ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලැබෙන විශේෂ ප්‍රතිලාභ සහිත වරණීය තීරුබදු සහනය පිළිබඳ පොදු ක්‍රමය (ජී.එස්.පී) හරහා මත්ස්‍ය අපනයනවලට සියයට 15ක බදු සහනයක් හිමිවන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර ඇත.

ලබන 22 වැනි දා සිටි ඇමෙරිකාවෙන් ලැබෙන ජී.එස්.පී සහනය ක්‍රියාත්මක වීමත් සමඟ ධීවර ක්ෂේත්‍රයට මෙම සහනය ලැබෙන බවත් එයි මත්ස්‍ය අපනයන සඳහා විශාල වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරන බවත් අමාත්‍ය අමරවීර මහතා පවසා තිබේ.

කොළඹ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ දී එම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම කරුණු කියා ඇත.

ශ්‍රී ලංකාවට විශේෂ ප්‍රතිලාභ සහිත වරණීය තීරුබදු සහනය පිළිබඳ පොදු ක්‍රමය (ජී.එස්.පී) නැවත ලබාදෙමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අයවැය පනතට අත්සන් තබා ඇතැයි කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය මාර්තු 28 වැනි දා නිවේදනය කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබා දී තිබූ ජී.එස්.පී සහනය පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ අතර  මෙම වසර (2018) වසර මූල්‍ය කටයුතු තැබු අවස්ථාවේදී ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් රැසකට දී තිබූ එම සහනය දීර්ඝ කර නැති බව සඳහන් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉකුත් වසරේ දෙසැම්බර් 29 වැනිදා නිවේදනය කළේය.

සියයට 15ක මෙම බදු සහනය හිමිවීමත් සමඟ මත්ස්‍ය අපනයන මගින් රටට විශාල ආදායමක් උපයා ගැනීමට මෙන්ම අපනයනය කරන මත්ස්‍ය ප්‍රමාණය ඉහළ නැංවීමට හැකි වන බව ද අමාත්‍යවරයා මෙහිදි පවසා තිබේ.

පසුගිය වසරේ දී මෙරටින් විදේශ රටවලට මසුන් මෙට්‍රික් ටොන් 18,262ක්  අපනයනය කර ඇතැයි ද එමගින් රටට ලැබුණු ආදායම රුපියල් මිලියන රුපියල් මිලියන 28,685ක් යැයි ද ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අතරින් යුරෝපා හවුලට අයත් රටවලට මෙට්‍රික් ටොන් 4012ක් ද, වෙනත් යුරෝපීය රටවලට මෙට්‍රික් ටොන් 24,000 ක්ද, අපනයනය කර ඇත.

මෙරට මත්ස්‍ය නිෂ්පාදන වලින් සියයට 27කට මිලදී ගන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය බවත් සියයට 15ක බදු සහනය හිමිවීමත් සමඟ  ඇමෙරිකාවට කෙරෙන මත්ස්‍ය  අපනයනය තවදුරටත් ඉහළ නැංවීම තුළින් රටට විශාල විදේශ විනිමයක් ප්‍රමාණයක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

පසුගිය වසරේදී මුහුදු ආහාර අපනයන කිරීමෙන් ලද ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 240.6ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 36,000ක්) යැයි ද එය 2017 වසරේදී සියයට 41.9ක් වර්ධනයක් යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා සඳහන් කරයි.