Articles

පොලිසියේ කෙරුවාව නිසා පිරිහෙන රටේ ආණ්ඩුව

පොලීසිය කියපු ගමන් අපේ මතකයට එන්නේ කුමක් හෝ ගැටුමකි.එය ගමේ වැට කඩුල්ලට සිදුවන ආරවුලක් සිට රටේ සිදුවන මහා බිහිසුණු අපරාධයක් දක්වා වූ ක්‍රියාවක් විය හැකිය. මේ කියන අතර මැද සිදුවන කුමන හෝ ගැටුමක් සම්බන්දයෙන් අපට නිතැතින්ම මතකයට එන්නේ පොලිසියයි. ඉතිහාසයේදී ආරච්චි මුලදානි හෝ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ලගට ගොස් අපේ ප්‍රශනයක් හෝ ගැටළුවක් සාකච්ඡා කරගන්න සරල ක්‍රමවේදයක් තිබුනත් දැන් බොහෝ දෙනා සුළු සිදුවීමක් විසදාගැනීමට පවා දිව යන්නේ පොලිසිය වෙතය.මේ අනුව අපට පෙනෙන්නේ පොලිසිය හා මහජනතාව අතර නැතිනම් පොලිසිය හා පුරවැසියා අතර ඇත්තේ වෙන්කළ නොහැකි අන්තර් සම්බන්දතාවයකි.

අද වන විට රට පුරාම පොලිසියේ හැසිරීම සම්බන්දයෙන් අහන්නට දකින්නට ලැබෙන්නේ එතරම් හොද ප්‍රවෘත්ති නොවේ.ඉතිහාසය පුරාමපොලිසිය සම්බන්දයෙන් නරක පුවත් අසන්නට ලැබුනත් ඉද හිට හෝ හොද ප්‍රවෘත්තිද අපට අසන්නට නොලැබුණා නොවේ.මගේ මතකයේ හැටියට 1994 තරම් කාලය වන තෙක් පොලිසිය මිනිස්සුන්ට අමානුෂිකව පහර දෙන තත්වයක් දකින්නට ලැබුනත් අනුව දශකයෙන් පසුව මෙසේ පොලිස් නිලධාරින් පුරවැසියන්ට හුදෙකලා සිදුවීම්වලදී අමානුෂිකව පහරදීම් අපට සුළඹ ලෙස දකින්නට ලැබුනේ නැත. ඉද හිට නොතිබුනාද නොවේ. නමුත් මෑතකදී සාධාරණ නොවන ලෙස මිනිස්සුන්ට මගතොටේදී පොලිසිය හෝ පොලිස් නිලධාරින් පහර දෙන සිදුවීම් යලිත් වේගයෙන් ඉහල යන තත්වයක් දකින්නට ලැබේ. මෙය රටක් ලෙස ඉතාම අශිලාචාර හැසිරීමක් පෙන්නුම් කරන්නකි.පොලිස් නිලධාරින් මගතොටේදී රස්තියාදුකාර ලෙස මෙසේ හැසිරීම දියුණු රටක ලක්ෂණ නොවන අතර එය සමීප වන්නේ ගෝත්‍රික මුග්ධ සමාජ ක්‍රමයකට බව මගේ හැගීමයි.පසුගියදා ජිනීවා හි පැවති මානව හිමිකම් සැසියේ ඡන්ද විමසීමේදී බහුතරයක් ඡන්දය පාවිච්චි කරන ලද රටවල් අපට එරෙහිව ඡන්දය දෙමින් කියා සිටියේ ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩකරමින් සිටින බවයි. කවුරු කෙසේ කිවත් අපට ජාත්‍යන්තර සම්බන්දතා නොමැතිව රටක් ලෙස දියුණු ලෝකයට ගමන් කිරීමට හැකියාවක් නැත.

ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ පැවති බොහොමයක් ආණ්ඩු පිරිහිමට පොලිසියේ ක්‍රියාකාරිත්වය දැඩි ලෙස බලපෑම් කොට ඇති බව නිරීක්ෂණය වේ.ආණ්ඩුවක යහ පැවැත්මට සේම පිරිහිමටද පොලිසිය ඍජු ලෙස දායකත්වය සපයයි.ඩඩ්ලි සේනානායකට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට හර්තාලයේ පොලිස් වෙඩි තැබීම හේතුවූ අතර සිරිමා බණ්ඩාරනායක රජයට ප්‍රේමවතී අත්අඩංගුවට ගෙන මරා දැමීම දක්වා ක්‍රියාකාරිත්වය බලපෑවේය.ඉන්පසුව ජේ.ආර් ජවර්ධන ආණ්ඩුව පොලිසිය ගණිකා වෘත්තියේ යෙදවූ අතර ප්‍රේමදාස ජනාධිපතිවරයා පොලිසිය පාතාල ලෝකය අතර ජාවජිව සම්බන්දතාවයක් ඇති කරමින් පාතාල නායකයන්ට ප්‍රසිද්ධියේ ආචාර සමාචාර කරන නින්දිත තත්වයකට පත් කළේය.භීෂණ සමයේදී අතුරු හමුදා කණ්ඩායම් සමග පොලිසිය එකට වැඩ කරමින් පොලිසිය මහජනතාවගේ වෛරයට හා ක්‍රෝධයට ලක් කළේය. එවකට පොලිසිය සම්පුර්නයෙන්ම පාහේ කටයුතු කරමින් සිටියේ දේශපාලන අතකොළුවක් ලෙසය. භීෂණ සමයේ පොලිසියට රැගෙන යන පුද්ගලයන් සම්බන්දයෙන් සාමාන්‍ය අධිකරණ කටයුතු සිදුවුයේ නම් ඒ ඉතාම අඩුවෙනි.

1994ට පසුව චන්ද්‍රිකාගේ පාලන සමයේ මුල් අවස්ථාවේ තත්වය තරමක් යහපත් වුවත් ඇයගේ පාලනේ අවසාන කාලයේ පොලිසියේ හැසිරීමද පෙර පැවති තත්වයට දෙවැනි වුයේ නැත.චන්ද්‍රිකාගේ අවසාන කාලයේදීද පාතාලය සහ පොලිසිය අතර ප්‍රබල සම්බන්දතා තිබු බවට පුවත්පත් වාර්තා පවා ප්‍රසිද්ධියේ වාර්තා කොට තිබු බව අපිට දකින්නට ලැබුණි.මහින්ද රාජපක්ෂ යුගයේදීද පොලිසියට බරපතල ලෙස චෝදනා එල්ල වූ බව රහසක් නොවේ එක් පොලිස්පතිවරයෙක් ධුරයෙන් ඉල්ලා අස්වූ අතර පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එම පොලිස්පතිවරයා බ්‍රසීලයේ තානාපති ලෙසද පත් කළේය.කටුනායක රොසෙල් චානක සිදුවීම,රතුපස්වල සිදුවීම,හලාවත ධිවර උද්ඝෝෂණයේදී ඇන්තනිගේ මියයාම යනාදී සිදුවීම් නිසා පොලිසිය හැසිරුණ ආකාරය සම්බන්දයෙන් ආණ්ඩුවට ජනතාවගේ ප්‍රබල විරෝධයක් සහ පිළිකුලක් අතිවිනි. තව බොහෝ චෝදනා තිබේ අනුර සේනානායක වැනි නියෝජ්‍ය පොලිස්පතිවරු හිරේ විලංගුවේ වැටීම දක්වා මෙම කාරනා දුරදිග ගියේය.නියෝජය පොලිස්පති වාස් ගුණවර්ධනට මිනි මැරීමේ චෝදනා එල්ලවී ඔහු තාමත් සිපිරිගෙදර කූරු ගනිමින් සිටී.පොලිසියේ කෙරුවාව මෙසේය.
යහපාලන කාලයේ පුරවැසියන් සම්බන්දයෙන් ප්‍රබල හානි එල්ල නොවුනත් දේශපාලන පලිගැනීම සම්බන්දයෙන් පොලිස් නිලධාරීන් සම්බන්ද බවට විවිධ චෝදනා එල්ල වෙමින් පවතී.දේශපාලන අවශ්‍යතා මත යම් යම් පුද්ගලයන් ඇත අඩංගුවට ගෙන නිතිය අවනීතිය බවට පත් කිරීම සම්බන්දයෙන් ශානි අබේසේකර වැනි පොලිස් නිලධාරින් තවමත් ඇප නොලබා සිරගතව සිටි.වර්තමානය වන විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේද පොලිසියේ හැසිරීම සම්බන්දයෙන් විටින් විට චෝදනා එල්ල වෙමින් තිබේ.ඉතා මෑතක සිදුවූ සිදුවූ සිදුවීම් කිහිපයක් නම් හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයාට පැලියගොඩ පොලිස්තානයේදී පහරදීම,වීරවිල තරුණයෙක්ට මහමගදී පහර දීම සහ ආසන්නම කාරණය ලෙස මහරගම පොලිසියේ නිලධාරියෙක් රියදුරෙකුට මල්ලව පොර ක්‍රමයට බිම පෙරලාගෙන පහරදීම පෙන්වාදිය හැකිය. මේ කාරනා අනුව පෙන්නුම් කෙරෙන්නේ පොලිසිය ඉතිහාසය පුරාම කිසියම් එක රටාවකට අනුව හැසිරී ඇති අන්දමයි.

පොලිසිය කිසියම් ආණ්ඩුවක් අලුතින් පත්වූ වහාම තමන්ගේ හැව පත්වූ රජයට නැතිනම් ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට මාරුකරගන්නා ආයතනයක් ලෙස විශාල ප්‍රසිද්ධියක් උසුලනු ලබයි.ව්‍යාපාරිකයන් බලපුළුවන්කාර ආයතන සහ පුද්ගක්ලයන්ගෙන් පගාව ගන්නා පිරිසකගෙන් පොලිසිය පිරි ඇති බවටත් පොලිසියට ජනතාවගෙන් බරපතල චෝදනා තිබේ. කෙසේ නමුත් කාලයක් ශ්‍රී ලංකාවේ පොලිසිය දුෂිත ආයතනයක් ලෙසද අපකීර්තියක් අත්කරගෙන සිටි බවද අමතක කල හැකි නොවේ.මේ සියල්ල සලකා බැලීමේදී අපට පෙනෙන්නේ පොලිසියේ හැසිරීම පවතින ආණ්ඩුවේ කල්පැවැත්ම කෙරෙහි ඍජු ලෙස බලපෑමක් කිරීමට සමත් බවයි.එබැවින් ආණ්ඩුවේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා පොලිසිය හා මහජනයා අතර ඇති යහපැවැත්ම තහවුරු කිරීම අදාළ බලධාරීන්ගේ ප්‍රමුඛ වගකීමක් ලෙස පෙන්වා දිය හැකිය.

කිර්ති දුනුවිල
ජාතික සංවිධායක
ජාතික නිදහස සදහා වූ පුරවැසි බලවේගය

Related posts

කැප්පෙ­ටි­පොළ වීර සෙන්පතියානන්ගේ අව­සානය රන් අකු­රින් සට­හන් වී අදට වසර 202යි.

colombotoday

මදි නොකියන්න අපහාස විදින කවුද මේ චීවරධාරියා…?

colombotoday

‘ප්‍රොටොකොල්’ දුස්රාව

colombotoday

සහනාධාර කප්පාදුව හරහා ගොවි පරපුර කුඹුරෙන් ඉවත් කරන කුමන්ත්‍රණය!

colombotoday

යලි ඉපැදුනු ඥානසාර හිමි අල්ලා කූඩු කරන්න දඟලන ඩොලර් කාක්කෝ

colombotoday

කොරෝනා අස්සේ ජනතාවගේ සාක්කුවට විදින හොර පැණි සහ චූර්ණ නියාමනය කරන්නේ කවදාද?

colombotoday