Articles

පරිප්පු සමග බලෙන් දුන් පළාත් සභා – 1

ශ්‍රී ලංකාවේ (සිංහලේ) අපි රටක් වශයෙන්, අපේ අසල්වැසියා ඉන්දියාව යැයි සලකමු. එහෙත් ඇත්තෙන් ම අපේ අසල්වැසියා වන්නේ ප්‍රාන්ත 29ක් සහ එක්සත් බලප්‍රදේශ 8 කින් සමන්විත සන්ධීය (‌ෆෙඩරල්) ඉන්දීය මධ්‍යම රාජ්‍ය ම නොව එහි එක් ප්‍රාන්තයක් වන තමිල්නාඩුවය. තමිල්නාඩුව යන්නේ සිංහල අර්ථය ‘දෙමළ රට’ යන්නය. අනාදිමත් කාලයක සිට මෙම දෙමළ රටෙත් සිංහල රටෙත් අසල්වැසිකම යහපතට මෙන් ම අයහපතට ද හේතු වී ඇති අතර වැඩි වශයෙන් සිංහලයන් වන අපට මේ අසල්වැසිකමේ අයහපත වැඩිය.

අනුරාධපුර මුල් යුගයේ සිට ම තමිල්නාඩුවේ චේර, චෝල, පාණ්ඩ්‍ය දෙමළ රජුන් සහ වෙළඳුන් ඇතුළු දකුණු ඉන්දීය ආක්‍රමණියෝ වරින් වර අප රටට පැමිණ දාගැබ් වෙහෙර විහාර විනාශ කර, සිංහල ජනතාව ඝාතනය කර, වස්තුව මංකොල්ල කා තම රටට ගෙන ගිය බව අපේ වංශ කථාවල සඳහන්ව ඇත.

තමිල්නාඩුව ඉන්දියානු සමුහාණ්ඩුවේ ප්‍රාන්තයක් වුව ද ලංකාවේ විශාලත්වය මෙන් දෙගුණයකට වඩා විශාලය. දෙමළ ජනයා ලෝකයේ මිලියන 79ක් පමණ සිටින අතර එහෙත් සිංහලයන් ලෝකය පුරාම මිලියන 16ක් පමණය. දෙමළ ජනතාවගෙන් මිලියන 69ක් ම ඉන්දීයවේ වාසය කරන අතර එයින් මිලියන 64ක් තමිල්නාඩුවේ වාසය ම කරන අතර සියල්ලන්ගේ ම ඒකම නිජභූමිය තමිල්නාඩුව ම ය.

ලෝකයේ එක් එක් භාෂා ව්‍යවහාර කරන ජන සංඛ්‍යාව අනුව භාෂා පෙළ ගැස් වූ කළ දෙමළ භාෂාව 18 වැනි ස්ථානයෙත්, සිංහල 62 වැනි ස්ථානයෙත් පසුවෙයි. ඉන්දියානු මහා ආණ්ඩුවේ භාෂා ප්‍රතිපත්තිය අනුව නිල භාෂා 22ක් ඇති අතර එහි දෙමළ බස ද තවත් එක් භාෂාවක් පමණි. තම නිජ භූමිය වන තමිල්නාඩුවේ දෙමළ භාෂාවට නොලැබෙන ස්ථාන දෙමළ බසට වෙතත් රටවල් ගණනක ලැබී ඇත. ශ්‍රී ලංකාවේ දී නම් බලෙන් ලබා ගෙන ඇත. ඒ් අනුව ශ්‍රී ලංකාවේ උරුමකරුවන්ගේ බස වන සිංහලයත් පරබසක් වන දෙමළත් එක හා සමානව රාජ්‍ය භාෂාවක් මෙන්ම ජාතික භාෂාවක් ද වෙයි. සිංගප්පුරුවේ ද දෙමළ බස රාජ්‍ය භාෂාවක් වෙයි.

ලංකාවේ වාසය කරන දෙමළ ජනයා කොටස් 2කි. මොවුන් සියල්ලෝම වරින්වර ලංකාවට සංක්‍රමණය වුවෝ වෙති. ”ලංකා දෙමළ” නමින් හඳුන්වන පළමු කොටස 19 සියවස තෙක් ස්ථිර පදිංචියක් නොවු දැනට උතුරු සහ නැගෙනහිර වාසය කරන පිරිසක් වන අතර ඔවුන් සංඛ්‍යාත්මක මේ වන විට මිලියන 1.8කි. දෙවන කොටස 19 සහ 20 වැනි සියවස්වල තරම් මෑත කාලයේ දී වතු වැවිලි සඳහා සුද්දන් විසින් ගෙන ආ ‘ඉන්දීය දෙමළ’ නැත්නම් ‘වතු දෙමළ’ නමින් හඳූන්වන මිලියන 0.8ක් වන වතු අශ්‍රීතව ජිවත් වන ජන කොටසයි.

දෙමළ අධිරාජ්‍යක් පිහිටුවිම

දෙමළ ජනනයාට ඉන්දියාව නිදහස ලබන විට තමන්ට වෙනම රාජ්‍යයක් පිළිබඳ සිහිනයක් තිබුණ ද එය බලගතු ඉන්දීය මධ්‍යම රජයේ බලපැම මත හකුළා ගැනීමට සිදුවිය. එහි දී වෙනම දෙමළ රාජ්‍යක් බිහි කර ගැනීමේ විකල්පය වූයේ ඉන්දියාවෙන් කරගත නොහැකි දේ ලංකාවෙන් ඉටු කර ගැනීමය. එනම් ආරම්භයේ දී ලංකාවෙන් කොටසක් කඩා වෙනම ඊළාම් නම් රාජ්‍යක් පිහිටුවා එය ශක්තිමත් කර මධ්‍යම කඳුකරය ද ඈදා පසුව තමිල්නාඩුව මුල් කරගත් දෙමළ අධිරාජ්‍යක් පිහිටුවිමය.

ඇත්තෙන් ම දෙමළ ජනයාට ඵෙතිහාසිකව අසාධාරණයක් ඉන්දීය මධ්‍යම රජයෙන් සිදු වී ඇත. දෙමළුන් අතීතයේ මහා අධිරාජ්‍ය ගොඩනැගුව ද, අද ලෝකයේ ද බලගතු ජාතියක් (ඩයස්පෝරාවක් සමග) වුව ද සිංහලයන් මෙන් පස් ගුණයට වඩා ජනගහයනක් ඇතිව සිටිය ද, ඇමරිකාවේ උප ජනාධිපති ධුරය, යුරෝපයේ විවිධ රටවල ද, ශ්‍රී ලංකාව, සිංගප්පුරුව, මලයාසියා, ෆීජි, මැඩගස්කරය, ද. අප්‍රිකාව, නවසීලන්තය වැනි රටවල පවා පවා මැති ඇමති තනතුරු දරමින්, ජාත්‍යන්තර සංවිධානවල මුල් පුටු දරමින් කටයුතු කළ ද තමන්ට ම වූ ස්වරෛී රාජ්‍යයක් නොමැති වීමය. ජාතිවාත්සල්‍යයෙන් හෙබි දෙමළ ජනතාව තමන්ට ස්වාධින රටක් නොමැති වීම පිළිබඳ දරුණු සිත් තැවුල් ගෙන එන කරුණක් වීම පුදුමයක් නැත.

උතුරු-නැගෙනහිර දෙමළ නිජ භූමිය

පළාත් සභා ගෙන ආවේ දෙමළ අභිලාෂයන්ට අතරමැදි විසදුමක් වශයෙනි. මේ වන විටත් අප අකමැති වූව ද පළාත් සභා මගින් එය එක්තරා ප්‍රමාණයට ඉටු කරගෙන ඇත. අද පළාත් සභා හේතුවෙන් සිංහල ජනයා පළාත් වශයෙන් කොටස් ගණනකට බෙදා ඇති අතර, එහෙත් කිසිදු පදනමක්-අයිතියක් නොමැතිව උතුරු-නැගෙනහිර දෙමළ නිජ භූමිය ලෙස එක් කර දෙමළ ජනයා ශක්තිමත් කර ඇත. (දැනට තාවකාලිකව වෙන් කර තිබුණ ද ඕනෑම අවස්ථාවක එක් කිරිමේ අවකාශ ඇත.)

මේ අනුව අපේ දේශපාලකයන් වටහා ගත යුත්තේ පළාත් සභා අප රටේ ස්වෛරිභාවයට හානි කරන බැවින්, එවැනි රට බෙදන වැඩ පිළිවෙලකට දායක නොවි සැබෑ දේශප්‍රේමියෙකු ලෙස කටයුතු කිරීමය. එබැවින් තම ඥාතින්ට මහ ඇමති තනතුරු ලබා දීමට හෝ ඡන්දයේ දී තමන්ට වියදම් කළ අයට ඇමති ධුරවලින් සැලකීමට හෝ තමන් වෙනුවෙන් ඡන්දයේ දී දර දිය ඇති අයට සැනසීමට පළාත් සභා මන්ත්‍රීධුර බෙදීමෙන් හෝ රටට ද්‍රෝහි නොවන ලෙසය. මහාසංඝරත්නයත්, ජාතිහිතෛෂීනුත් අපේක්ෂා කරන්නේ යෝජිත නව ව්‍යවස්ථාවෙන් පළාත් සභා හකුළා දැමීමටය. ඒබැවින් නව ව්‍යවස්ථාවක් වසරක් ඇතුළ සම්පාදනය කරන බවට රජය දී ඇති පොරොන්දුව ඉටු වන තුරු පළාත් සභා මැතිවරණ නොපැවත්විය යුතු යැයි අපි රජයට බල කර සිටිමු.

-පානි වෑවල-

Related posts

පෙරටුගාමී ෆනී බෝයිලාගේ අයවැය විරෝධයට පසුවදනක්…

colombotoday

පොලිසියේ කෙරුවාව නිසා පිරිහෙන රටේ ආණ්ඩුව

colombotoday

‘රතු ලකුණ’ ඉකි බිඳුණු ඇසුණේද?

colombotoday

ග්ලයිෆොසෙට් වකුගඩු මාරයා දැන් පැකට් වශයෙන් වෙළඳපොලේ !

colombotoday

යහපාලන සංකල්පය යුක්‌රේන් විප්ලවයේ අශුද්ධ කොපියකි – රහසිගත ස්‌ථානයක සිට උදයංග වීරතුංග ලියයි

colombotoday

FCID, CID මෙහෙයවන අදිසි හස්ථය ගැන ජනපතිගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

colombotoday