Articles

මහමෙව්නා අසපුවේ ශාසනවිලෝමක යාන්ත්‍රණය හා නව ප්‍රවණතා

මහමෙව්නා අසපුවේ ශාසනවිලෝමක යාන්ත්‍රණය බොහොම සූක්ෂ්ම යි; පියවි ඇසින් දකින්නෙකුට තේරුම් ගැනීමට අපහසු යි. කාලාන්තරයක් තිස්සේ ඔවුන් තමන්ගේ මූල ප්‍රතිපත්තිය විවිධ මුහුණුවරින් නො වෙනස් ව අඛණ්ඩ ව පවත්වා ගෙන එනු ලබනවා. එහි වර්තමාන භාවිතාව විමර්ශනය කිරීමේ දී අප විසින් හඳුනා ගත් අංශ කීපයක් ම තිබෙනවා. එහි ප්‍රධාන තැනක් ගන්නේ සමාජය තුළ පවතින අසපු විරෝධය මැඬපවත්වා ගැනීම යි. පෙර මෙන් නො ව, දැන් අසපුව ඒ සඳහා යථානුයෝජනශීලී ක්‍රමපිළිවෙත් අනුගමනය කරමින් සිටිනවා. ඒ සඳහා ගිහි සමාජය තුළත්, පැවිදි සමාජය තුළත් වෙන වෙන ම ව්‍යාපෘති දියත් කෙරෙමින් පවතිනවා.

ඒ අතර සමාජ සත්කාර ප්‍රධාන යි. සමාජ සත්කාර හරහා තමන්ගේ මතවාදය ගෙන යනවා. නව සමාජීය වටිනාකම් හරහා ධර්මවිරෝධී යාන්ත්‍රණය සැඟවීමට පහසුවෙන් පිළිවන්.

එසේ ම ධනවත් සැදැහැවත් දායකයන් ලවා අසපු විරෝධී ආකල්ප දරන භික්ෂූන් වහන්සේලා බිලී ගා ගැනීම. එම විහාරස්ථානවල සහ භික්ෂූන් වහන්සේලාගේ අවශ්‍යයතා සොයා බලමින් ඒවා ඉටු කරදීමට ක්‍රියා කරනවා. ඒ හරහා උන්වහන්සේලාගේ විරෝධාකල්ප යටපත් කිරීමටත්, මැඬීමටත්, ඉස්මතු වීම වැළැක්වීමටත් ක්‍රියා කරනවා. අනෙක් අතට ලාභසත්කාරවලින් මැඬුණු භික්ෂු කණ්ඩායම් තම පක්ෂයට අවනත කරගැනීමේ ප්‍රවණතාවක් එතුළින් නිරායාසයෙන් ම ගොඩනැඟෙනවා. මෙය අතිසාර්ථක ව ඉදිරියට පැමිණියා. අසපුව පිළිබඳ විරෝධාකල්ප දැරූ බොහෝ භික්ෂූන් දැන් නිහඬ යි; නැතිනම්, අසපුව හොඳ යි කියන අගතියට වැටී තිබෙනවා.

අනෙක් ප්‍රධාන ම කරුණ තමයි ශාසනභක්ෂකයන් මඬින නියමුවා තමන් බව හුවා දැක්වීම. ඒ සඳහා අංශ දෙකක් තුළ අසපුව ක්‍රියාත්මක වෙනවා. එයින් එක් අංශයක් තමයි සද්ධම්මපතිරූපක මඬින මුවාවෙන් ගොඩනැඟෙන අසපුවේ ම ස්වාධීන වේදිකාව. සිංහාවලෝකන වැඩසටහන උදාහරණයක්. අනෙක, ශාසන වේශය දරන තවත් පිරිසක් ලවා තමන්ගේ මූලමතවාදය අනුක්‍රමික ව ඉදිරියට ගෙන යාම. ආභිධම්මික සම්භාෂණ මුවාවෙන් අභිධර්මය විකෘති කරමින් තථාගතයන් වහන්සේගේ ජිනචක්‍රයට පහර දීම; අට්ඨකථා ඇතුළු පිළිගත් ථෙරවාද සම්මුතීන්ට පහර දීම සහ විශේෂයෙන් විනය ශාසනයෙන් වියුක්ත කුලකයක් බවට පත්කිරීම මෙන් ම විවිධ ශාසනික වගකීම් දරන ප්‍රමුඛ පෙළේ නායකකාරකාදී භික්ෂූන් වහන්සේලා තම පක්ෂයට නම්මවා ගැනීම, අවනත කරගැනීම යනාදිය හඳුනාගන්න පුළුවන්. ඒ තුළින් ශාසනික වශයෙන් නැඟී තිබෙන විරෝධය ව්‍යර්ථ කිරීමට අසපුවට පිළිවන්කම ලැබෙනවා. සිංහාවලෝකනයට සමඟාමී ව ගොඩනැඟුණු විභජ්ජවාද වේදිකාව එහෙම එකක්; ලබුනෝරුවකන්දේ භූමිකාව එවැන්නක්. තව ද, නිවැරදි සසුන් පිළිවෙතේ සිටින ශික්ෂාකාමී ස්ථවිරයන් වහන්සේලා උපහාසයට අපහාසයට ලක්කිරීම ද ඉතා සූක්ෂ්ම ව සිදු කරගෙන යනු ලබනවා. අතරතුරේ හිටි අඩියේ පහළ වන ශාසනාරක්ෂකයන්, බණකඩකාරයන් මේ සැලැස්මේ අතකොළු වශයෙන් යොදා ගන්නා බවක් ද පෙනෙන්නට තිබෙනවා. යහපතට මුවා වීම හා උග්‍ර ශාසනික අවශ්‍යතා හේතුයෙන් කිසිවෙකුට මේ යාන්ත්‍රණය හඳුනා ගැනීම දුෂ්කර ව තිබෙනවා.

වහරක මතවාද ආදියට වැඩිවැඩියෙන් නැඹුරු වූයේ මහමෙව්නා අසපුවේ අගතිගාමී වැඩපිළිවෙල නිසා මුලාවේ වැටුණු පිරිස. අසපුව දැන් සිටින්නේ ඔලු ගෙඩි ටික රැකගැනීමේ පරිශ්‍රමයක. වහරක කල්ලිය ඉලක්ක කරගත් ත්‍රිපිටක සංරක්ෂණ පනත ද එහි දිගුවක්. එය සාම්ප්‍රදායික විහාරාරාම පද්ධතිය හා ශාසනසම්ප්‍රදායන් දියකර හැරීමේ දීර්ඝකාලීන කූඨ ප්‍රයෝගයක්. බෝධිඥාන ව්‍යවස්ථාව හරහා අභිධර්මපිටකය බැහැර කළ බව සත්‍යයක්. එහි මීළඟ යොමුව වශයෙන් ත්‍රිපිටක පනතේ කතිකාව තුළ ම ප්‍රමුඛ පෙළේ ආචාර්ය මහාචාර්ය මහතැන් ලවා ම විනය වියුක්ත කුලකයක් බවට පත්කිරීමට දරන වෑයම දැකගන්න පුළුවන්.

මේ පිළිබඳ කතා කිරීමේ ප්‍රතිඵලය අතිශය තිත්ත යි; කටුක යි. නමුත්, මුනිවත රැකීම සුදුසු නැහැ. යථාර්ථය පැහැදිලි වීමට තවත් කාලය ගතවීම අවශ්‍යය යි. මාර සේනාව මඬින ධර්මයුද්ධයට පෙළගැසෙන හැටියට ශාසනකාමී සත්පුරුෂයන්ට ආරාධනා කරනවා.

පංචන ජයසිංහ

Related posts

අපට මඟක් ඇත (නොහොත් ලංකාවට මරුකටෙන් ගැලවිය හැකිය): අංක 1

colombotoday

LTTE මිලේච්ඡත්වය ගැන මෙතෙක් ලොවට හෙළි නොවුණු කතාවක් !

colombotoday

දරුවන් මතට යොමු කරන බිග් මැච්

colombotoday

පරාජිතයන් පිරි පාර්ලිමේන්තුවක, ජනතාව රවටා සම්මතකර ගැනීමට යන නව ව්‍යවස්තාව කුණු කූඩයට !

colombotoday

ලංකා සෙරමික්, මාතලේ පතලේ අකාලයේ මිය යන සේවකයන් ගැන එහි හිමිකරු ධම්මික පෙරේරාට කළමනාකාරවරයෙකු තැබූ පණිවිඩය

colombotoday

දකුණු කොරියාව අනුගමනය කළ කොරෝනා පාලනයේ ටී-3 ක්‍රමවේදය

colombotoday