Colombo Today Local NewsTop Stories

ICBT කැම්පස් හී හොර මගඩි රැසක් එලියට – පැමිණිලි රැසක් පොලීසියට – සුදුසුකම් නොමැති සේවකයන් – සේවිකාවකට ලිගික අතවර

“ICBT කැම්පස්” නමින් මෙරට ක්‍රියාත්මක පුද්ගලික උපදී අධ්‍යාපන ආයතනයක් සිදුකර ඇති වංචා රැසක් පිළිබඳව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විශේෂ හෙළි දරවුවක් සිදුකර තිබෙනවා. එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක පහත සඳහන් කරුණු පෙන්වා දී ඇත.

අධ්‍යාපනය විනාශ කරන උපාධි කඩ හැම තැනම. සිසුන් අමාරුවේ.බම්බලපිටිය ICBT කැම්පස් ආයතනයත් එවැනි අධ්‍යාපන ආයතනයක්.
විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගැනීම මෙරට දෙමව්පියන්ගේ මෙන්ම දුවා දරුවන්ගේද සිහිනයක් වන බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍යයින් 175000 ට ආසන්න සංඛ්‍යාවක් අතුරින් රජයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට අවකාශ ලැබෙන්නේ 26000කට ආසන්න ශිෂ්‍ය සංඛ්‍යාවකට පමණකි. ඒ අනුව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් සපුරා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට අපේක්‍ෂා කරනු ලබන විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකට එනම් සුදුසුකම් ලබන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 4/5කට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමේ අවකාශ අහිමි වී ඇත. දැනට අප රට තුල ඇති රාජ්‍ය විශ්ව විද්‍යාල සංඛ්‍යාව 14ක් වන අතර එම විශ්ව විද්‍යාල 14 තුළ අධ්‍යාපනය ලැබීමට අවකාශ ඇත්තේ සුදුසුකම් ලබන ශිෂ්‍ය ප්‍රමාණයෙන් 1/5කට පමණි. ඒ අනුව වසරකට සුදුසුකම් ලබන ශිෂ්‍යයින්ගෙන් 4/5ක් එනම් ශිෂ්‍යන් අති විශාල සංඛ්‍යාවක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට ඇති අපේක්‍ෂාවන් ඉටු කර ගත නොහැකිව කළකිරීමෙන් පසුවේ.

මෙම හේතුව නිසා මෙරට හතුපිපෙන්නාක් මෙන් පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ වී ඇති බව අප සැවොම දන්නා කාරණයකි. එහෙත් එම විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය පිළිබදව ඇති තත්වය නම් සැබැවින්ම කණගාටුදායකය.

සිසුන්ට තොගපිටින් උපාධි ප්‍රදානය කරනු ලබන බම්බලපිටිය සිය මූලස්ථානය කරගනිමින් කොළඔ,නුගේගොඩ,ගාල්ල,මාතර,කුරුණෑගල,නුවර,යාපනය,මඩකලපුව යන නගරවල ශාඛා පවත්වාගෙන යමින් උපාධි ලබා දීමේ ව්‍යාපාරයේ නිරතවන ICBT කැම්පස් ආයතනය ( International College of Business and Technology.)(www.icbt.lk) අද වන විට ප්‍රමිතියෙන් තොර තත්වයට පත්ව ඇත.
මෙම ආයතනයේ හිමිකරුවන් වන්නේ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයයි. සෙලින්කෝ සමාගම් සමූහයේ සභාපතිවරයා යම් ආයතනයක් ආරම්භ කරනවිට සිය සමාගම් ජාලය යටතේ පවතින සමාගම් වල මුදල් ඊට යොදා ගනී. මෙම ආයතනය ආරම්භ කළේද ඒ ආකාරයටමය.

බම්බලපිටිය ප්‍රධාන ශාකාව දේශන පැවැත්වීමට නුසුදුසු ගොඩනැගිල්ලක්

ICBT ආයතනය පුද්ගලික අධ්‍යාපන ක්ෂ්ත්‍රය‍ට පැමිණ වසර කිහිපයකින් බම්බලපිටියේ ඉඩමක් මිලදීගෙන ගොඩනැගිල්ලක් ඉදිකරනු ලබයි. පවතින නීති රීතිවලට අනුව යම් ගොඩනැගිල්ලක සිසුන් සදහා දේශණ පැවැත්වීමට නම් සපුරාලිය යුතු කොන්දේසි සමූහයකි. එම කොන්දේසි සාදා තිබෙන්නේ සිසුන්ගේ ආරක්ෂාව සදහා නාගරික සංවර්ධන අධිකාරිය විසිනි. එම කොන්දේසි සපුරාලීමට අපොහොසත් වූ ICBT කැම්පස් ආයතනය නාගරික සංවර්ධන අධිකාරියට ලිඛිතව දැනුම් දෙන්නේ මෙම ස්ථානයේ සිසුන් සදහා දේශණ නොපවත්වන බවයි. එම ආයතනය එහිදී සදහන් කරන්නේ මෙම ස්ථානය තම සමාගමකට අයත් සමාගමක මූළස්ථානයක් සදහා භාවිතා කරන බවයි. එහෙත් වර්තමානයේ මෙම අධ්‍යාපන ආයතනය මෙකී ගොඩනැගිල්ලේ සිසුන් සදහා දේශණ පවත්වනු ලබයි.තවම මෙම ගොඩනැගිල්ල සදහා කොළඔ නගරසභාවෙන් අනුකූලතා සහතිකය ලබා ගෙන නැත. රජයට ව්‍යාජ තොරතුරු ලබා දෙමින් සිසුන්ට උපාධි ලබා දෙන මෙවැනි ආයතන පිළිබදව ජනතාව ගතයුතු ක්‍රියාමාර්ග කුමක්ද? යන්න තීරණය කිරීම ජනතාවටම භාර කරන අතර මෙම ගොඩනැගිල්ල තුළ දේශණපැවැත්වීම අනතුරුදායක වන බව පමණක් අප සදහන් කරමු. මන්ද? යත් කිසියම් අනතුරක් වූ පසු පමණක් ඒ ගැන වාර්තා කිරීම හා සොයා බැලීම ප්‍රමාණවත් නොවන බව පාස්කු ප්‍රහාරයෙන් පසුව රටම දන්නා කාරණයක් වන නිසාය.

HND මගඩිය

ශ්‍රී ලංකාවේ වලංගු නීතියට අනුව උසස් ජාතික පාඨමාලාවන් (HND) පවත්වා සහතිකපත් නිකුත් කළ හැක්කේ රජයේ අධ්‍යාපන ආයතනවලට පමණකි. දේශීය පෞද්ගලික ආයතනවලට උසස් ජාතික පාඨමාලාවන් (HND) නමින් පාඨමාලාවන් පවත්වා ගෙන යාම සහ සහතිකපත් නිකුත් කිරීම නීති විරෝධීවේ.එහෙත් ICBT කැම්පස් ආයතනය සිසුන් හා දෙමාපියන් මුලා කරමින් උසස් ජාතික පාඨමාලා පවත්වාගෙන යනු ලබයි. ICBT කැම්පස් යන ආයතනය විසින් කරගෙන යනු ලබන මෙම නීතිවිරෝධී ක්‍රියා නවතා දමන ලෙස තෘතීයික අධ්‍යාපන කොමිසම (TERTIARY AND VOCATIONAL EDUCATION COMMISSION) ICBT කැම්පස් ආයතනයට කිහිපවරක් දැනුම් දුන්නද මෙම ආයතනය තවම ජාතික පාඨමාලාවන් (HND) නමින් පාඨමාලාවන් පවත්වා සහතිකපත් නිකුත් කරනු ලබයි. මෙම හේතුව නිසා අපහසුතාවයට පත්වන්නේ සිසුන් හා දෙමාපියන්ය. විදේශයක උසස් අධ්‍යාපනය සදහා හෝ රැකියාවක් සදහා මෙරටින් පිටව යන සිසුන් ICBT කැම්පස් ආයතනයෙන් නිකුත් කරන ලද සහතිකපත් තෘතියික අධ්‍යාපන කොමිසමෙන් සහතික කිරීම සදහා ඉදිරිපත් කල විට ICBT කැම්පස් ආයතනයට ජාතික පාඨමාලාවන් පැවැත්වීම සදහා බලයක් නොමැති බැවින් එසේ සහතිකපත් සහතික කිරීම ප්‍රතික්ෂේප කර ඇත. ඒ පිළිබදව සිසුන් විසින් බම්බලපිටිය පොලීසිය වෙත පැමිණිලිකර ඇත.

ICBT කැම්පස් ආයතනය පිළිබදව ඇති තවත් චෝදනාවක් වන්නේ ඉහළ කළමනාකාරිත්වත්වය ඇතුලු බොහෝ දේශකයන්ට නියමිත සුදුසුකම් නොමැති වීමයි.

ලිංගික හින්සනත් සිදුවෙලා.

මෙම අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක වෙළද ලෙස කටයුතු කරන අනුර ගමගේ යන අය විසින් ප්‍රධාන විධායක නිළධාරිවරයාගේ ලේකම්වරියට ලිංගික හිංසනයක් කිරීමක් පිළිබදව බම්බලපිටිය පොලීසිය විසින් අධිකරණයේ නඩුවක් පවරා ඇත. (නඩු අංක B/81339) ඇපමත මුදාහැර සිටින අනුර ගමගේ යන අය තවමත් ICBT කැම්පස් ආයතනයේ අධ්‍යක්ෂක වෙළද ලෙස කටයුතු කරනු ලබයි. ICBT කැම්පස් ආයතනයේ පාඨාමාලාවන් පිළිබදව විමසීමට සිසු සිසුවියන් මුලින්ම හමුවන්නේ මෙම පුද්ගලයාය. තම දුවා දරුවන් උසස් අධ්‍යාපනය සදහා මෙරට දෙමාපියන් යොමු කරන්නේ මෙවැනි ආයතනවලට වන නිසා අප මීට වඩා ඒ පිළිබදව සොයා බැලිය යුතු නොවේද?

ගෝල්ඩන් කී සමාගමේ කොටස් හොර පාරෙන් වෙනත් සමාගමකට

අනෙක් කාරණය වන්නේ ICBT කැම්පස් ආයතනය ආරම්භ කරන අවස්ථාවේදී ගෝල්ඩන් කී සමාගම සතුව කොටස් තිබුනද ගෝල්ඩන් කී සමාගමේ වත්කම් විකුණා තැන්පත්කරුවනට මුදල් ගෙවන ලෙස අධිකරණය නියෝග කල නිසා ICBT කැම්පස් ආයතනයේ සභාපතිවරයා වන ජගත් අල්විස් විසින් CEG EDUCATION HOLDINGS (PVT) Ltd. නමින් සමාගමක් ආරම්භ කරමින් ගෝල්ඩන් කී සමාගමේ කොටස් එම සමාගමට පවරා ඇත. මෙම සිදුවීම අධිකරණයට කරන ලද බරපතල අපහාසයක් වන අතර ගෝල්ඩන් කී තැන්පත් කරුවනට කරන ලද විශාල අසාධාරණයකි.
ICBT කැම්පස් ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන පාඨමාලාවන් වල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය සතුටුදායක නොවන බැවින් ඩුබායි, ඕමාන්, කටාර්, බහරේන්, ආදී රටවල ICBT කැම්පස් ආයතනය විසන් පවත්වා ගෙන ගිය පාඨමාලාවන් තහනම් කිරීමට එම රටවල් කටයුතු කර ඇත.

ප්‍රමිතියක් නැති අධ්‍යාපනය

නිදහස් අධ්‍යාපනය අහිමි වූ ළමුන් දෙමාපියන් විසින් විශාල මුදලක් ගෙවා මෙවැනි උසස් අධ්‍යාපන ආයතනවලට යොමු කලද එම ආයතනවල තත්වය මෙසේ නම් ඊට වගකිව යුත්තේ කවුද? අසරණ දෙමාපියන්ද? සිසුන්ද? නැත්නම් රජයද යන්න තවම ගැටලුවකි.
පුද්ගලික විශ්ව විද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය උසස් මට්ටමකට පවත්වාගෙන යෑම සඳහා ඉහළම මට්ටමේ නියාමන ආයතනයක් තිබිය යුතුය යන්න අපගේ එක් යෝජනාවකි. එවැනි නියාමන ආයතන ලෝකයේ බොහෝ රටවල පිහිටුවා ඇති අතර එසේ කිරීමෙන් එවැනි ආයතනවලට විශ්ව විද්‍යාල පිහිටුවීමට අවසර දීම මෙන්ම නිරන්තරයෙන් එම විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය අධ්‍යයනය කරමින් ප්‍රමිතිය හීන වූ අවස්ථාවක එම විශ්ව විද්‍යාල පවත්වාගෙන යෑමේ බලපත්‍රය අහිමි කිරීමට හැක. මෙරට පාලකයින්ටද ICBT කැම්පස් ආයතනය වැනි ආයතන තහනම් කිරීම පිළිබදවද සිතා බැලීමට දැන් කාලය එළඔ ඇත.

මෙරට අසරණ දෙමාපියන් හා සිසුන් අන්දවන බම්බලපිටියේ පිහිටි ICBT කැම්පස් ආයතනය හා වෙනත් එවැනි අධ්‍යාපන ආයතන පිළිබදව තවත් තොරතුරු අප සංවිධානය විසින් හෙළි කිරීමට නියමිත අතර ICBT කැම්පස් ආයතනයට විරුද්ධව නීති මගින් කටයුතු කිරීමටද අප බලාපොරොත්තු වෙමු.

Related posts

මහවැලි බී කලාපයේ ගොවී නායකයින් වී සදහා පාලන මිලක් වෙනුවට සහතික මිලක් ඉල්ලයි

colombotoday

වස-විස නැති ගොවිතැන් කතාත් අහවර වල ලකුණු.. අධිවිෂ ග්ලයිෆොසෙට් තහනම ලිහිල් කරන්න යයි

colombotoday

ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළට

Admin

කොටදෙණියාව පොලීසියේ නීතිවිරෝධී වධකාගාරයක් ගැන පැමිණිල්ලක්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 4ක් හදුනා ගනී

colombotoday

ස්වයං නිරෝධායනයවන පුද්ගලයින් නිරීක්ෂණයට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්

colombotoday