මේ නරාවලෙන් ගොඩ ඒම සදහා හොදින් ඉගෙන ගන්නා ලෙසය. එය ජීවිතය පුරා රැවිපිළිරුව් දෙන කියමනක් විය.කෙසේ වෙතත් බන්දුල සර්ගේ පිහිටෙන් උසස්පෙළ සමත්විය. ඒ ණය ගැතිබව ජීවිතය පුරා තිබුණද මම කිසිදාක බන්දුල සර්ගේ දේශපාලන ගමන හා සම්බන්ධ නොවුණි. පසුකලෙක මම බන්දුල සර්ගේ ඡන්දදායකයෙකු නොවීය. බන්දුල සර් විපක්ෂයේ සිටින විට සමහර ප්‍රශ්ණ ගැන කතාකිරීමට සර්ගේ ගෙදරදී මුණ ගැසුණද සර් ආණ්ඩුපක්ෂයේ සිටින විට අපි කිසිදිනක හමුවී නැත. මාගේ මවගේ මළ ගෙදර සදහා සහභාගීවීමට නොහැකිවීම පිළිබදව බන්දුල සර් මට කණගාටුව පළකළේය.කෙසේ වෙතත් බන්දුල සර්ගේ දේශපාලන ප්‍රකාශ මම නිතර විවේචනය කළේය. දෙදහස් පන්සීයට මාසයක් ජීවත්විය හැකිය යන්න සර්කී විට මම මම දැඩිව එය විවේචනය කළේය. එහෙත් බන්දුල සර් මට කිසිවිටක දොස්පවරා නැත. පාරිභෝගිකයා යනු කවරෙක්දැයි මට කියාදුන්නේ බන්දුල සර්ය. බන්දුල සර් වෙනුවෙන් නොව මම එම පාරිභෝගිකයා වෙනුවෙන් පෙනී සිටිමි. අසේල සම්පත් ගේ සිද්ධිය සම්බන්ධයෙන් සර් ඉක්මන් වූ බව වැඩියැයි කීමට මම බන්දුල සර්ට කතාකලද සර් මාව කිහිපවිටක්ම මගහැරීයේය. ආවස්ථික පිරිවැය, රක්ෂණය, සමූපකාර වැනි සංකල්ප පිළිබදව බන්දුල සර් කියාදුන් නිර්වචන මට තාම මතකය. බන්දුල සර්ගේ දේශපාලන චර්යාව මම විවේචනය කලද බන්දුල සර් රාජ්‍ය දේපල හොරකම් කල හොරෙක් නොවන බව මම දනිමි. එහෙත් ආර්ථික මධ්‍යස්ථානයක කඩකාමරයක් සර්ගේ පුතාට ලබාදීම පිළිබදව ම‌ගේ හිතේ ඇත්තේ විරසකයකි.

බන්දුල සර්! ඉක්මනට සනීපවෙලා එන්න! අපේ රටේ පාරිභෝගිකයා මේ නරා වලෙන් ගොඩ ගන්න.
අවසරයි මම සර්ගේ (අ)කීකරු ශිෂ්‍යයා රංජිත් විතානගේ

Related posts

ඥානසාර හිමිට වාහන ලැබුණු හැටි හෙළිවේ

colombotoday

තිලිණි ප්‍රියමාලි යළි ඇතුළට : ජානකීට ඇප

Admin

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අවසන්..

colombotoday

කච්චතිව් මංගල්‍යයට එන්න ඉන්දියාව අවසර ඉල්ලයි

colombotoday

නව වසර පරිවර්තනීය වසරක් බවට පත් කිරීමට එක්වන්නැයි ජනපතිගෙන් ආරාධනා..

colombotoday

මහ කන්නයේ දී පොහොර ගන්න හෙක්ටයාරයකට 15000ක් ගොවි ගිණුම් වලට

Admin