ArticlesColombo Today Local Newsfeatured

සාසනේ හිල් වහන්න ගෙනා ත්‍රිපිටක පනතේ හිලක්. – පර්යාප්තිය රකින මුවාවෙන් ම නසන මාරයාගේ උප්පරවැට්ටියක්.

“විනයො නාම බුද්ධසාසනස්ස ආයු, විනයෙ ඨිතෙ සාසනං ඨිතං හොති” බුද්ධශාසනයාගේ ආයුෂය විනය යි; විනය පිහිටියොත් තමයි ශාසනය පිහිටන්නෙ. ඒ නිසා ශාසනය උදෙසා වන කවර හෝ තීරණයක් වේවා එය විනයානුකූල විනිශ්චයක් ශාසනානුලෝමික පියවරක් විය යුතු යි.

භාග්‍යවතුන් වහන්සේ නො පැනවූවක් නො පැනවීම අපරිහානියට කරුණක්. ඒ වාගේ මපැනැවූ දෑ නො සිඳීම ත්, පැනැවූ තාක් සමාදන් කොට ගෙන පැවතීමත් අපරිහානියට කරුණක්. පළමු සංගීතියේ දී ම ඛුද්දානුඛුද්දකශික්ෂාපද පිළිබඳ ඇතිවූ ගැටලුවේ දී ඒ ප්‍රතිපදාව එලෙසින් ම පවත්වා ගැනීමට සංගීතිකාරක මහාස්ථවිරයන් වහන්සේලා සංඝසම්මුතියක් ඇතිකරගත්තා.“සඞ්ඝො අපඤ්ඤත්තං න පඤ්ඤාපෙති පඤ්ඤත්තං න සමුච්ඡින්දති, යථා පඤ්ඤත්තෙසු සික්ඛාපදෙසු සමාදාය වත්තති. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.” ඒ හේතුවෙන් තමයි ථෙරවාදය වශයෙන් නිර්මල බුද්ධශාසනය මේ දක්වා අවිච්ඡින්න ව පවත්වා ගෙන එන්න පුළුවන්කම ලැබුණේ.

දැන් මේ කාලෝචිත යි කියා ගෙන ඒමට තතනන යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත ඒ ථෙරවාදී විනිශ්චය පිළිගැනීම බැහැර කරන මඟක්. කොටින් මමේ පනත අධර්මවාද අවිනයවාද ම පෝෂණය කරන, අධර්මවාදීන් ම අවිනයවාදීන් ම රකින,පර්යාප්තිය රකින මුවාවෙන් පර්යාප්තිය ම නසන මාරයාගේ උප්පරවැට්ටියක්.

මම මුලින් ම පැහැදිලි කරන්නම් ශාසනය තුළ පැනනඟිනඅධර්මවාද අවිනයවාද මැඬලන්න තියෙන සාසනික ක්‍රියාමාර්ග මොනව ද කියල. අධිකරණ සතරක් පිළිබඳ ව විනයේ සඳහන් වෙනවා. ඒ තමයි, විවාදාධිකරණය, අනුවාදාධිකරණය, ආපත්තාධිකරණය, කිච්චාධිකරණය.මෙවැනි අධිකරණයක් හටගත්තා ම ඒ අධිකරණය විසඳිය යුතු ක්‍රමය පිළිබඳ ව පැහැදිලි කිරීමේ දී දක්වා තිබෙනවා එය ධර්මයෙන් ම විසඳිය යුතු යි; විනයෙන් ම විසඳිය යුතු යි; ශාස්තෲශාසනයෙන් ම විසඳිය යුතු යි කියල.“ඉමං අධිකරණං වූපසමෙන්තු ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන” ඉන් පරිබාහිර ව දරනු ලබන කිසිදු ප්‍රයත්නයක් ධර්මයෙන් විනයෙන් ශාස්තෲශාසනයෙන් විසඳීමක් බවට පත්වන්නේ නෑ. ශාසනානුලෝමික නැහැ; විනයානුලෝමික නැහැ.

අද මේ ශාසනය තුළ මේ සතර අධිකරණය ම පැනනැඟී ඇති බවට සැකයක් විවාදයක් නෑ. ඒ තරමට ම පිරිහිලා. ඒ පිරිහීම ගිහි පැවිදි දෙපාර්ශ්වය ම පිළිගන්නව. කෙසේ වෙතත්, මේ ගෙන එන්නට හදන පනතේ පරමාර්ථ හා අපේක්ෂාවන් දිහා බලන විට පනතක් මඟින් සන්සිඳුවන්නට තතනන්නේ විවාදාධිකරණයක් බව නම් පැහැදිලි යි.ධර්මවිනය බැහැර කිරීම, විකෘති කිරීම පිළිබඳ ඇතිවන අරගල කලහ විග්‍රහ වාද විවාදවිරුද්ධව්‍යවහාර කලබගෑනි ආදිය පිළිබඳ අධිකරණයට කියනව විවාදාධිකරණය කියල. මේ විවාදාධිකරණයට හේතුවන මූලකාරණා රාශියක් තිබෙනව. ප්‍රධාන වශයෙන් පුද්ගලයා තුළ පවත්නා ක්‍රෝධාදී අකුසල ධර්මයන් වගේ ම ශාස්තෲ ගර්වය නැතිකම, ශීලශික්ෂාවන් කෙරෙහි ගෞරව යටත් පැවතුම් නැතිකම පෙන්වා දී තිබෙනවා. ඒ හේතුවෙන් ධර්මය අධර්මය වශයෙන් දක්වනවා; විනය අවිනය වශයෙන් දක්වනවා; භාෂිතය ලපිතය, අභාෂිතය අලපිතය යයි දක්වනවා. ආචීර්ණය අනාචීර්ණය යයි දක්වනවා. පඤ්ඤත්තිය අප්පඤ්ඤතිය වශයෙන්, ආපත්තිය අනාපත්තිය වශයෙන් දක්වනවා. මසුරු සිතින්, දුෂ්ට සිතින්, මූඪ සිතින් නැඟෙන මේ අකුසල මූලයන් පිළිබඳ විවාදයට ප්‍රතිපක්ෂ ව නො මසුරු සිතින්, අදුෂ්ට සිතින්, අමූඪ සිතින්කුසල මූල වශයෙන් ධර්මවිනය ඉදිරිපත් වන විට එතැන විවාදාධිකරණය හටගන්නවා.

මෙබඳු විවාදාධිකරණයක් හටගත්තා ම එය විසඳිය යුතු ක්‍රමය වශයෙන් අධිකරණ සමථ දෙකක් නිර්දේශ කොට තිබෙනවා. ඒ තමයි සම්මුඛාවිනය සහ යෙභුය්‍යසිකා සමථ දෙක. මුලින් ම සම්මුඛාවිනය. සම්මුඛාවිනය කියා කීවා ම සංඝසම්මුඛතා, ධම්මසම්මුඛතා, විනයසම්මුඛතා, පුග්ගලසම්මුඛතා යනාදි වශයෙන් ක්‍රමවේද සතරක් දක්වා තිබෙනවා. මේ සම්මුඛාවිනයෙන් අධිකරණය සංසිඳුවන්න පුළුවන් ද කියා පළමු ව උත්සාහ කරනවා. යම්විධියකින් සම්මුඛාවිනයෙන් සන්සිඳුවන ලද අධිකරණයක් යුක්තිය යටපත් කරමින්, ජය පරාජය කරවීමට අල්ලස් ගැනීමෙන් උක්කෝටනය කළොත් උක්කෝටනක පාචිත්තිය ඇවත වෙනවා; අධිකරණයට දොස් නැඟුවොත් ඛීයනක පාචිත්තිය ඇවත වෙනවා. මේ විදිහට සම්මුඛාවිනයෙන් අධිකරණය සන්සිඳුවීමේ දී කෙළවරක් නැති කථාප්‍රතිකථා නැඟෙන්න පටන් ගත්තොත්, විසඳුමක් නො පෙනේ නම් ඊළඟට ඒ අධිකරණය උබ්බාහිකායෙන් සන්සිඳුවිය යුතු බවට පනවා තිබෙනවා. අධිකරණය බරපතල තත්ත්වයකට පත් ව තිබෙන විට යි උබ්බාහිකාව පනවන්නේ. දෙවැනි සංගීතියේ දී වජ්ජිපුත්තකභික්ෂූන්ගේ දසවස්තුව විනිශ්චය කිරීමට මෙවැනි උබ්බාහිකාවක් පත්කරගන්නට සිද්ධ වුණා. ඒ උබ්බාහිකාව පත්කරගන්නටත් මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවුණා. මේ උබ්බාහිකාවකට ඕනෑ ම භික්ෂුවකට පත්වෙන්න පුළුවන්කමක් නෑ. ඒ සඳහා විශේෂ සුදුසුකම් දහයක් සහිත ප්‍රතිබල සම්පන්න භික්ෂුවක් වන්නට ඕනෑ. ඒ මොනවා ද? සිල්වත්, ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්ත, ආචාර ගෝචර දෙකින් යුක්ත, අල්පමාත්‍ර වූ වරදෙහි පවා බිය දක්නා සුලු භික්ෂුවක් වන්නට ඕනෑ. ශික්ෂාපදයන්හි සමාදන් ව හික්මෙන්න ඕනෑ;බහුස්සුත, සුතධර, සුතසන්නිචය ආදි ගුණාංගයන් යුක්ත වෙන්න ඕනෑ;ආදි-මධ්‍යම-පර්යවසාන වශයෙන් කල්‍යාණ, සාර්ථසව්‍යඤ්න වූ කේවලපරිපූර්ණ වූ පරිශුද්ධ වූ මාර්ගබ්‍රහ්මචර්යාව පිළිබඳ ව සුතා-ධතා-වචසාපරිචිතා-මනසානුපෙක්ඛිතා-දිට්ඨියාසුප්පටිවිද්ධා කියන මේ ආදි සියලු ක්‍රමයෙන් මනා කොට ප්‍රගුණ කර තිබෙන්න ඕනෑ; උභයප්‍රාතිමෝක්ෂය ම විස්තර වශයෙන් ප්‍රගුණ කොට සූත්‍රඅනුව්‍යඤ්ජන වශයෙන් බෙදා පිහිටුවා විනිශ්චය කරන්නට සමර්ථ වෙන්නට ඕනෑ; කිසි ම විධියකින් විනයෙන් නො හැකිළුණු, විනයෙහි තර ව පිහිටි භික්ෂුවක් වන්නට ඕනෑ. ඒ වගේ ම තමන්ගෙ පක්ෂයෙහි ඉන්න අයටත්, විරුද්ධ පක්ෂයෙහි ඉන්න අයටත් කරුණු දක්වන්න, සිතන්නට, සලකා බලවන්නට, තමාත් දකින්නට, දෙපස ම පහදවන්නට සමත් අයෙකු වෙන්නට ඕනෑ; අධිකරණ ඉපැදීමෙහි හේතු හරියාකාර ව දැනගෙන උපන් අධිකරණය සංසිඳුවීමට දක්ෂයෙක් වෙන්නට ත් ඕනෑ. ඒ වාගේ ම අධිකරණය දන්නා, අධිකරණයේ හේතුව දන්නා, අධිකරණයේ නිරුද්ධිය දන්නා, ඒ අධිකරණ නිරුද්ධිය පිණිස යා යුතු මඟ දන්නා භික්ෂුවක් වන්නට ඕනෑ.මෙබඳු භික්ෂුවක් උබ්බාහිකාව පිණිස සම්මත කළ යුතු වන්නේත් ව්‍යක්ත ප්‍රතිබල භික්ෂුවක් විසින් ම යි.

යම් විධියකින් උබ්බාහිකාවෙනුත් ඒ අධිකරණය සන්සිඳුවන්නට බැරිකමක් වුණොත් ඊළඟට ඒ අධිකරණය යෙභුය්‍යසිකාවිනයෙන් සන්සිඳුවන්නට අනුදැන වදාරා තිබෙනවා. යෙභුය්‍යසිකා කියන්නෙ ධර්මවාදීන් වැඩිදෙනෙකු මඟින් කරන සමථය. එහි දී ව්‍යක්ත ප්‍රතිබල භික්ෂූන් විසින්සතර අගතියෙන් අගතියට නො ගිය භික්ෂුවක් සලාකගාහාපකයෙකු වශයෙන් පත්කරගන්නට ඕනෑ. ඉන්පසු ඒ සලාකගාහාපක භික්ෂුව විසින් ධර්මවාදී පක්ෂය නංවමින්සංඝයා සලාක ගන්වන්න ඕනෑ. දැහැමි සලාකා ගැන්වීම් දහයක් තියෙනවා. අදැහැමි සලාකා ගැන්වීම් දහයක් ද තිබෙනවා. ඒ වාගේ ම ධර්මවාදියා අධර්මවාදියා හඳුනා ගෙන ධර්මවාදී පක්ෂය නැංවෙන විදිහට සලාක ගන්වන්න ගුළ්හක, සකණ්ණජප්පක, විවටක කියල තුන්සලාකග්‍රාහයක් හඳුන්වා දී තිබෙනවා. මේ විදිහට ධර්මවාදී පක්ෂය නංවාගෙන අධිකරණය විසඳන්නට ඕනෑ. සන්සිඳවූ අධිකරණය උක්කෝටනය කිරීමෙන් උක්කෝටනක පාචිත්තිය ඇවතත්, දොස් නැඟීමෙන් ඛීයනක පාචිත්තිය ඇවතත් සිද්ධ වෙනවා. මේ විදිහට සම්මුඛාවිනයෙන් සහ යෙභුය්‍යසිකායෙන් විසඳන ලද විවාදාධිකරණයෙහි විනිශ්චය භාග්‍යවතුන් වහන්සේ විසින් පවා ආවසානික වශයෙන් පිළිගනු ලබනවා. මේ සංඝාධිකරණයේ බලය නැවත කිසිවෙකුට වෙනත් කිසි ම අධිකරණයක දී ප්‍රශ්න කරන්න බැහැ.“නිහතමෙතං භික්ඛවෙ අධිකරණං සන්තං වූපසන්තං සුවූපසන්තං.” කියල ඒ තහවුරුව දුන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් ම යි.
යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනතේ ප්‍රධාන ම දුර්වලතාව තමයි අධර්මය අවිනය මැඬපවත්වන්න භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදැන වදාළ මේ ශාසනික ක්‍රමවේදය සම්පූර්ණයෙන් ම නො සලකා හැරීම. මේ ධර්මයේ ස්වාමීත්වය තිබෙන්නේ භාග්‍යවතුන් වහන්සේට. ඒ නිසා උන්වහන්සේ ව හඳුන්වනවා ‘ධම්මස්සාමි’ කියල. ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේගේ ශාස්තෲත්වය හෙවත් ධර්මවිනය සම්බන්ධයෙන් පැනනඟින අර්බුද විසඳා ගන්නටත් ඕනෑ භාග්‍යවතුන් වහන්සේගේ ම ක්‍රමයට මිස අපේ ක්‍රමයට නො වෙයි.“සත්ථා භගවා – සාවකො හමස්මි” භාග්‍යවතුන් වහන්සේ තමයි ශාස්තෲවරයා. මම ශ්‍රාවකයා පමණ යි;“ජානාති භගවා – නාහං ජානාමි” දන්නේ භාග්‍යවතුන් වහන්සේ පමණ යි; මම දන්නේ නැහැ. කීකරු ආර්යශ්‍රාවකයා කල්පනා කරන්න ඕනෑ මේ විදිහට යි. ඒ නිසා සුගතෝවාදය පසෙක ලා මේ ත්‍රිපිටක සංරක්ෂණ පනත වගේ ධර්මවිනයෙන් පරිබාහිර අණපනත් මඟින් ශාසනය බබුළුවන්නට කල්පනා කිරීම ශාස්තෲගර්වයවත් නැති මෝඝපුරුෂයන්ගේ අධර්මිෂ්ට වෑයමක් බව යි අපගේ අදහස. බාගවිට අර දේවදත්ත භික්ෂුවට වගේ තමන් ශාස්තෲවරයා වීමේ හෝ ශාසනභාරධාරීත්වය තමන් වෙත පවරා ගැනීමේ මානසික ව්‍යාධිය මේවා පිටුපස තිබෙන්නට පුළුවන්.

අනික මේ මණ්ඩලයේ සංයුතිය… උබ්බාහිකාවක් පිණිස සම්මත කළ යුතු භික්ෂුවගේ සුදුසුකම් පිළිබඳ ව මම ඉහත දී මතක් කළා. මේ පනත හදපු උදවිය හිතුවද දන්නෙ නැහැ නිකායක මහානායක වුණා ය කියල, මහානායක හාමුදුරුවන් විසින් නම් කළා ය කියල, විශ්වවිද්‍යාලයක මහාචාර්ය ආචාර්ය වුණා ය, කාලය යි වයස යි එක්ක නිකම් ම චිරරාත්‍රඥ බවට පැමිණියා ය කියල අර කියූ සුදුසුකම් රාශියඒ තනතුරුවලට ලැබෙනව යි කියල. අටුවා ප්‍රාමාණික බුද්ධවචන වශයෙන් නො පිළිගන්න, අඩු ම තරමේ ත්‍රිපිටකය ගැනවත් විශ්වාසයක් නැති, එය හුදු සාහිත්‍යයක් හැටියට පමණක් අදහන, ධර්මවිනය තබා ශ්‍රද්ධාවක්වත් නැති, අඩු ම තරමේ පොහොයවත් නො කරන, උක්ඛේපනීය කර්මය පනවල මේ ශාසනයෙන් පන්නල දාන්න ඕනහිස් පුරුෂයන්ට යි මේ පනතින් වැඩිඅවකාශය සලසා දෙන්නෙ. ඒ වගේ ම ඒ අයට මෙහි මුලසුන අරගෙන අධර්මයක් ම අවිනයක් ම අධර්මවාදියා ම අවිනයවාදියා ම බැබළවීමේ අවකාශ ඕනෑ තරම් නිර්මාණය කර දී තිබෙනව. ඒ තීරණය ඒ විනිශ්චය ආවසානික වශයෙන් පිළිගන්නා නිසා එයට රටේ අධිකරණමය බලයකුත් හිමිවෙනව. රටේ නීතිය හමුවේ බුද්ධනීතිය ද්විතියීක වෙනව; යටපත් වෙනව.මේක හරියට දොළොස් වසරක් පසුපස ලුහුබැන්ඳත් භාග්‍යවතුන් වහන්සේගේ සිදුරක් හොයාගන්නට බැරි වෙච්ච මාරයාට අඬගහලා ශාසනභාරධාරීත්වය ශාසනයෙහි අධිකාරීමය බලය පැවරුවා වගේ වැඩක්.

ඒ වගේ ම බලන්න,මේ පනත ගැන කතා කරන අය ඒ කතා කරන්නෙ “අපිට මේකෙදි විනය ප්‍රශ්න වැඩක් නෑ; විනය ප්‍රශ්න ගැන මේ පනත හරහා කතා කරන්නෑ; මේ පනතින් විනය ගැන කතා කරන්නෑ; විනය කටයුතු සම්බන්ධයෙන් මේ පනතින් ක්‍රියාමාර්ග ගන්නේ නෑ.” කියල. මේ නො කියා කියන්නේ“විනය වැඩක් නෑ” කියල. ඇයි, විනය කියන්නෙ පරියත්තියෙන් බැහැර එකක් ද? නෑ…! පරියත්තියෙහි ම අංගයක්. පරියත්ති, පටිපත්ති, පටිවේධ නැත්නම් අධිගම කියන මේ ත්‍රිවිධ සාසනය ම විනය තුළ ඇතුළත්. සාසන යන්නට පර්යාය වශයෙන් සද්ධම්ම යන පදය ථෙරවාදී සම්ප්‍රදාය තුළ යෙදී තිබීමෙන් ම ඒ බව පැහැදිලි යි. ප්‍රතිපත්ති සාසනයත් හඳුන්වන්නේ පටිපත්තිසද්ධම්ම කියල. පනත සර්වාකාරයෙන් ත්‍රිපිටක සංරක්ෂණ පනතක් නම් ධර්මවිකෘතියට වගේ ම විනය විකෘතියට එරෙහි ව ත් ක්‍රියාමාර්ගය ගැනෙන්නට ඕන. ඒ වගක් පේන්නෙ නැහැ. භික්ෂූන් වහන්සේලා නිකායවාදය කරපින්නාගෙන සිටින්නේ ධර්මවිනයේ කවර එකඟත්වයකින් ද? භික්ෂූන් වහන්සේලා මිලමුදල් පිළිගන්නේ, රැකියා කරන්නේ, වැටුප් ලබන්නේ ධර්මවිනයේ කවර එකඟත්වයකින් ද? භික්ෂූන් වහන්සේලා පාත්‍රයේ නො වළඳන්නේ ධර්මවිනයේ කවර එකඟත්වයකින් ද? භික්ෂූන් වහන්සේලා දේශපාලනය කරන්නේ ධර්මවිනයේ කවර එකඟත්වයකින් ද? ඒවාටත් එරෙහි ව මේ පනත යටතේ නඩුපවරා, දඩගසා, බන්ධනාගාරගත කළ නො හැක්කේ ඇයි?

ඒ නිසා අපි කල්පනා කරන්න ඕනි, විනය හළලා කරන ත්‍රිපිටක සංරක්ෂණයේ ඵලය මොකක් ද? එයින් සාසනයට කවර ලාභයක් ද? එහෙනං ත්‍රිපිටක සංරක්ෂණයට මුවා වෙලා මේ නැඟෙන්නෙ කාගෙ හඬ ද? මේ තමයි මාරයාගෙ හඬ! දැන් තමයි මාරයා නියම සද්දෙන් ඝෝරනාඩු කරන්නෙ. ඒක සක්සුදක් සේ පැහැදිලි යි. ඒක අපට නො පෙනෙන නො දැනෙන තරමට මාරයා අප ව මුලාවේ දමල.

පනතේ ඡන්දදායකයන් කියනවා “උඩ බලාගෙන කෙළ ගහගන්ඩ බෑ; අසූචි තවරගන්න බෑ. අන්‍යාගමිකයො හිනාවෙනව; විනය ප්‍රශ්න අපි සාසනික ව විසඳගමු” කියල. මම කලින් කීව වගේ විනය, පරියත්තියෙන් පරිබාහිර එකක් නෙවෙයි. ඒ නිසා විනය ප්‍රශ්න විතරක් සාසනික ව විසඳනවා කියල එකක් නැහැ. ධර්මවිනය වෙන් කරන්න බෑ වගේ ම අධර්මයඅවිනයත් වෙන් කරන්න බෑ. ධර්මය කොතන ද එතන විනය තිබෙනවා; විනය කොතන ද එතන ධර්මය තිබෙනවා. අධර්මය කොතන ද එතන අවිනය තිබෙනවා; අවිනය කොතන ද එතැන අධර්මය තිබෙනවා. විනය ප්‍රශ්න ශාසනික ව විසඳගන්න පුළුවන් නම් අධර්මවාදයක් ශාසනික ව විසඳගන්න බැරි ඇයි? ඒක පුළුවන් නම් මේකත් පුළුවන් වෙන්න එපැයි; මේක බැරි නම් ඒක විතරක් පුළුවන් වෙන්න විදිහක් නෑ නේ! ධර්මයෙන් විනයෙන් ශාස්තෲශාසනයෙන් විවාදාධිකරණය සන්සිඳුවන්න බෑ යි කියලා කවුරු හරි කියනව නම් ඒක වසල ප්‍රකාශයක්! තථාගතයන් වහන්සේගේ ජිනචක්‍රයට පහර දීමක්! ධර්මවිනයෙන් ශාස්තෲශාසනයෙන් විවාදාධිකරණය විසඳගන්න බැරි ය කියා බාහිර අණපනත්වලට යනවා නම්, වෙනත් අධිකරණ ක්‍රියාමාර්ගවලට යනවා නම් අපි යෝජනා කරනවා වහවහා ම අනුවාදාධිකරණය විසඳන්න, ආපත්තාධිකරණය විසඳන්න, කිච්චාධිකරණය විසඳන්න මේ ඉතිරි අධිකරණ තුනටත්බාහිර අණපනත් අරගෙන ඇවිල්ලා වැරදිකරුවන්ට දැඩිදඬුවම් පමුණුවන්න කියලා.අද සාසනයේ යථා ස්වභාවය ලෝකයාට හෙළි වෙන්න අන්නඑතකොට යි. ඒවට බය යි. ඒවා ගැන හාවක්හූවක්වත් නෑ. ඒවා විතරක් සාසනික ව විසඳගමු යි කියල බය නැති ව ලැජ්ජ නැති ව කියන්නෙපොහොයවත් නො කෙරෙන නිසා. ඇත්ත කතාව ඒක යි. පොහොයවත් නො කෙරෙන, සංඝයා අපිරිසිදු වූ ශාසනයක කොහොම ද සංඝාධිකරණයක් පනවන්නේ? සතර අධිකරණයවත් නො දන්න අධිකරණ සංඝනායකල නම් හතර දිග්බාගෙ ම වැහිවැහැල ඉන්නව නිකම් නමට! ඒ වැරදුණු මඟහැරුණු මුල හදාගන්න පිළියමක් යොදාගන්නේනැති ව දැන් තාවකාලික පැලැස්තර ගහන්න හදනවා සාසනේ හිල් වහන්න. ඒ දාපු පැලැස්තරේ ඔක්කොටොම වඩා තඩි හිලක්!මේවායේ දරුණු ප්‍රතිඵල භුක්ති විඳින්නේ අද හෙට නෙවෙයි, තවත් දශක පහක් හයක් ගෙවුණාට පස්සේ. අනාගතයේ දී පහළ වෙන භික්ෂූන් වහන්සේලා මේ පනත නිසා ම මීට වඩා මහා අසරණභාවයකට පත්වේවි. මොකද, භාග්‍යවතුන් වහන්සේ විසින් මශාසනයේ බලය විමධ්‍යගත කරල සංඝයාට දුන්නු අසහාය බලය යි, සංඝයා විසින් ම අද මේ බාහිර අධිකරණයකට පවරන්න යන්නෙ. එය ඉතා ම බරපතල ඛේදනීය තත්ත්වයක්.
මේ පනත හරහා ගනු ලබන වෑයම ඉතාමත් වටිනා සඳුන් හරයක් පිළුණු වූ දුගඳ හමන කුණු මෝරු කළයකට හුවමාරු කිරීමක්… ලබුකබල් දියේ ගිලී කලුගල් දියෙහි පාවෙන්න ඉඩ හැදීමක්… ස්වර්ණ හංසයන් වට කරගෙන කපුටන්ට රජ වෙන්න ඉනිමං තැනීමක්…දිවියන් මරාගෙන කන්න එළුවන්ට සර්වබලධාරීත්වය පැවරීමක්…

ශාසනික අර්බුද විසඳාගත යුතු ක්‍රමය විනයෙහි පැහැදිලි ව දක්වා තිබිය දී ත්, ඒවා අනුගමනය නො කොට බාහිර අධිකරණයකට ධර්මවිනයේ අධිකාරීමය බලය පැවරීමෙන් මේ සිදුකරගන්නට යන්නේ ශාස්තෲත්වය වියුක්ත කුලකයක් බවට පත්කරගැනීම යි. ඒ තුළ විනය අහෝසි වෙනවා; අහෝසි කරගන්නවා. ආයේ ඒක හදන්න බැරි ඓතිහාසික වරදක් බවට පත්වෙනවා. පොදුවේ බොහෝ දෙනා “ත්‍රිපිටක සංරක්ෂණ පනත” වගේ ලස්සන මාතෘකාවකට කැමති වෙන්නෙ අද මේ සාසනය අර්බුද බහුල එකක් නිසා; හරියට අර ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා වාගේ. ඒ නිසා මාරවසඟයට හසුවෙලා ඒවා වෙනුවෙන්කෑමොර දෙන ගිහිපැවිදි උභයපාර්ශ්වය ගැන ම අපි අනුකම්පා කරනවා. සාසනික අර්බුදවලට විසඳුම තාවකාලික පැලැස්තර ඇලවීම නෙවෙයි, කළ යුත්ත මොකක් ද කියල හරියට වටහා ගෙන ඒ අනුව ක්‍රියාකරන එක. ඒ උදෙසා ගනු ලබන ක්‍රියාමාර්ග ධර්මානුධර්මප්‍රතිපදාවක් වෙන්නට ඕනෑ. ධර්මවිනයෙන් ශාස්තෲශාසනයෙන් විසඳිය යුත්තක් වෙන්නට ඕනෑ. එතකොට තමයි මේ ධර්මවිනය ශාස්තෲශාසනය ආරක්ෂා කරගන්න දෙව්බඹුන්ගේ පවා ආධාර උපකාරලැබෙන්නේ.‍

උදාහරණයක් කියන්නම්. දෙවැනි සංගීති කාලෙ සාළ්හ මහරහතන් වහන්සේට ධර්මවාදීන් කවුද අධර්මවාදීන් කවුද කියල හිතාගන්න බැරි ව, ධර්මවාදී පක්ෂය අධර්මවාදීන් හැටියට අරගෙන, අධර්මවාදී පක්ෂය ධර්මවාදීන් හැටියට කල්පනා කරන වෙලාවෙ මහාබ්‍රහ්මයා ශුද්ධාවාසයෙන් චුත වෙලා ඇවිල්ලා තමයි සාළ්හ ස්ථවිරයන් වහන්සේගේ සිතුවිල්ල වැරදි බව පෙන්වා දුන්නෙ. තවත් උදාහරණයක් කියන්නම්. පිළිගත් සාසනික ක්‍රමය තමයි අධිකරණයක් පිණිස මූල දායක කරුණු හටගත් තැන ම ඒ අධිකරණය සන්සිඳුවාලීම. මොකද, එහෙම නො වුණොත් ඒ අධිකරණය උක්කෝටනය කිරීමක් වෙනව. ඒ කියන්නෙ විනිශ්චය වූවක් නැවත විනිශ්චයේ යොදවන්නට අවකාශ සලසා දීමක්, යුක්තිය යටපත් කිරීමක් වෙනවා කියන එක. ඒ න්‍යායයෙන් එදා වජ්ජිපුත්තක භික්ෂූන් නිසා අධර්මයක් අවිනයක් උපන් වෙලාවේ රේවත මහාස්ථවිරයන් වහන්සේ ප්‍රධාන එකොළොස් ලක්ෂ අනූදහසක් පමණ වන මහරහතන් වහන්සේලා ඒ අධිකරණය විසඳන්න ඊට මූලදායක කරුණු පහළ වූ විශාලා මහනුවරට ම වැඩම කළා. ඒ වෙනකොට අධර්මවාදී අවිනයවාදී පිරිස කාලාශෝක රජ්ජුරුවන් ව තමන්ගෙ පක්ෂයට නම්මවාගෙන යි හිටියෙ. රජ්ජුරුවො මොකද කරන්නෙ තමන්ගෙ ඇමතියන් යොදවල අධිකරණය සන්සිඳුවන්න විශාලාවට වඩින මහාස්ථවිරයන් වහන්සේලා වළක්වන්න උත්සාහ කරනව. හැබැයි මේ වෙලාවෙදි දේවතාවො මැදිහත් වෙලා ඒ ඇමතියන් ව වෙනත් මඟක යොදවල කාලාශෝක රජ්ජුරුවන් ව සිහිනෙන් බය කරනව. මේ ප්‍රවෘත්තීන් දෙකේදි ම ධර්මවාදී පක්ෂයට දෙවියන්ගේ සහාය ලැබුණේ ඇයි? ඒක ශාසන චිරස්ථිතිය පිණිස ම වන විනයානුකූල විධිමත් සාසනික ක්‍රියාමාර්ගයක් නිසා. ඒ විනය ඉක්මවා, විනයෙන් පරිබාහිර ව ධර්මවිනය රකින්න මොන ක්‍රියාමාර්ගය ගත්තත් ඒ එකදු ක්‍රියාමාර්ගයක්වත් සාසනික වෙන්නෙ නෑ; ධර්මවිනයේ බැබළීමක් එයින් වෙන්නේ නෑ; ඒවාට දෙවියන්ගේ උපකාරය ලැබෙන්නෙත් නෑ; ඒ නිසා ම අසාර්ථක යි.එහෙනං අපි බලන්න ඕනෑ දෙව්බඹුන්ගේ ආධාර උපකාර පවා ලැබෙන, ධර්මවිනය ආරක්ෂා කරගන්න තියෙන විනය ක්‍රියාමාර්ග පිළිබඳ ව මිසක් ඉන් පරිබාහිර විකල්ප ගැන නෙවෙයි.

රටේ පාලකයාගේ සහ රජයේ වගකීම තමයි එසේ ගනු ලබන ශාසනික ක්‍රියාමාර්ගවලට රාජ්‍යනුග්‍රහය පූර්ණ වශයෙන් ලබා දීම. හැබැයි වර්තමානයේ ශාසනයේ වියවුල්කාරී තත්ත්වය අනුව රාජ්‍යනුග්‍රහය ලබා දීම වුණත් බොහොම සැලකිල්ලෙන් කරන්න ඕනෑ. ඒ සඳහා පාලකයා බුරුමයේ ශාසනශොධක ධම්මචේතිය මහරජතුමා වගේ සියුම් කරුණෙහි පවා විනිශ්චය කිරීමට සමත්ත්‍රිපිටකධර්මයෙහි පාරප්‍රාප්ත අයෙකු වන්නට ඕනෑ. අපේ පාලක පක්ෂය ගත්තොත් අද ඒ ඇත්තන්ට අනුශාසනා කරන්නෙත් ආශීර්වාද කරන්නෙත් අධර්මවාදීන් අවිනයවාදීන්. ඒ ශාසනභ්‍රෂ්ටයන්ට රාජ්‍ය මාධ්‍ය තුළ පවා ඉඩහසර සලසා දෙන තත්ත්වයක් තමයි අපි දකින්නේ. මෙහෙම ගියොත් විනාස යි.

තවත් වැදගත් කාරණයක් කියන්නම් යම් භික්ෂුවක් අධර්මය ධර්මය වශයෙන්, ධර්මය අධර්මය වශයෙන්, අවිනය විනය වශයෙන්, විනය අවිනය වශයෙන්, අලපිතය අභාෂිතය ලපිතය භාෂිතය වශයෙන්, ලපිතය භාෂිතය අලපිතය අභාෂිතය වශයෙන්, අනාචීර්ණය ආචීර්ණය වශයෙන්, ආචීර්ණය අනාචීර්ණය වශයෙන් අප්පඤ්ඤතිය පඤ්ඤත්තිය වශයෙන්, පඤ්ඤත්තිය අප්පඤ්ඤත්තිය වශයෙන්, අනාපත්තිය ආපත්තිය වශයෙන්, ආපත්තිය අනාපත්තිය වශයෙන්, ලහුකාපත්තිය ගරුකාපත්තිය වශයෙන්, ගරුකාපත්තිය ලහුකාපත්තිය වශයෙන්, සාවසෙසාපත්තිය අනවසෙසාපත්තිය වශයෙන්, අනවසෙසාපත්තිය සාවසෙසාපත්තිය වශයෙන්, දුට්ඨුල්ලාපත්තිය අදුට්ඨුල්ලාපත්තිය වශයෙන් අදුට්ඨුල්ලාපත්තිය දුට්ඨුල්ලාපත්තිය වශයෙන් යන මේඅටළොස් කරුණින් අධර්මය අවිනය දක්වන විට එය කෙළින් ම වැටෙන්නේ සංඝාදිසෙසාපත්තියට යි. මේ හා සම්බන්ධ සංඝාදිසෙසාපත්ති දෙකක් ම තිබෙනව. එයිනුත් තහවුරු වෙනවා ධර්මවිකෘතිය විනයෙන් වියුක්ත කුලකයක් නො වේ ය කියා.සංඝාදිසෙසාපත්ති කියන්නෙ ගරුකාපත්ති වශයෙන් ගැනෙන ශික්ෂා ප්‍රඥප්ති සමුදායක්. මේවායේ විශේෂත්වය තමයි පාරිශුද්ධිය ලබාගන්න පුළුවන් වීම. එසේ පාරිශුද්ධිය ලබාගන්න පුළුවන් ඇවැත් අතුරින් ඉතා බරපතල ඇවැත් තමයි සංඝාදිසෙසාපත්ති කියන්නෙ. ඒ සඳහා සංඝයාගේ සහභාගිත්වය කැමති විය යුතු යි. මේ සංඝාදිසෙසාපත්තීන්ට පත් වූ භික්ෂුවට විනයේ හැටියට සමනුභාසන කර්මය කළ යුතු යි. සමනුභාසන කර්මය කියන්නේ මෙවන් වැරදි අදහස් ගත් කෙනෙකුට ඒ අදහස අත්හරින හැටියට සංඝයා විසින් බලකිරීම. එය සඟ මැදට ගෙන ගොස් ව්‍යක්ත ප්‍රතිබල භික්ෂුවක් විසින් ඤත්තිචතුත්ථකම්මවාක්‍යය ප්‍රකාශ කිරීමෙන් කළ යුත්තක්. සංඝාදිසෙසාපත්තීන්ට පත්වුණා ම දේශනා පාරිශුද්ධි වශයෙන් පිරිසිදු වෙන්න බෑ. ඒ සඳහා වත් සමාදානය, මානත පිරීම, අබ්භාන කර්මය වගේ විනය පිළිවෙත් මාලාව අනුගමනය කරන්න ම ඕනෑ. ඒ අනුව අධර්මවාදයක් අවිනයවාදයක් වුණත් දරන පුද්ගලයාට සාසනික පුනරුත්ථාපනය පිණිස විනය තුළ ඉඩහසර සලසා දී තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ විනය පනවා තිබෙන්නේ පරමාර්ථ දහයක් මුල් කරගෙන යි. මේ සියලු විධිවිධානවලට ඒ දසවිධ පරමාර්ථ මුල් වී තිබෙනවා. මේ පනත මඟින් ඒ විනයපරමාර්ථ පවා උල්ලංඝනය කොට තිබෙනවා.එය ඉතා බරපතල තත්ත්වයක්. භික්ෂූන් සඳහා නිකරුණේ රාජදණ්ඩන පනවන්න බැහැ. ඒ සඳහා පළමු ව විනය ක්‍රියාමාර්ගය නිසි පරිදි ඉටු වී තිබිය යුතු යි; පිළියම් ඵලක් නො වේ නම්චූදිත භික්ෂුව නෙරැපීමට සංඝයාට බලය තිබෙනව.

එහෙනං සාසනය රැකෙන්න ඕන; සාසනය රකින්න සාසනික වශයෙන් සහ රාජ්‍ය මට්ටමින් විධිවිධාන සලසන්නත් ඕන; හැබැයි ඒ සියල්ලක් ම සාසනික වෙන්නත් ඕන. විනය ක්‍රියාමාර්ග ගන්න බැරි තරමට සංඝසංස්ථාව බංකොලොත් නම් වහා ම ශාසනික පුනරුත්ථාපනයකට යා යුතු වෙනව. සද්ධම්මපතිරූපක සූත්‍රයේ හැටියට ම සද්ධර්මප්‍රතිරූපක බහුල වීම සංඝසංස්ථාවේ බංකොලොත්භාවයට නිදර්ශනයක්. ඒ සඳහා මේ නිකායවාද අතහැරල, සඞ්ඝසාමග්‍රිය පිණිස සතර අධිකරණය ඉදිරියට ගත යුතු වෙනව. අධිකරණසමථ මඟින් ඒවා විනයානුකූල ව විසඳිය යුතු වෙනව. ශාසනයෙන් බැහැර කළ යුත්තන් බැහැර කළ යුතු වෙනව. රජයට තිබෙන්නේ ඒ ගනු ලබන ශාසනික ක්‍රියාමාර්ග පිළිගෙන ශාසනශෝධනයට විධිවිධාන සැලැස්වීම. මොකද, රාජ්‍ය ආරක්ෂාව නො ලැබුණොත් ශාසනචිරස්ථිතිය පිණිස යොදන සියලු පිළියම් ගඟට කැපූ ඉනි බවට පත්වෙනව.

ත්‍රිපිටක සංරක්ෂණ පනත ගෙනාවේ පරම පූජනීය අතිනිර්මල ශාසන සුරක්ෂාව පිණිස කළ යුතු මීට වඩා දෙයක් නැති එකක් ගානට උලුප්පා දක්වමින්. ඒත් අදටත් මේ පනතේ රාජ්‍ය මැදිහත්වීම, සංඝයා වහන්සේගේ මැදිහත්වීම සහ මූලය අපැහැදිලි යි. කාගේ උවමනාවක් ද, කුමන උවමනාවක් ද මේ ධර්මවිරෝධී, විනයවිරෝධී පනතක් හරහා කරලියට ආවේ කියන ප්‍රශ්නාර්ථය තිබෙනව. ඒ වාගේ ම මෙතෙක් වරින්වර සංශෝධනයන්ට බඳුන් වෙමින් සංඝයාගේ ඵාසුවිහරණයත්, ශාසනානුග්‍රහයත් අපේක්ෂා කරමින් ඉදිරිපත් වූ බෞද්ධ ප්‍රකාශන නියාමන පනත, කතිකාවත් පනත, පුරාවිද්‍යා පනත, විහාර හා දේවාලගම් පනත ආදි තවත් පනත් පහක් පමණ තවමත් කොට උඩ. ඒවා ගැනවත් කිසි ම වගවිභාගයක් නැති ව කාටත් හොරා අලුතින් ම ත්‍රිපිටක සංරක්ෂණ පනතක් පාත් වුණේ කොහොම ද? පෙර පනත් කිසිවක් සම්මත කරගන්නට නො තිබුණු හදිසිය මේ ධර්මවිරෝධී විනයවිරෝධී සංඝයාගේ බලය නිශේධනය කරන මේ පනත සම්බන්ධයෙන් විතරක් යොමු වුණේ ඇයි?

කෙසේ හෝ පාරිශුද්ධ ය කියූ පනතේ අශුද්ධභාවය මත පනත ගෙනා අයට ම ආපසු එය අකුළා ගන්න සිද්ධ වී තිබෙනවා.භික්ෂූන් වහන්සේලා වේවා, ගිහියන් වේවා යමෙකු ශාසන පරිහානිය දැකල ශාසනය බේරගන්න ඉදිරිපත් වීම, ක්‍රියාත්මක වීම ඉතා උත්කෘෂ්ට ක්‍රියාවක්; හැබැයි ඒ උවමනාව, උනන්දුව, කැපවීම සුගතෝවාදය අනුව ම පවතින සාධුසම්මත පියවරක් බවට පත්කරගැනීමට මම මහාසංඝයා වහන්සේට ත්, සියලු ම ගිහි බෞද්ධ පින්වතුන්ට ත් මෙත් සිතින් ආරාධනා කරනවා.

තෙරුවන් සරණ යි!
මේ වගට,
සසුන් ලැදි,
දිලාන් පංචන ජයසිංහ
කොස්ගම දී ය.
2021.08.08

මෙම ලිපිය PDF ලෙස Download කරගත හැක

Related posts

හෙරොයින් සන්තකයේ තබා ගත් ජාවාරම්කරු ජීවිතාන්තය තෙක් සිරගෙට

Admin

රන් පවුම රු185,000ට නගී

colombotoday

පොලිස් වසම් හා තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

එජා පෙරමුණ දෙදරයි… හකීම්, මනෝ, දිගාම්බරම්, චම්පික ඉවතට ?

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් අනතුරේ වන්දි ඩොලර් වලින් ලබා ගන්න කැබිනට් අනුමැතිය

Admin

“අපි මෙයාට ආදරේ කරනවට වඩා එයා මෙයාට ආදරෙයි..” මහින්ද-රනිල් ගැඹුරු මිතුදම ගැන රන්ජන් කියයි

colombotoday