Colombo Today Local Newsfeatured

නිරුපමා රාජපක්ෂ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු ලැයිස්තුවට. – වහාම පරීක්ෂණයක් කර වත්කම් රාජසන්තක කරන්නැයි ඉල්ලීමක්.

ලෝක නායකයින්, දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු පිළිබඳ , තොරතුරු අනාවරණය කළ ඉතිහාසයේ විශාලතම මූල්‍ය ලේඛන හෙළිදරව්වක් වන පැන්ඩෝරා ලේඛන (Pandora Papers) තුළින් මෙරට හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂගේ නමත් හෙළි වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව පැන්ඩෝරා ලේඛනවලින් රටවල් 90 කට වැඩි සංඛ්‍යාවක දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් 300 කට වැඩි සංඛ්‍යාවකගේ රහස්‍ය ධනය හා ගනුදෙනු පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇත.

ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන අතර 2010 සිට 2015 දක්වා ජල සම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස ද කටයුතු කළා ය.

සැමියා තිරුකුමාර් නඩේෂන්

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් උපදේශකයෙකු සහ හෝටල් ව්‍යවසායකයෙකු ලෙස සේවය කර ඇති බව ඔහුගේ සමාගම් වෙබ් අඩවිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුවට (ICIJ) අනුව 2016 දී, නිවසක් ඉදිකිරීම සඳහා මහජන මුදල් භාවිත කළ බවට චෝදනා එල්ල වූ බැසිල් රාජපක්ෂ මහතාගේ දේපළ වෙළඳාම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල විය.

ලන්ඩන් සහ සිඩ්නිහි සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීම

නිරූපමා රාජපක්ෂ සහ නඩේසන් එක්ව ලන්ඩන් සහ සිඩ්නිහි සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීමට සහ ආයෝජනය කිරීමට භාවිත කළ ෂෙල් සමාගමක් පාලනය කළ බව ද , හෙළිදරව් වූ ලිපිගොනුවලට අනුව විස්තරාත්මකව කරුණු වාර්තා කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රහස්‍යභාවය රකින බෙහෝ ස්ථානවල නඩේසන් විවිධ සමාගම් ස්ථාපිත කර ඇති අතර ශ්‍රී ලංකා රජය සමග ගනුදෙනු කළ විදෙස් සමාගම් හරහා කොන්ත්‍රාත් ලබාගෙන ඇති බවත් වටිනා චිත්‍ර මිලදී ගැනීම සඳහා එම සමාගම් භාවිත කළ බව ද සඳහන් වේ.

2018 වසරේදී පැසිෆික් කොමාඩිටීස් යන එක් සමාගමක් හරහා වටිනා චිත්‍ර 31 ක් සහ තවත් දකුණු ආසියානු කලා කෘති ජිනීවා ෆ්‍රීපෝට් යන අධිආරක්ෂිත ගබඩා සංකීරණයකට යොමු කළ බව කියැවේ.

Asiaciti Trust සමාගම

සිංගප්පූරුවේ ස්ථාපිත Asiaciti Trust සමාගම විසින් 2011 වනවිට නඩේසන්ගේ සම්පූර්ණ වත්කම් ඩොලර් මිලියන 160 කට වැඩි බව සඳහන් කර තිබේ. නමුත් ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව (ICIJ) පවසන්නේ, එය ස්වාධීන ව තහවුරු කළ නොහැකි බවයි.

ICIJ විශ්ලේෂණයට අනුව, Asiaciti Trust සමාගම කළමනාකරණය කළ නඩේෂන්ගේ ඇතැම් සමාගම් සහ භාර කළමනාකරණය කළ වත්කම්වල වටිනාකම ඩොලර් මිලියන 18 ක් පමණ වේ.

මේ අතර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව වාර්තා කරන්නේ, නිරූපමා රාජපක්ෂ සහ නඩේසන් සිය අරමුදල් සහ සමාගම් පිළිබඳව අසන ලද ප්‍රශ්නවලට පිළිතුරුදීම ප්‍රතික්ෂේප කළ බවයි.

වහාම පරීක්ෂණයක් කර වත්කම් රාජසන්තක කරන්න

Ranjith Withanage

බැලූ බැල්මට ජනතා මුදල් අවභාවිතා කර මෙපමණ ධනස්කන්දයක් උපයන්නට ඇති බවට සැකයක් ඇතිවන බැවින් වහාම පරීක්ෂණයක් සිදුකර මුදල් විශුද්ධිකරණ නීති යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අයතා වත්කම් උපයා ඇත්නම් එම වත්කම් රාජසන්තක කර රට මුහුණ දී ඇති ආර්ථික අපහසුතාවය මධ්‍යයේ ජනතාවට සිදුව ඇති පීඩා අවම කිරීම සඳහා එම මුදල් භාවිතා කරන ලෙසත් මෙ සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා රජයෙන් ඉල්ලා සිටියහ..

ශ්‍රී ලංකාවේ සිටින්නේ වංචාකාරී දේශපාලන නායකයින් බවට ලෝකයට පණිවුඩයක් මෙම සිද්ධිය හරහා ගොස් ඇති බවත් රට මෙන්ම රටේ ජනතාව ඉමහත් අවමානයකට පත්ව ඇති බවත් සඳහන් කර සිටි විතානගේ මහතා විදේශ රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට අවමානයකින් තොරව ජීවත්විමටනම් පරීක්ෂණයක් කර සැමට නීතිය සමානව ක්‍රියාත්මක කරන බව ලෝකයට පෙන්වීමට කටයුතු කල යුතු බවත් අවධාරණය කර සිටියා.

Related posts

නැදුන්ගමුවේ රාජා ජාතික වස්තුවක් ලෙස නම් කරයි

colombotoday

අන්තරේ කැඳවුම්කරුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර

Admin

මියන්මාරයේ සංචාරයකට විරතු හිමියන්ගෙන් ඥාණසාර හිමියන්ට ඇරයුම් !

colombotoday

කොරෝනා යැයි සැක අටළුගම 20 ක් බණ්ඩාරගම නිරෝධායන මධ්‍යස්ථානයකට

colombotoday

නව වසරේ හාල් මිලත් නගී.. කිලෝව 110 – 115 යි !

colombotoday

ජනාධිපති මෛත්‍රීට එරෙහිව අල්ලස් සහ දූෂණ චෝදනා

colombotoday