Colombo Today Local News

අනාථ කඳවුරක සිටි බදියුදීන් පොහොසතෙක් වුණේ කෙසේ ද? පාස්කු කොමිසම ප්‍රශ්න කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය යනු බලවත් රටක් මෙරට තුළ අන්තවාදය ව්‍යාප්ත කිරීම සඳහා සිය නියෝජිතයින් හරහා දියත් කළ කුමන්ත්‍රණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (21) දෙවන දිනටත් වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයේ සිට Skype තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

එහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය විමසා සිටියේ, ” තුර්කියේ තහනම් සංවිධානයක් වන ෆෙටෝ සංවිධානයේ සාමාජිකයින් මෙරට තුළ ව්‍යාපාර කටයුතු සිදුකරගෙන යන බවට වු තොරතුරකට අනුව ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනයක් අත්හිටුවලා තියෙනවා, එම ෆෙටෝ සාමාජිකයන් සමග මෙරට කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු සම්බන්ධ යැයි අනාවරණය විම නිසා. කොමිසම හමුවේ සාක්ෂි ඉදිරිපත් වී තිබෙන ආකාරයට ඉන් එක් අයෙක් ඔබ. ඔබ කුමන හෝ අවස්ථාවක එම විමර්ශන කෙරෙහි බලපෑම් කළා ද? ” යන්නය.

“ස්වාමිනි එය අසත්‍යක්. තුර්කියේ කිසිදු පුද්ගලයෙකු හෝ සංවිධානයක් එක්ක මගේ සම්බන්ධයක් නැහැ. මම බලපෑම් කළෙත් නැහැ.” යැයි මන්ත්‍රීවරයා පිළිතුරු දුන්නේය.

ඉන් අනතුරුව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විමසා සිටියේ, ඔබේ කැනඩාවේ පදිංචි සහෝදරියට අයත් නිවසක් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ආරක්ෂිත නිවසක් ලෙස භාවිතා කළ බව ඔබ දැනුවත්ද යන්නය.

” ඒක කුලි පදනමටයි ලබා දී තිබුණේ. බෝම්බකරුවන් රැඳීසිටි බව මම දන්නේ ප්‍රහාරයෙන් පස්සේ “ යැයි බදියුදින් මන්ත්‍රීවරයා පැවසුවේය.

ඔබ ඒ නිවසට ගිහින් තියෙනවාදැයි එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේය.

“නැහැ මම එහි ගිහින් නැහැ” යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

යම් අවස්ථාවක ඔබේ සහෝදර රියාජ් බදියුදීන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වුණාදැයි සභාපති විනිසුරුවරයා යළි විමසීමක් කළේය.

“ඔව්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනවලට අදාළව ඔහුව අත්අඩංගුවට ගත්තා. මාධ්‍ය හරහා විකාශය වුනේ සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරක ඉන්සාෆ් අහමඩ් මගේ සහෝදරයාට දුරකතන ඇමතුම් 07 ක් අරන් තියෙනවා කියලා. මම දින හරියට දන්නේ නැහැ. කොහොම හරි පාස්කු ප්‍රහාරයට පෙර 2019 වර්ෂයේදි තමයි අරන් තියෙන්නේ. මම ඇහුවා ඇයි ඉන්සාෆ් කතා කළේ කියලා මගේ සහෝදරයාගෙන් , ඔහු කිව්වේ රජය විසින් තඹ අපනයනය නැවැත්වීම සම්බන්ධයෙන් සහනයක් ඉල්ලන්නයි කතා කළේ කියලා. මම දන්නේ නැහැ අවස්ථා 07ම කතා කළේ ඒකටද කියලා. එත් ඒ Call 7 ම ඉන්සාෆ් තමයි මගේ මල්ලිට අරන් තිබුණේ “ යැයි බදියුදින් මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

” ඔබ ඔබේ සාක්ෂිය තුළදී කිව්වට ඉන්සාෆ් අහමඩ්ට තඹ ගන්න උපකාර නොකළා කියලා, අනිත් ආයතනවලට වඩා ඊබ්‍රාහිම් පුතාගේ සමාගමට කිලෝ 25,000 ක් වගේ විශාල ප්‍රමාණ‍යෙන් තඹ නිකුත්වෙලා තියෙන පසුබිමක, ඉන්සාෆ්ගේ විවාහයට අත්සන් කළ ඔබ සෘජුව නොවුනත් වක්‍රව ඔවුන්ට සහය දුන් බව යෝජනා කළොත් ඔබේ මතය කුමක්දැයි ?” කොමිසමේ සාමාජික විනිසුරුවරයෙක් ප්‍රශ්න කළේය.

“ඒක මම සම්පුර්ණෙන්ම ප්‍රතික්ෂේප කරනවා. වගකීමෙන් කියන්නේ මම කිසිම ඊබ්‍රාහිම් සහෝදරයෙක්ට උදව් කරලා නැහැ” යැයි බදියුදින් මන්ත්‍රීවරයා පිළිතුරු දුන්නේය.

” මන්ත්‍රීතුමා ඔබතුමා කිව්වනේ එල්.ටී.ටී.ඊ සංවිධානය ඔබතුමන්ලාව උතුරෙන් පිටමං කළාට පස්සේ ඔබතුමා අවුරුදු 05 ක් අනාථ කඳවුරක හිටියා කියලා. එහෙම හිටපු ඔබතුමා දේශපාලනයට ඇවිල්ලා මෙච්චර ධනවතෙක් වුණේ කොහොමද ? යැයි කොමිසමේ විනිසුරුවරයෙක් යළි ප්‍රශ්න කළේය.

” අනාථ වුණා කියලා හිඟාකන්න ඕනේ නැහැනේ ස්වාමිනි. මට ව්‍යාපාර කරන්න පුළුවන්නේ” යැයි මන්ත්‍රීවරයා තරමක් උස් හඩින් පිළිතුරු දුන්නේය.

විනිසුරුවරයා යළි විමසුවේ, මන්ත්‍රීතුමා මම අහන්නේ ඔබ ඔය වගේ ධනය රැස්කර ගන්න, ඔබේ සහ පවුලේ අයගේ ව්‍යාපාර දියුණු කරගන්න ඔබේ අමාත්‍යධුරයන්වල වරප්‍රසාද සහ අමාත්‍යාංශය භාවිතා කළා නේද ? යන්නය.

“නැහැ මම කිසිම විදිහකින් එවැනි වරප්‍රසාද ව්‍යාපාරවල දියුණුවට භාවිත කරලා නැහැ. මම 2001 ඉදලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරද්දි හැම අවුරුද්දකම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරලා තියෙනවා.” යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

එහිදී අභියාචනාධිකරණය විනිසුරුවරයා යළිත් විමසුවේ, “ඔබතුමා වංචා කළා කියලා අප කියන්නේ නැහැ. නමුත් මම අහන්නේ අනාථ කඳවුරක ඉදලා ආපු ඔබතුමා කොහොමද මෙච්චර ධනයක් උපයා ගත්තේ කියලා.” යනුවෙනි.

එහිදි යම් ආවේගයකින් පිළිතුරු දුන් රිෂාඩ් බදියුදින් මන්ත්‍රීවරයා මෙලෙස පැවසීය.

” වත්කම් ගැනයි , පාස්කු ඉරිදා ප්‍රහාරයයි අතර කිසිම සම්බන්ධයක් නැහැනේ ස්වාමිනි. මගේ චරිතය ඝාතනය කරන්නම් ඔබතුමා ඔය අහන ඒවා හොදයි. ඒක නිසා මම කියන්නේ පාස්කු ප්‍රහාරය ගැන සොයන්න.” යැයි බදියුදින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Related posts

ජනාධිපතිවරණ අපේක්ෂකයා පොහොට්ටුවෙන්මයි. වෙන පක්ෂවලට අඩව් අල්ලන්න බෑ

colombotoday

ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් කොවිඩ් රාජකාරි අත්හරිති

colombotoday

දැඩි සත්කාර ඇඳන් පිරිලා | රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් කල් දමයි

colombotoday

දෙයියන්ගෙම පිහිටයි: කඩා වැටුණු පාලම හැදූ ඉන්දීය සමාගම ලංකාවෙත් මහල් නිවාස හදයි!

colombotoday

අණ නොතකා පලායමින් සිටි වැලි ජාවාරම්කරුවන්ට හමුදාවෙන් වෙඩි

colombotoday

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අධීක්ෂණය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයට

colombotoday