ArticlesColombo Today Local Newsfeatured

ෆොන්සේකා ගෝඨාභය හා යහපාලනය – ජාතික වීරයන් හිරගෙට දක්කන ආණ්ඩුවට පාඩමක්

ප්‍රභාකරන් ආයුධ අතට ගෙන ශ්‍රි ලංකාවේ වෙනම රාජ්‍යක් ඉල්ලා යුධ වදින්නට පටන් ගන්නෙ අතර මගදී සමාදානයෙන් යුද්ධය නතරකොට දේශපාලන තනතුරක් ගෙන වැඩේ නවත්වන්නට නොවේ.

මෙහෙව් ප්‍රභාකරන් ලංකාවේ පත් වූ විධායක ජනාධිපතිවරු හතර දෙනෙකු ගේ හමුදාව සමග යුද්ධ කළේය. එවකට ශ්‍රිලනිප යාපනය ආසනයේ සංවිධායක හා යාපනේ පුරපති ඇල්ප්‍රඩ් දොරේඅප්පාගෙන් පටන් ගත් දේශපාලන ඝාතන නතර කරේ මාතර අකුරැස්ස ගොඩපිටිය පල්ලිය අසල අවසන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙනි. මෙහිදී ඇමතිවරු ගනනාවක් අනූනවයෙන් තම ජීවිත බේරා ගත් අතර එවකට හිටපු තැපැල් ඇමති මහින්ද විජේසේකර සදාකාලිකව ඔත්පල කරන්නට ප්‍රභාකරන්ගේ අවසන් මිනිස් බෝම්බය සමත් විය.

හිටපු ආරක්ෂක ලේකම්ගෙන් අධිකරණය ඇඟිලි සලකුණු ලබා ගනිමින්

මෙවැනි තත්වයක් තුල රටේ විධායක ජනාධිපතිවරු සිව් දෙනෙක් ජේ.ආර් ජයවර්ධන,රණසිංහ ප්‍රේමදාස,ඩී.බී විජේතුංග,චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රභාකරන්ගේ මිනීමරු කොටි සංවිධානය සමග සටන් කළේය. ඒ අතරින් රණසිංහ ප්‍රේමදාස කොටින්ගේ මිනිස් බෝම්බයකට බිලි වූ අතර චන්ද්‍රිකා කුමාරතුංග ඇසක් අහිමිව නූලෙන් බේරුනේය. ප්‍රභාකරන්ගේ මිනීමරු ත්‍රස්තවාදී සංවිධානය ඒ තරමට ත්‍රාසජනක ලෙස ක්‍රියා කලේය.

සිවිල් අහිංසක නිරායුද මිනිසුන් දහස් ගනනක් දසක තුනකට අධික කාලයක් පුරා ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කළේය. සිවිල් වැසියන් ගමන් ගන්නා බස් රථවලට ක්ලේමෝ බෝම්බ ගසා මිනිස්සුන් බල්ලන් බලලුන් මෙන් මරා දැමුවේය. ගම්මානවලට පැන කිරිබොන කුඩා දරුන් ඇතුළු පවුල් පිටින් කපා කොටා මරා දැමු ත්‍රස්තවාදීන් ජය ශ්‍රි මහා බෝධියේ සිට දලදා මාලිගාව දක්වා බෞද්ධ සිද්ධස්ථානවලට වෙඩි තබමින් බෝම්බ ගසමින් විනාස කරන ලදි. අරන්තලාවෙදි භික්ෂූන් වහන්සේලා පොකුරු පිටින් ඝාතනය කළ අතර දිඹුලාගල හිමියන් වැනි සමාජයට වැඩදායක භික්ෂූහු වෙඩි තබා සහසික ලෙස ඝාතන කළේය.

මහ බැංකුව, ගුවන්තොටුපල, තෙල් ටැංකි ඇතුළු රටේ ආර්ථික මරමස්ථාන විනාශ කල LTTE ත්‍රස්තයන් ඔවුන්ගේම ගුවන් හමුදාවක් හැදුවේය. වෙනම පොලීසි හැදුවේය. වෙනම බැංකු හැදුවේය. ගුවන් පථ නිර්මාණය කළේය. අවසානයේ ගුවන් යානා යොදාගෙන කොළඹට පහරදීමට තරම් බලවත් විය. ඒ කාලයෙ අද කතා කරන බොහෝ දෙනා තම ජිවිකාව කරගෙන ගියේ මර බියෙන් බව අමුතුවෙන් කිවයුතු නොවේ. මේ සියල්ල මැද එවක ජනාධිපතිවරයාව සිටී මහින්ද රාජපක්ෂ ත්‍රස්තවාදීන් මුලින් උපාටා දැමීමට තීරණය කරන ලදි. ඔහු රටෙ ජනතාවට 2005දි පොරොන්දුවක් දුන්නේය. ඒ මේ කුරිරු ත්‍රස්තවාදී යුද්ධය ඔහු අවසන් කරන බවටය. මිනිස්සු ඔහුගෙන් කන්න ඉල්ලුවේ නැත. බඩු මිල අඩු කරන්න කිව්වේ නැත. පඩි වැඩි කරන්න කීවේද නැත. ඉල්ලූ එකම දෙය මව්බිමෙන් මේ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදීන් අතුගා දමන ලෙස පමණි. එම ජනතා පැතුම ඔහු ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය. මිනිස්සු ඒ වෙනුවෙන් ඔහුට මහා වීරත්වයක් ලබා දෙන ලදි. ඔහුට දුටු ගැමුණුට සේ සලකන්නට මිනිස්සු පසුබට නොවීය. ඔහු වෙනුවෙන් මහා රජෙකුට සේ ගී නිර්මාණය විය.

කාලය ගත විය….

යුද්ධය වෙනුවෙන් සුවිශාල කැපවීමක් කළ මහින්දගේ ප්‍රධාන යුධ සෙනෙවියා සරත් ෆොන්සේකා මහින්දට විරුද්ධව ජනාධිපති සටනට ආවේ ප්‍රතිවිරුද්ධ පාර්ශවය නියෝජනය කරමින්ය. එය මහින්ද හෝ රටට ආදරේ මිනිසුන් හීනෙන්වත් සිතූ දෙයක් නොවේ. රනිල් වික්‍රමසිංහ, මගල සමරවීර හා ජනාතා විමුක්ති පෙරමුණ මහින්දගේ ජෙනරාල් වරයා මහිදට විරුද්ධව ඡන්දය ඉල්ලන තැනට පොලඹවා ගත්තේ සැලසුම් සහගතවය. අවසානයෙ 2010 ජනාධිපතිවරණය යුධ වීරයන් දෙදෙනෙකු අතර සිදුවන ද්වන්ද සටන් තත්වයට පත් විය. අවසානයේ මහින්ද මුලු වැර යොදා තමාගේ ප්‍රතිවාදි ජෙනරාල්වරයාට පහරදුන් අතර දේශපාලනයේ අට පහ නොදත් ජෙනරාල් ෆොන්සේකා දේශපාලන සටන් භූමියේ හතරගාතයෙන් ඇදවැටුනේය. ඔහු වටා සිටි ප්‍රධානම දේශපාලන බල කදවුරේ නායකයා රනිල් වික්‍රමසිංහ ඔහු මඟහැර ගියේය. ජවිපේද ටික කලක් කෙදිරී ගාමින් ෆොන්සේකා වටේ කැරකුණු අතර අවසානයේ ෆොන්සේකා තනිවිය.

සරත් ෆොන්සේකාගේ ගේ දෙවැනි මෙහෙයුම අවසාන වන්නෙ ඔහුට දේශපාලන වශයෙන් මාරාන්තික තුවාල සිදු කරමින් පමණය නොවේ. ඔහු එතෙක් අත්කරගෙන සිටී කීර්තියද ඔහුට අහිමි කරමින්ය. මහින්ද ඊලග මෙහෙයුම ආරම්භ කරන්නෙ ප්‍රභාකරන් හෝ ප්‍රභාකරන්ගේ සහචරයන්ට විරුද්ධව නොව තම හමුදාවට අණ දුන් ජෙනරාල්ට එරහිවය. මැතිවරණයේ ප්‍රතිඵලය භාගයට කියන විට මහින්ද ෆොන්සේකා කකුල් දෙකෙන් ඇදන් යන්නට, ෆොන්සේකාම අණ දුන් හමුදා බටයන් ඔහු සිටි හෝටලයට එව්වේය. එතෙන්ට පැමිණි හමුදාව තමන් පැමිණි කාර්‍ය අකුරටම සිදු කළේය. ඒ රූපරාමු පෙළ අවසන් වන්නේ ෆොන්සේකා මහතා බරපතල වැඩ සහිතව හිරබත් කන තත්වයට පත්වීමෙනි. ඒ හේතුව නිසා මහින්ද කෙරේ සීයයට සියයක් රටේ මිනිස්සුන්ගේ තිබුණු කැමැත්ත දිය වී යන්නට විය. මහින්දට පක්ෂ මිනිස්සු පවා පැවසුවේ මොනව උනත් මහින්ද ෆොන්සේකට කරපු වැඩ කැතයි කියාය. මහින්ද සමග ජනාධිපතිවරණයට එන විට ෆොන්සේකාට දොස් කී මිනිස්සු පවා පසුව ෆොන්සේකා මහතාට අනුකම්පා කරන තැනකටත් මහින්දට වෛර කරන තැනකටත් පත් විය. ඒ ලංකාවේ මිනිස්සුන්ගේ හැටිය. ලංකාවේ ඉන්නෙ හිත උණුවෙන මිනිස්සු බව දැන දැනත් මහින්ද මොළයට වඩා කේන්තියට ඉඩ දුන්නේය. ඇත්තම කිව්වොත් මහින්දගේ ආණ්ඩුව පිරිහෙන්නට පටන් ගන්නෙ එතනිනි.

දැන් රනිල් සිරිසේන ආණ්ඩුව දිගට හරහට රණවිරුවන් හා භික්ෂූන් දඩයම් කිරීමට පටන්ගෙන තිබේ. මුලින් මුලින් කොටි ඩයස්පෝරාව සතුටු කිරීමට සාමාන්‍ය හමුදා සෙබලුන් අධිකරණයට ගෙනාවේය. ඊට පසුව කැප්ටන්ලා, මේජර්ලා ගෙනාවේය. ඊට පසුව බ්‍ර්ගේඩියර්ලා මේජර් ජනරාල්ලා ගෙනාවේය. තවත් විටක හිටපු හමුදා ප්‍රධානීන් සියළු දෙනා අල්ලස් කොමිෂන් සභාව හරහා ගෙනවිත් උසාවි කුඩු අස්සේ තබාගත්තේය. ඊට ජනාධිපතිවරයාද තරමක් උරන වී මාධ්‍ය මගින් එසේ කරපු අයට දොස් නගනු දක්නට ලැබුණි. නමුත් වැඩේ නතර වූයේ නැත. ආසන්නයේම අපි දුටු අප්‍රසන්නම සිදුවීම නම් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයට ගෙනවිත් ඇගිලි සලකුණු ලබා ගැනීමයි. රටක් ලෙස මෙවැනි ක්‍රියා අපි ලජ්ජාවට පත්කරන බව නොකියා බැරිය. එදා ෆොන්සේකා යුධ විරුවෙක් ලෙස හිරේ විලංගුවේ දම විට අපි රාජපක්ෂ ආණ්ඩුවට එය නොකළ යුත්තක් ලෙස පෙන්වා දුන්නේය. එසේම අපි ගෝඨාභය රාජපක්ෂ විනාශ කිරීමට මෙ සිදු කරන අප්‍රසන්න ක්‍රියාවද නොසුදුසු ක්‍රියාවක් ලෙස පෙන්වා දීමට කැමැත්තෙමු. යහපාලනයක් යනු විශේෂ අධිකරණ පිහිටුවා ඒ මගින් දේශපාලන දඩයම් කිරීම නොවන බව අපි යහපාලන ආණ්ඩුවට ඉතා ඕනෑ කමින් අවධාරණය කර සිටිමු.
දිගින් දිගටම තමන්ට තර්ජනයක් වන පුද්ගලයින් මෙසේ සිරගත කිරීමට උත්සහ කිරීමෙන් යහපාලනය කෙරේ ඇති ජනතා කැමැත්ත වාෂ්ප වී යා හැකි බව බලධාරීන් දැනගත යුතුව ඇත. වෙනත් රටවල යුධ විරුවන් ගෞරව සම්මානයට පාත්‍ර කරද්දී මේ රටේ යුධ විරුවන් සිරගත කිරීමට කටයුතු කිරීම අපිට අදහා ගත නොහැක්කකි.

ආණ්ඩුව ඩයස්පෝරාව සතුටු කිරීමට හා ඊලග මැතිවරණයේදි උතුරේ ඡන්ද බලාපොරොත්තුව මෙය කරනවා විය හැකිය. අපට යහපාලන ආණ්ඩුවට කීමට ඇත්තේ ඔබේ ගමනද අවසන් වෙමින් තිබෙන බව පමණකි. එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුද්ධයක් දිනා රටට සාමය ගෙනා ආණ්ඩුව නමුත් ෆොන්සේකා සිරගතකොට පිරිහී ගියේය. යුධ ජයග්‍රහණය වෙනුවෙන් පොල්තෙල් පහනක් හෝ නොදැල් වු යුධ ජයග්‍රහණය හෑල්ලුවට ලක් කරමින් තොප්පිගල කැලයක් බවත් කිලිනොච්චියේ යනවා කියා මැදවච්චියේ යන බවත් කී එජාපය ප්‍රමුඛ ආණ්ඩුවට ජනතාව දක්වන ප්‍රතිචාරය අපට හිතාගත හැකිය.
ජනතාව යහපාලනයෙන් බලාපොරොත්තු වූයේ මෙවැනි රටට ද්‍රෝහී ක්‍රියා නොවේ. රටත් ජනතාවත් සුඛිත මුදිත කිරීමකි. නමුත් දැන් ජනතාව ඉන්නෙ ගහෙ වැටුනු එකාට ගොනා ඇන්නා වැනි තත්ත්වයකය. මෙම තත්වය තේරුම් නොගෙන තවදුරටත් ක්‍රියා කළහොත් මීළඟ මැතිවරණවලදී ආණ්ඩුවට දකුණෙ ජනතාව හොඳ පාඩමක් උගන්වනු නිසැකය.

අවසානය කීමට ඇත්තේ එක දෙයකි. එනම් මේ හංසයාට ලැබුණු කතිරයෙන් බලයට පත්වූ මේ යහපාලකයින් ගයමින් සිටින්නෙ හංස ගීතය බවයි.

විශේෂ ලියුම්කරුවෙකු විසින්

Related posts

අද ක්‍රියාත්මක කාර්යාල දුම්රිය 10ක් පමණයි

Admin

අඩු ආදායම්ලාභී පවුල්වලට මුදල් සහනයක්

Admin

ජනපතිගේ සභාපතිත්වයෙන් යුත් ආර්ථික සභාවක්

colombotoday

අලුත් අවුරුදු කොවිඩ් රැල්ලේ පස්වැනි ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රී පොහොට්ටුවෙන්

colombotoday

ලංකාවේ වී වගා කරන එක අපාරාදේ.. හාල් රටින් ගෙන්වන්න පුළුවන් – මුදල් ඇමති

colombotoday

VAT වැඩි කළේ ආර්ථිකය ගොඩ ගන්නයි.. ජනතාවට දුක දෙන්න නොවේ

colombotoday