Articles

ලෝන්ලි ප්ලැනෙට්, බෙස්ට් ඉන් ට්‍රැවල් 2019 අතරට ශ්‍රී ලංකාවත්!

සංචාරක මාර්ගෝපදේශන පොත් ප්‍රකාශනයෙහි ලොව ප්‍රමුඛතම සමාගමක් වන “ලෝන්ලි ප්ලැනෙට්” (Lonely Planet) සමාගම, සංචාරකයකු ලබන වසරේදී සංචාරය කළ යුතුම නගර ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ.

සංචාරයන්හි නිරතවන පිරිස්වලට ලෝන්ලි ප්ලැනෙට් සමාගමේ මේ නම් කිරීම බෙහෙවින්ම වැදගත් වනු ඇත. එමෙන්ම එම සමාගම මෙතෙක් ඉදිරිපත් කර ඇති දර්ශක, සංචාරකයන් අතර බෙහෙවින් පිළිගැනීමට ලක් වී ඇති බවද නොරහසකි.

මෙවර දර්ශකය විශ්ලේෂණය කර බැලීමේදී පෙනෙන වඩාත් වැදගත්ම කාරණය, සංචාරකයකු ලබන වසරේදී සංචාරය කළ යුතුම රටවල් අතරට ශ්‍රී ලංකාවත් එකතු කර තිබීමයි. මෙරට පැවැති යුධ වාතාවරණය නිම වීමෙන් දස වසරකට පසුව ශ්‍රී ලංකාව එකී ලැයිස්තුවට එකතු කර තිබීම බොහෝදෙනෙකුගේ අවධානයට ලක්වන්නකි. බෞද්ධ ආගමික සිද්ධස්ථාන, හස්තීන් බහුල මින්නේරිය ජාතික වනෝද්‍යානය වැනි වනෝද්‍යාන, කඳුකරයේ තේ වගාව, සාගරය ආශ්‍රිත විනෝදාස්වාද පහසුකම් ගැන වගේම ශ්‍රී ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාරත්, සංස්කෘතියේ සුවිශේෂත්වයත් ලෝන්ලි ප්ලැනෙට් “බෙස්ට් ඉන් ට්‍රැවල් 2019” මාර්ගෝපදේශන කෘතිය ඉස්මතුකර දක්වා තිබේ.

රට අභ්‍යන්තරයේ ඕනෑම තැනකට ගමන් කළ හැකි අන්දමට ප්‍රවාහන පද්ධතිය වැඩි දියුණු වී තිබීම සම්බන්ධ කාරණාත් ශ්‍රී ලංකාව සංචාරයට සුදුසු රටක් ලෙස නම් කිරීමේදී සැලකිල්ලට ගෙන ඇත. මෙරට අධිවේගී මාර්ග පහසුකම්, දුම්රිය පහසුකම් සහ රට අභ්‍යන්තර ගුවන් පහසුකම් පිළිබඳව එහි විශේෂයෙන් සඳහන් වේ. ඒ හැරුණුවිට සංචාරකයකුට, හෝටල් පහසුකම් පිළිබඳ තොරතුරුත් වැදගත් ය. අභිනවයෙන් විවෘත කෙරුණු තරු පන්තියේ හෝටල්, සංචාරක අවධානයට වැඩියෙන්ම යොමුවන්නකි. ශ්‍රී ලංකාවේ ඇති එකී හෝටල් පහසුකම් ගැන තොරතුරුත් ලෝන්ලි ප්ලැනෙට් සංචාරක මාර්ගෝපදේශන දර්ශකයට අන්තර්ගත කර ඇත.

sri lanka 1

1. ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර

වර්ග කිලෝමීටර 178.46ක සරියක් සහිත කෝපන්හේගන් නගරය ඩෙන්මාර්කයේ අගනුවරයි. එය ඩෙන්මාර්කයේ වැඩිම ජනගහනයක් වෙසෙන නගරය හැටියටත් හැඳින් වේ. 777,218කට අධික පිරිසක් කෝපන්හේගන් නගරයේ වෙසෙති. දීර්ඝ ඉතිහාසයක් සහිත මේ නගරය, අද ලෝක ප්‍රකට වී තිබෙන්නේ පිවිතුරු නගරයක් හැටියට ය. පරිසර හිතකාමී ප්‍රවාහන පද්ධතියක් මේ නගරය පුරා ක්‍රියාත්මක වේ. පා පැදිවලින් ප්‍රවාහන කටයුතු සපුරා ගන්නා අයට පහසුකම් සලසා තිබීම මෙහි විශේෂත්වයකි. කෝපන්හේගන් නුවර සංචාරය කරන කෙනෙකුට, කෝපන්හේගන් ඔපෙරා ශාලිකාව, ඔරෙසුන්ද් පාලම, අමගර් ස්ට්‍රෑන්ඩ්පාර්ක් වෙරළ තීරය, ෆ්‍රෙඩරික්ස්බර්ග් මාලිගය ආදී බොහෝ ස්ථාන නරඹන්නට ඉඩ ලැබේ.

sri lanka 2

2. චීනයේ ෂැන්සෙන් නගරය

චීනයේ ගුවැන්ග්ඩොන්ග් පළාතෙහි පිහිටි ෂැන්සෙන් නගරය පර්ල් ගං ඩෙල්ටාවෙහි ඇති මහා නගරයක් ලෙස හැඳින් වේ. නගරයට අයත් බිම් පෙදෙස වර්ග කිලෝමීටර 1748ක සරියක් පුරා විහිදී ඇත. සංඛ්‍යා ලේඛනවලට අනුව 12,905,000කට ආසන්න පිරිසක් මේ නගරයෙහි වෙසෙති. එසේ වුවත් එහි වෙසෙන ජන සංඛ්‍යාව පිළිබඳව නිශ්චිත තීරණයක් නොමැත. එයට හේතුව, නොයෙක් මාර්ග ඔස්සේ නගරයට ඇතුළුවන විශාල පිරිසක් ලියාපදිංචි නොවී නගරයෙහි විසීමයි. එක්දහස් නවසිය අනූ ගණන්වලදීත්, නව සහශ්‍රය තුළදීත් මේ නගරය ඉතා වේගයෙන් සංවර්ධනය කෙරිණ. ලොව ඉතා වේගයෙන් සංවර්ධනය වන නගර අතරට එනිසාම මේ නගරයත් ඇතුළත්ව තිබේ. ෂැන්සෙන් බොක්ක වරාය සහ ඒ ආශ්‍රිත ඉදිකර ඇති පාලමත්, හොන්ග්ෆා බෞද්ධ පන්සලත්, ෂැන්සෙන් ක්‍රිස්තියානි දේවස්ථානයත් නගරයේ ඇති ප්‍රකට ස්ථානයන් ය. ඒ හැරුණු විට අහස සූරන ගොඩනැඟිලි පන්තියක්ම එහි ඇත.

sri lanka 3

3. සර්බියාවේ නොවී සාද් නගරය

සර්බියාවට අයත් නොවී සාද් නගරය වර්ග කිලෝමීටර 129.7ක සරියක් පුරා විහිදුනු, 277,522 පිරිසකට සෙවන සාදන නගරයකි. ඩනුබේ ගඟ ඉංග්‍රීසි “S” අක්ෂරයේ හැඩයට නගර මධ්‍යයේදී දඟර ගැසී තිබීම මේ නගරයට අමුතු චමත්කාරයක් එකතු කරයි. නගරයේ තවත් පැත්තකට ෆෘස්කා ගෝරා කන්ද බෑවුම් වේ. මේ නිසා නොවී සාද් නගරය ස්වාභාවිකවම අලංකෘතය.

sri lanka 4

4. ඇමෙරිකා එක්සත් ජනපදයේ මියාමි නගරය

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩාහි පිහිටි මියාමි නගරය මහ නගරයක් ලෙස හැඳින් වේ. මහා නගර සීමාවට යටත් ප්‍රදේශය වර්ග කිලෝමීටර 147ක් පමණ වේ. මිලියන 6.1ක් පමණ මියාමි නගරයෙහි වෙසෙති. මියාමි ගඟ, මියාමි බොක්ක ඇසුරු කරගත් මියාමි නගරය ඉතා සුන්දරය. එමෙන්ම එහි නරඹන්නට බොහෝ තැන් ඇත. මියාමි සත්ත්වෝද්‍යානය, මන්කි ජංගල්, කොරල් කාසල්, ජංගල් අයිලන්ඩ් යන ස්ථාන සංචාරකයන්ගේ අවධානයට හේතුවන ප්‍රකට ස්ථානයන් කිහිපයකි.

sri lanka 5

5. නේපාලයේ කත්මන්දු නගරය

දකුණු ආසියාතික නගරයක් වන කත්මන්දු නගරය හිමාලය කඳු පාමුල ඇති මහා නගරයකි. එය, මුහුදු මට්ටමේ සිට අඩි 1400ක් පමණ ඉහළින් පිහිටා ඇත. වර්ග කිලෝමීටර 49.45ක සරියකින් සමන්විත කත්මන්දු නගරය 1,442,271ක් තරම් වූ පිරිසකට සෙවන සදන තැනෙකි. කත්මන්දු නගරයේ එක් පසෙකින් තිබෙන්නේ කත්මන්දු නිම්නයයි. බග්මති ගඟ නගරයේ තවත් පැත්තකින් ගලා යනු දක්නට පුළුවන. බෞද්ධ සහ හින්දු ආගමික පූජනීය ස්ථාන කත්මන්දු නගරය තුළ බහුලය.

sri lanka 6

6. මෙක්සිකෝවේ මෙක්සිකෝ නගරය

උතුරු ඇමෙරිකාවෙහි ජනාකීර්ණම නගරය හැටියට සැලකෙන්නේ මෙක්සිකෝ නගරයයි. මෙක්සිකෝ නිම්නයේ පිහිටා ඇති මේ නගරයට යටත් ප්‍රදේශය වර්ග කිලෝමීටර 1485ක් පමණ වේ. එහි වෙසෙන ජන සංඛ්‍යාව 8,918,653ක් තරම් වේ යැයි පැවසේ. මෙක්සිකෝ නගරය ඇමෙරිකාවේ පැරණිතම නගරයකි. මේ නගරය නිර්මාණය කිරීමට දායකවූවෝ ස්වදේශික ඇමෙරිකා ජාතිකයෝ ය. පසුව ඇස්ටෙක්වරුන් අතින් දියුණු තත්ත්වයකට පත් වුණු මෙක්සිකෝ නගරය එක්දහස් පන්සිය ගණන් මුල භාගයේදී ස්පාඥ්ඥයට යටත් වීමෙන් පසු පරිහානියට පත්වන්නට පටන් ගත්තේය.

sri lanka 7

7 සෙනෙගාලයේ ඩකාර් නගරය

බටහිර අප්‍රිකා රාජ්‍යයක් වන සෙනෙගාලයේ විශාලතම නගරය සහ අගනගරය වන්නේ ඩකාර් නගරයයි. වර්ග කිලෝමීටර 83කින් සමන්විත මේ නගරයේ ජනගහනය 1,146,053ක් පමණ වේ. එය මහ නගරයක් හැටියටත් සැලකේ. 2022 යොවුන් ඔලිම්පික් උළෙලට සත්කාරකත්වය සැපයීමේ අවස්ථාව හිමිවීමත් සමඟම සෙනෙගාලයේ ඩකාර් අගනුවර වෙත ලොව බොහෝදෙනෙකුගේ අවධානය යොමුවන්නට පටන් ගත්තේය.

sri lanka 8

8. වොෂින්ටන්හි සියැට්ල් නගරය

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටනයේ සියැට්ල් නගරය එරට නැඟෙනහිර වෙරළෙහි ඇති වරාය නගරයකි. මේ නගරය ඇමෙරිකාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන නගරයක් හැටියට සැලකේ. වර්ග කිලෝමීටර 369.2ක සරියකින් යුත් මේ නගරයේ 608,660ක පමණ පිරිසක් ජීවත් වෙති. වසර 4,000කටත් වඩා පැරණි ඉතිහාසයක් ඇති මේ නගරය තුළ ස්වදේශික ඇමෙරිකා ජනයා පදිංචිව සිටි බව සඳහන් වේ. සියැට්ල් අන්තර්ජාතික චිත්‍රපට උළෙල, වුඩ්ලන්ඩ් පාර්ක් සත්ත්වෝද්‍යානය, සියැට්ල් භූ ගත සවාර, කෞතුකාගාර, විවිධ විධියේ උද්‍යාන ආදිය නිසා සියැට්ල් නගරය සංචාරකයන් අතර බෙහෙවින් ප්‍රකට ය.

sri lanka 9

9. ක්‍රොඒෂියාවේ සර්දාර් නගරය

අඛණ්ඩවම ජනාවාස තත්ත්වයේ පැවැති පැරණිතම නගරයක් හැටියට සැලකෙන මේ ක්‍රොඒෂියානු නගරය වර්ග කිලෝමීටර 25කින් සමන්විතය. එහි ජනගහනය 75,082ක් පමණ වේ. රටේ දේශපාලන, සංස්කෘතික, වාණිජ, අධ්‍යාපනික සහ ප්‍රවාහන කටයුතුත් කර්මාන්තත් කේන්ද්‍ර ගතව තිබෙන්නේ මේ නගරය තුළයි. ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථාන බහුල බැවින් සර්දාර් නගරයට සංචාරකයෝ විශාල වශයෙන් පැමිණෙති. මේ නගරය ලෝක උරුමයක් හැටියටත් නම් කර තිබේ. “ද ටයිම්ස්” පුවත්පත මේ නගරය වරක් හඳුන්වා දුන්නේ “ඇඩ්‍රියන් මුහුදේ විනෝදාස්වාද මධ්‍යස්ථානය” හැටියටයි. “ද ගාර්ඩියන්” පුවත්පත සර්දාර් නගරය හඳුන්වන්නේ “ක්‍රොඒෂියාවේ සිහිලැල් නව අගනගරය” හැටියටයි.

sri lanka 10

10. මොරොක්කෝවේ මෙක්නෙස් නගරය

මෙක්නෙස් නගරය මොරොක්කෝවේ ඇති පෞරාණික රාජධානි හතරෙන් එකකි. වර්තමානයේදී මේ නගරයට අයත් ප්‍රදේශය වර්ග කිලෝමීටර 370ක් පමණ වේ. එහි ජනගහනය 632,079කි. අනුස්මරණ ද්වාර, ප්ලේස් හෙඩිම්, ඓතිහාසික හබිස් කාරා බන්ධනාගාරය, රජ මැදුර, පළතුරු ආදියෙන් පිරුණු වෙළඳපොළ සංකීර්ණ, කෞතුකාගාර මේ නගරයේ ස්ථාපිත ය. යුරෝපා සහ ඉස්ලාමික ගෘහ නිර්මාණ කලාවේ සෞන්දර්ය මෙහි ඇති ගොඩනැඟිලි රාශියක් තුළ ගැබ්ව ඇත. මෙක්නෙස් නගරයට පිවිසෙන සංචාරයකයකුට නගරයේ ඓතිහාසික ශ්‍රී විභූතිය භක්ති විඳිය හැකිය.

Related posts

හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියේ සැගවුණු අරමුණු – වෛද්‍ය වසන්ත බන්ඩාර

colombotoday

කැළෑබෝගස්වැවේ ඓතිහාසික අසාධාරණය

colombotoday

දළදා හාමුදුරුවන්ටත් නොපෙනෙන NGO නඩයේ මානසික තදබදය

colombotoday

එඩ්වඩ් හා ඇල්ලේපොල මහ නිළමේ…

colombotoday

ලෝක බැංකු මහනගර සැළසුම (ජාතික භෞතික සැළැස්ම) ඉදිරියට… සොබා දහම වළපල්ලට !

colombotoday