Colombo Today Local Newsfeatured

ජනාධිපති කාර්ය සාධක බලකායේ මැදිහත් වීමෙන් පෙළපොත්වල අන්තවාදී ඉගැන්වීම් වලට තිත.

“එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ දිනයේ (30) අධ්‍යාපන ලේකම් මහාචාර්‍ය කපිල සී. පෙරේරා මහතා සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එස්. එච්. හරිස්චන්ද්‍ර මහතා ඇතුලු අමාත්‍යංශ නිලධාරීන් සමග පැවති රැස්වීමේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන විෂයය නිර්දේශයන්හි පවතින අන්තවාදයට හා බෙදුම්වාදයට තුඩු දෙන ඉගැන්වීම් පිළිබඳව ගත යුතු ක්‍රියා මාර්ග කෙරෙහි අවධානය යොමු කරන ලදී. මධ්‍යස්ථ මුස්ලිම් මතධාරීන් සිය දරුවන් ව අන්තවාදයෙන් හා ත්‍රස්ත ව්‍යාපාර වලින් බේරා දෙන ලෙස ඉල්ලීම් කර ඇති බව සඳහන් කළ අමාත්‍යංශ ලේකම් වරයා දරුවන් ගේ මනස කුඩා කල සිට නිවැරදිව පෝෂණය කළහොත් යහපත් පුරවැසියන් බිහි කළ හැකි බවද විදේශික අන්තවාදී මතවාද පාසල් පෙළ පොත් වලට ඇතුළත්ව තිබෙන අවස්ථා වහා නිවැරදි කළ යුතු බවද පැවසීය.

එහිදී වර්තමාන විෂය නිර්දේශයට අයත් සියලු වසර වල සිංහල හා දෙමළ භාෂා මාධ්‍ය දෙකෙන් ම මුද්‍රිත “ඉස්ලාම් ධර්මය හා සංස්කෘතිය” පාසල් පෙළ පොත් සහ ඒවායේ ගුරු අත් පොත් වල ඇතුළත් අන්තවාදී ඉගැන්වීම් රැසක් ජනාධිපති කාර්‍ය සාධක බලකාය විසින් අමාත්‍යංශ නිලධාරීන් වෙත සවිස්තර ව ඉදිරිපත් කරනු ලැබීය. එහිදී දඬුවම් වශයෙන් ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ පවා ඇතුළත් නොවන කස පහර දීම, අන්‍යාගමිකයන් ඉස්ලාම් ආගමට හැරවීම සඳහා මුදල් ලබා දීම, වයස සම්පූර්ණ නොවූ දැරියන් විවාහ කිරීමේ හැකියාව, නීති සම්පාදනය කිරීමේ බලතල මිනිසුන් හට නොමැති බව වැනි රට තුළ එක් නීතියක් ක්‍රියාත්මක කිරීමට විරුද්ධ මානසිකත්වයක් මුස්ලිම් සමාජයේ දරුවන් තුළ ඇති කෙරෙන ඉගැන්වීම් පමණක් නොව, ත්‍රිත්ව තලාක් දික්කසාද ක්‍රමය, සිය භාර්‍යාවට පහර දිය හැකි බව වැනි ළමා මනසට යෝග්‍ය නොවන ඉගැන්වීම් ද මෙම පෙළ පොත් හා ගුරු අත්පොත් වල ඇතුළත් බව ජනාධිපති කාර්‍ය සාධක බලකාය හා එම බලකාය සමග මෙම අධ්‍යයනය සිදු කළ මධ්‍යස්ථ මතධාරී මුස්ලිම් විද්වතුන් කණ්ඩායම උදාහරණ සහිතව පෙන්වා දුන්හ. ඊජිප්තුවේ තහනම් ත්‍රස්ත නායකයකු වන යූසුෆ් අල් කර්ලාවි නමැත්තා විසින් රචිත පොත් පත් ද අමතර කියවීම් පොත් ලෙස නිර්දේශ කරන බව මෙම ගුරු අත්පොත් වල සඳහන් වන බවද එහිදී අනාවරණය විය.

ඉස්ලාම් භක්තික පිරිසකගෙන් යුත් කමිටුවකින් මින් පෙර මෙම පෙළ පොත් පරීක්ෂා කළ බවත්, එහිදී මෙම වැරදි අනාවරණය නොවූවද ඒවා වහාම නිවැරදි කළ යුතු බවත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසීය. අල් කුරාණයේ පාඨ වලට දිය යුතු නිවැරදි අර්ථකථනය ලබා නොදීම මෙයට එක් හේතුවක් බව ජනාධිපති කාර්‍ය සාධක බලකායේ සාමාජික මොහොමඩ් මව්ලවි වරයා පැවසීය. මෙම රටට හා දරුවන්ට ගැළපෙන විෂයය මාලාවක් වහා සකස් කළ යුතු බව කාර්‍ය සාධක බලකාය නියෝජනය කළ හා මධ්‍යස්ථ මුස්ලිම් මතධාරීන් නියෝජනය කළ පිරිසගේ මතය විය.

ඒ අනුව “ඉස්ලාම් ධර්මය හා සංස්කෘතිය” පෙළ පොත් හා ගුරු අත්පොත් හි සඳහන් අන්තවාදී ඉගැන්වීම් සියල්ල හඳුනාගෙන, ලේඛණගත කර අධ්‍යාපන අමාත්‍යංශය වෙත ලබා දීමට එම නිලධාරීන් ගේ ආරාධනයෙන් එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්‍ය සාධක බලකාය එකඟ විය. එම බලකායේ අධ්‍යාපන අනු කමිටුව මගින් මෙම අධ්‍යයනය සිදු කර පෙළපොත් නිවැරදි කිරීම හා අන්තවාදී ඉගැන්වීම් පාසල් විෂය ධාරාවට එක් වීම වැළක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සිය නිර්දේශ අප්‍රේල් මස 07 වන දා වන විට අධ්‍යාපන අමාත්‍යංශයට ලබා දීමට නියමිත ය.

ශ්‍රී ලංකාව තුළ එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්  විවිධ පාර්ශ්වයන් දරන අදහස් සහ මතවාදයන් සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රට තුළ එය ක්‍රියාත්මක කිරීම සඳහා වූ  සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් පත්කරන ලද ජනාධිපති කාර්ය සාධක  බලකාය මේ වන විට රටේ විවිධ පළාත් හා ආයතන ආවරණය කරමින් මහජන අදහස් විමසීම හා විද්වත් යෝජනා ලබා ගැනීම සිදු කරමින් සිටී.
 
අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මෙම සාකච්ඡාවට එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමින් වහන්සේ, සාමාජිකයන් වන මොහොමඩ් මව්ලවි, අසීස් නිසාර්දීන්, මහාචාර්‍ය ශාන්ති නන්දන සෙනෙවිරත්න, වෛද්‍ය සුජීව පණ්ඩිතරත්න, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන, නීතිඥ සංජය මාරඹේ, නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න, එරන්ද නවරත්න, පානි වෑවල,  යන මහත්වරු සහ එහි ලේකම් ජීවන්තී සේනානායක මෙනවිය ද, එම බලකායේ අධ්‍යාපන අනු කමිටුව නියෝජනය කරමින් කථිකාචාර්‍ය ඉන්තිකාබ් සූෆර්, රිස්වින් ඉස්මත්, ෂරීනා මුස්තාෆා, වසන්ත අල්විස් යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ. අධ්‍යාපන අමාත්‍යංශය නියෝජනය කරමින් අමාත්‍යංශ ලේකම් මහාචාර්‍ය කපිල සී. පෙරේරා, රාජ්‍ය ලේකම් එස්. එච්. හරිස්චන්ද්‍ර, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් පී. එන්. අයිලප්පෙරුම, ඇතුලු නිලධාරී පිරිසක් සහභාගි වූහ.

Related posts

දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් යළි විශේෂ ආඥාවක්

colombotoday

කැබිනට් මණ්ඩලය මැයි දිනය කල් දමයි

colombotoday

රෝගීව මිය ගිය සද්දන්තයාට අවසන් ගෞරව

colombotoday

අපි හැදූ ආර්ථිකය මහින්ද-මෛත්‍රී කුමන්ත්‍රණයෙන් ආපස්සට ගියා…

colombotoday

පොලිස් නිලධාරීන්ට පහරදුන් තුනක් අත්අඩංගුවේ

Admin

රට Lock Down කළොත් එදා වේල හම්බකරන් කන මිනිස්සුන්ට මොකද වෙන්නේ ?

colombotoday