Colombo Today Local News

“රාජිතට විරෝධය පා, කොඩි ඔසවන්න”

“රාජිත සේනාරත්න ඇමතිතුමා, පසුගිය රජයේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරනවා කොටි ත්‍රස්තවාදීන් අපේ රටේ ජනතාව. ඔවුන්ව සැමරුවාට කමක් නැත කියලා.රාජිත සේනාරත්න ඇමතිතුමා මේක සාධාරණීකරණය කරන්න කියනවා මට යුද්ධය ගැන හොඳ හැඟීමක් තියෙනවා. අපිත් මගේ පක්ෂය දාලා ආණ්ඩුවට එකතු වෙලා මේ යුද ජයග්‍රහණය ලබා ගත්තේ කියලා.” යැයි අද (17) දින පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා….

“රාජිත සේනාරත්න ඇමතිතුමාට අමතක අතීතය මම මතක් කරලා දෙන්නම්. මේ යුද්ධය ආරම්භ වෙලා, 2006 අගෝස්තු මාසේ රාජිත සේනාරත්න ඇමතිතුමා ක්‍රියාකාරි නායකයෙක් වන යුද විරෝධී පෙරමුණ යුද්ධය නතර කරන්න කියලා දැවැන්ත පෙළපාලියක් ගියා. රාජිත සේනාරත්නගේ යුද විරෝධී පෙරමුණේ සහ අනෙකුත් රාජ්‍ය නොවන සංවිධානවල ජාත්‍යන්තර ප්‍රජාවේ දැවැන්ත බලපෑම් මධ්‍යයේ තමයි අපිට කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න පුළුවන් වුණේ.

හැබැයි කොටි ත්‍රස්තවාදය පරාජය කරලා රටේ රැල්ල බවට එය පත් වුනාම කොටි ත්‍රස්තවාදය පරාජය කළ නොහැකියි කියලා රැස්වීම් තියපු, මාධ්‍ය හමු තියපු රූපවාහිනී සංවාද වල මාත් එක්ක තර්ක කරපු, රාජිත සේනාරත්න ඇමතිතුමා කළුතර පාලමයි කළුතර බෝධියයි අතර ගැහුවා ලොකු ප්‍රචාරක පුවරුවක්. එහි මහින්ද ජනාධිපතිතුමා ගේ රූපය එක පැත්තක තියෙනවා. අනෙක් පැත්තේ රාජිත සේනාරත්න ඇමතිතුමාගේ පින්තූරය තිබෙනවා. මැද රණ විරුවන් ආයුධ සන්නද්ධව ඉන්න පින්තූරයක් දාලා යටින් කවියක් ගහලත් තියෙනවා “තිස් වසරක යුද්ධය නිමයි. තිස් වසරක් රජුත් නුඹයි.” මහින්ද රාජපක්ෂ මැතිතුමාට මුලින්ම රජු කියලා ආමන්ත්‍රණය කළේ රාජිත සේනාරත්න ඇමතිතුමා කියලා අපි ප්‍රකාශ කරන්න කැමතියි. ඒ විතරක් නොවෙයි තිස් වසරක් එතුමා මේ රටේ නායකයා වෙලා ඉන්න ඕන කියපු කෙනා තමයි මේ 18 වැනි සංශෝධනය ඒකාධිපති සංශෝධනයක් අපි ඒකට කැමැත්තෙන් හිටිය නෑ යනාදිය කියන්නේ.
එතුමා කියන ආකාරයට කොටි ත්‍රස්තවාදියාව සැමරීමට ඉඩ ලබාදෙනවා නම්, කොටි ත්‍රස්තවාදීන් තරං මිනීමරපු කොටි ත්‍රස්තවාදීන් තරං හොරකම් කරපු කොටි ත්‍රස්තවාදීන් තරං රාජ්‍ය සහ පෞද්ගලික දේපල විනාශ කරපු සංවිධානයක් මේ ශ්‍රී ලංකාද්වීපය තුල මෙතෙක් බිහිවී නැහැ.

ඒ නිසා මේ ආණ්ඩුවට කොටි ත්‍රස්තවාදීන් සමරන්න වුවමනා නම් ඊට කලින් ලංකාවේ සියලුම හිරගෙවල් විවෘත කරලා ඇතුලේ ඉන්න සියලුම සිරකරුවන්ට නිදහස ලබාදිය යුතුයි. මේ කිසිම සිරකරුවෙක් කොටි ත්‍රස්තවාදීන් තරම් වැරදි කර නැති බව අපි ආණ්ඩුවට සිහිපත් කරන්න කැමතියි. රුපියල් තුන්දාහ ගෙවා ගන්න බැරුව අහිංසකයෝ හිරේ තපිද්දි ඒ අය ගැන උනන්නේ නැති කඳුළු රාජිත ඇමතිතුමාට උනන්නේ ඒ කාලේ වගේම රාජ්‍ය නොවන සංවිධාන හරහා එතුමාට ඩොලර් ගලනවාද කියලා අපිට එතුමාගෙන් අහන්න සිද්ද වෙනවා.

ඒ වගේම රාජිත සේනාරත්න ඇමතිතුමා ජනතා විමුක්ති පෙරමුණත්, කොටි සංවිධානයත් සමාන කරලා අහනවා ජනතා විමුක්ති පෙරමුණට ඉල්විරු සමරුව සමරන්න පුළුවන් නම් කොටි සංවිධානයට සමරන්න බැරි ඇයි කියලා. ආණ්ඩුවේ ඇමති ධූරයක් දරන රාජිත ඇමතිතුමනි මට ලැජ්ජයි ඔබතුමා ඇමතිධූරයක් දරනවා කියලා ප්‍රකාශ කරන්න. ඒ නිසා මම ඔබතුමාට කියලා දෙන්නම් මේ දෙක අතර තියෙන වෙනස්කම් මොනවද කියලා.

නෛතික වෙනස තමයි කොටි සංවිධානය කියන්නේ ලංකාවේ තහනම් සංවිධානයක්. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂයක්. තහනම් සංවිධානයක් වෙනුවෙන් පෙනී සිටි රාජිත සේනාරත්න ඇමතිතුමන් බෙදුම්වාදය ශක්තිමත් කිරීම සඳහා පෙනී සිටීම සම්බන්ධයෙන් අපේ 6 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ එතුමාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. නමුත් අවාසනාවට නීතිය නැවෙන යුගයක අපි නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලන්න තරම් විහිළුවක් වෙන්න කැමති නෑ.

ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කළේ රටේ රාජ්‍ය බලය ලබා ගන්න. අපි කිසිසේත්ම ත්‍රස්තවාදය භාවිතා කරලා රාජ්‍ය බලය ලබා ගැනීම අනුමත කරන්නේ නෑ. එය කෙලින්ම ත්‍රස්තවාදයක්. හැබැයි කොටි ත්‍රස්තවාදයේ අරමුණයි මේ ත්‍රස්තවාදයේ අරමුණයි වෙනස්. සමහර කට්ටිය කප්පං ගන්න දරුවෝ පැහැරගෙන ගිහිල්ලා කප්පං දුන්නේ නැත්නම් දරුවා මරනවා කියනවා. ඒකත් ත්‍රස්තවාදී ක්‍රියාවක්. හැබැයි අරමුණ අනුව ත්‍රස්තවාදී ක්‍රියාවන් අනුව සමාජ ආකල්ප වෙනස් වෙනවා. අපි දැක්කා සමාජවාදී විප්ලවය නමින් සන්නද්ධ අරගල වලින් රටවල් වල ආණ්ඩුව පෙරළා තියෙනවා. ඒ පෙරලපු ආණ්ඩු නැවත ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිත් තිබෙනවා .ලෝකයේ අද සමාජවාදී කියලා කොමිනිස්ට් ක්‍රමයට දුවන රටවල් තියෙන්නේ පහක් පමණයි. හැබැයි රටක් බෙදුවොත් කෑලි කඩලා ඒක සදාකාලිකයි. රාජ්‍ය බලය ලබා ගැනීම තාවකාලිකයි. රට බෙදීම සදාකාලිකයි. ජර්මනියේ ඇරුණුකොට බෙදුණු රටවල් දෙකක් යළි එකතු කිරීමක් අපි නම් අහලා නෑ.

ඒ නිසා අපි මේ ආණ්ඩුවට ඉතාම පැහැදිලිව කියනවා අපේ සමාජයේ කොටි ත්‍රස්තවාදීන් නිසා තමන්ගෙ තාත්තා අහිමි වෙච්ච දරුවෝ ඉන්නවා, තමන්ගේ පුතා අහිමිවෙච්ච අම්මා තාත්තා ඉන්නවා, තමන්ගේ ආදර ආදරණීය ස්වාමි පුරුෂයා අහිමි වෙච්ච බිරින්දෑවරු ඉන්නවා, ඔවුන් අද ආඩම්බරයෙන් ඉන්නෙ මගේ සැමියා නැති උනාට කමක් නෑ,මගේ තාත්තා නැති වුණාට කමක් නෑ, මාගේ එකම දරුවා නැති උනාට කමක් නෑ, ඔවුන් මේ රට ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගත්ත නේ කියලා. එසේ හිත සනසගන්න තමන්ට ඉතිරි වෙලා තියෙන එකම දේ මගේ පියා මගේ දරුවා මගේ ස්වාමි පුරුෂයා රටට විරුවෙක්ය රටට සෙතක් කලාය කියන හැඟීමම පමණයි. ත්‍රස්තවාදියා විරුවන්ට සමාන කරලා ඒ හැගීම උදුරගන්න මේ ආණ්ඩුවට ඉඩ දෙන්න එපා කියලා රටට ආදරය කරන කළගුණ දන්න සංවේදී ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා.

අද ආබාධිත රණ රණවිරුවෙක්, ඇඳක් උඩට වෙලා කල්පනා කරනවා ඇති අනේ අපරාදේ මම හමුදාවට බැඳුනේ අද මා ගැන කවුරුවත් හිතන්නේ නෑ. මම කොටියෙක් උනානම් මැයි මාසේ 18 වෙනිදා ට වෙල්ලමුල්ලිවයික්කාල් වල විරුවෙක් ලෙස සමරන්න ඉඩ තිබුණා කියන හැගීම අපේ රණවිරුවන්ට ඇතිවීමට මේ ආණ්ඩුව ඉඩ හදලා දීලා තියෙනවා. රටට ආදරය කරන කළගුණ දන්න ජනතාවට සිහිපත් කරනවා 2009 මැයි 19වෙනිදායින් පස්සෙ ඔබ ජීවත් වෙන්නේ රණවිරුවා ගෙන් ණයට ගත්ත ජීවිතකාලයක් සමගින්. කොළඹ නගරයේ බෝම්බයකට එහෙම නැත්තං අනාරක්ෂිත ගම් ගම්මානයකදී කොටි බෝම්බ ප්‍රහාරයකට අසුවෙලා මියයන්න හිටිය අපිට ජීවත්වෙන්න සලස්වලා තියෙන්නේ රණවිරුවා කළ කැප කිරීම් නිසයි. අපිට ජීවිතය දුන්න අම්මා තාත්තට දක්වන ආදරය ම රණවිරුවාට දක්වන්නෙ නැත්නම් අපි තරම් ගුණමකු පිරිසක් මේ ලෝකේ තවත් නැහැ.

ඒ නිසා මේ ආණ්ඩුවටව රණවිරුවන් අමතක කලත් අපි ජාතියෙන් ඉල්ලා සිටිනවා මැයි මාසේ 19 වැනිදා ට උදෑසනම ඔබගේ නිවසේ ජාතික කොඩිය ඔසවන්න රණවිරුවාගේ අභිමානයට ගරු කරලා. ඊළගට එදිනම හවස පහනක් පත්තු කරලා ඔබ නිවසේ අපේ ජීවිත රැක ගන්න ඔවුන්ගේ ජීවිත පූජා කරපු සියලුම රණවිරුවන් සිහි කරන්න. එහෙම නොවුණොත් ත්‍රස්තවාදයේ දෙවන වටයේදී අපි රකින්න රට රකින්න තමන්ගේ ජීවිතයේ අවදානම් කරගන්න එකඳු රණවිරුවෙක් වත් බිහිවෙන්නේ නැහැ කියන අනතුරු ඇඟවීම් අපි සමස්ත ජාතියටම කරන්න කැමතියි.

ඒ වගේම මේ ආණ්ඩුව ත්‍රස්තවාදින් සුරතල් කරමින් ඉන්න නිසා අනතුරු ඇඟවීමක් කරන්ඩ ඕන අපිට මතකයි කොටි ත්‍රස්ත ත්‍රස්තවාදයට කිරි පොවලා හදා වඩා ගත්තේ දෙමළ එක්සත් විමුක්ති සංවිධානයෙන් ධර්මලිංගම්ලා, අමිර්තලිංගම්ලා, යොගේෂ්වරම් වැනි අය. කොටි ත්‍රස්තවාදීන් මුලින්ම සපා කෑවේ තමන්ට කිරි පෙව් නායකයන්මයි. ඉන්දිරා ගාන්ධි මැතිනිය කොටි පැටියට කිරි පොවලා හදාවඩා ගැනීමට කොටියා කෘත ගුණ සැලකුවේ එතුමියගේ පුතා රජිව් ගාන්ධි මරාදැමීමෙන්. ඒ නිසා කොටියට කිරි පොවන්නෙ බලාගෙනයි කියන පණිවිඩය අපි මේ ආණ්ඩුවට කරනවා.

අපි උතුරේ ජනතාවගේ පපුවෙන් ඉවත් කරපු බෙදුම්වාදි විෂබීජය යළිත් වතාවක් කොටින්ට වපුරන්න මේ ආණ්ඩුව කදිමට ඉඩ දීලා තියෙනවා. 2009 ඉදන් 2015 දක්වා උතුරේ වෙල්ලමුල්ලිවයික්කාල් වල කොටි සැමරුම තියන්න කාටවත් වුවමනාවක් තිබුණේ නැහැ. හැමෝටම ඕන උනේ එක රටක් විදියට එකට ඉන්න. අද බෙදුම් බෙදුම්වාදි විෂ බීජය කොටි සංවිධානයට නිසිසේ වපුරන්න ඉඩ දීලා මේ ආණ්ඩුව බලන් ඉන්නවා. මේ ආණ්ඩුවේ නායකයන්ටම තමයි එහි ඵල නෙළා ගන්න වෙන්නේ කියලා සිහිපත් කරන්ඩ ඕනේ.

1971 කැරැල්ලක් බිහිකළ රෝහණ විජේවීරට ම හැකි වුණා 1987 නැවත වරක් කැරැල්ලක් ඇති කරන්න. 2001 මේ රට බෙදුම්වාදී බටහිර රටවලටටවලට පාවා දුන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පුළුවන් වුනා 2015දී නැවත වතාවක් ඒ දේ කර කරන්න. එහෙමනම් 1972දී උලක්නාදන් ඝාතනය කරලා වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය ආරම්භ කළ බෙදුම්වාදය යළි නුදුරු අනාගතයේදී උතුරෙ ඇති වෙන්නේ නෑ කියන සහතිකය කාටවත්ම ලබාදෙන්න බෑ. ඒ නිසා සූදානමින් ඉන්න. මේ ආණ්ඩුව කොටියාට කිරිපොවමින් දැඩිකර නවා. කොයි මොහොතක හෝ කොටි පැටියා ලොකු වෙලා ආණ්ඩුවේ නායකයනුත් හපා කාලා අපිව හපා කන්න ඉඩ තියෙනවා කියන අනතුරු ඇඟවීම අපේ සමස්ත ජාතියටම කරනවා.”

Related posts

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 කට නායයාම් අනතුරු ඇඟවීම්

colombotoday

හිටපු ජනපතිගේ මස්සිනා, තිරුකුමාර් නඩේසන් FCID අත්අඩංගුවට !

colombotoday

එල්ටීටීඊය ප්‍රතිසංවිධානය කල පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

“ත්‍රස්ත මර්ධන පනත අහෝසි කරනවා.. බ්‍රිතාන්‍යයේ නීතියට අනුකූල නීතියක් ගෙනෙනවා” – අගමැති

colombotoday

ඉන්ධන නැතිව පිරවුම්හල් වහලා බලශක්ති ඇමති තෙල් තියනවලු

colombotoday

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ගේන්න උලමා සභාව සහයෝගය දෙනවලු | මරාගෙන මැරුණු ජමීල්ගේ මාමා තාසිම් මවුලවිගෙන් නිවේදනයක්.

colombotoday