Colombo Today Local News

“ඒකාබද්ධ විරෝධය අන්තිම අසාර්ථකයි: මේ පුස්වෙඩිල්ල නිසා රාජපක්ෂ කල්ලිය විහිළුවක් වුණා ” – සාගල රත්නායක

ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ නගරයේ පැවැත්වූ විරෝධතා ව්‍යාපාරය පුස්වෙඩිල්ලක් වූ බවත් එය රාජපක්ෂ කල්ලියේ දේශපාලන මිනී වළ සියතින්ම කපාගැනීමක් වූ  බවත් ව්‍යාපෘති කලමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කරයි.

විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කළේ මෙම ව්‍යාජ ‘ජන බල’ සංදර්ශනය සඳහා සැලසුම් සකස් කෙරුණේ දූෂණ වංචා පිළිබඳ නඩු විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවීමට අදාළ නීති පාර්ලිමේන්තුවේ සම්මත වූ දිනයේ ම බවයි.

ඔවුන්ගේ එකම අරමුණ වූයේ පැකට්, මුදල් හෝ මත්පැන් හැකිතාක් ලබා දී, ලංකාවේ සතර දිග් භාගයෙන්ම සිය ආධාරකරුවන් කොළඹට ගෙන්වා, තමන්ට ජනබලයක් ඇතැයි පෙන්වා කෙසේ හෝ තමන්ට එරෙහි දූෂණ වංචා නඩුවල තීන්දු ප්‍රමාද කර ගැනීම බව ද රත්නායක මහතා සඳහන් කළේ ය.

කෙසේ වුණත් රැළිය ආරම්භ වීමටත් පපෙර සුරා මතින් පාරේ වැටී සිටී පොහොට්ටු ආධාරකරුවන්ට පිහිටට ආවේ ද ඔවුන් මෙයට පෙර විරෝධය පෑ සුවසැරිය ගිලන් රථ සේවය බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඔහු නිකුත් කොට ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේ ය.

“ඒකාබද්ධ විපක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකත්වයෙන් ඊයේ කොළඹ නගරයේ පවත්වන්නට යෙදුණු විරෝධතා ව්‍යාපාරයට මුළුමනින්ම අසාර්ථක වී පුස්වෙඩිල්ලක් බවට පත් වූයේය.

මුලින් ඔවුන් මුළු කොළඹ නගරයම වැටලීමට කල්පනා කළ අතර පසුව ඒ අදහස අතහැර රැය පහන් වන තුරු විරෝධතාව පැවැත්වීමට තීරණය කළ බව අපට මාධයයෙන් අසන්නට ලැබිණි. නමුත් අවසානයේ සිදු වූයේ රැය පහම් කිරීම කෙසේ වෙතත් මැදියම් රැය උදා වෙන්නටත් හෝරා දෙක තුනකට කලින් රැළිය අවසන් කිරීමය. මේ තීරණාත්මක පසුබෑම රාජපක්ෂ කල්ලිය පසුගිය කාලයේ හිමි කර ගත් දරුණුම පරාජයක් වූ අතර අවසානයේ සිදු වූයේ ඔවුන් සිය පක්ෂිකයන් අතරම අපහාසයට සහ උපහාසයට පත් වීමයි.

මෙම දේශපාලන අහිකුණ්ඨකභාවය රාජපක්ෂ කල්ලියට අලුත් දෙයක් නොවේ. ඔවුන් හරිහමන් පක්ෂයක් හෝ අරමුණක් නැතිව මේ අහිකුණ්ඨක චාරිකාව මුලින්ම ආරම්භ කළේ නුගේගොඩිනි. ඔවුහු නුගේගොඩින් කිරුළපනටත්, කිරුළපනින් මහනුවරටත්, මහනුවරින් ගාලු මුවදොර පිටියටත් පැමිණියහ. ඒ හැම අවස්ථාවකම ඔවුන් කිව්වේ තමන් වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමේ පළමු වෙඩිමුරය තබන බවය. එවැනි පළමු වෙඩිමුර හත අටක් මේ වන විටත් තබා ඇත. එහෙත් ආණ්ඩුව ද, ජනාධිපතිතුමා ද, අගමැති තුමා ද තවමත් එසේ ම ය. සැමදාම ‘පළමු වෙඩිමුර’ පමණක් තබන සොර කල්ලිය තවමත් විපක්ෂයේ ය. එම නිසා මේ වෙඩි මුර හුදෙක් පුස් වෙඩි තේරුම් ගන්නට කිසිවෙකුටත් අපහසුවක් නැත.

එහෙත් මේ මොහොතේ ඔවුන් කොළඹ කේන්ද්‍ර කරගෙන විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමේ අරමුණ කුමක්දැයි විමසා බැලීම වැදගත්ය. අප රජය බලයට පැමිණ ගත වුණු මුල් වසර තුනකට අධික කාලය තුළ සිදු කළ දූෂණ සහ වංචා පිළිබඳ පරීක්ෂණ ඉදිරියට ඇදුණේ සෙමිනි. ඒ සඳහා බොහෝ සෙයින් බලපෑවේ තාක්ෂණික ගැටලු සහ ප්‍රායෝගික දුෂ්කරතා ය. එසේ වුවත් කාලයත් සමග ඒ සියල්ල නිරාකරණය කරගෙන වරදකරුවන්ට දඬුවම් දීමට හැකි බව අපි එදා පුන පුනා ප්‍රකාශ කළෙමු. දැන් ඒ සඳහා කාලය එළැඹ තිබේ. දූෂණ, වංචා සඳහා පමණක්ම වෙන්වුණු විශේෂ මහාධිකරණයත් මේ වන විට ක්‍රියාත්මක අතර ඉතා ඉක්මනින් මේ සියලු නඩු අවසන් කිරීමට කටයුතු සුදානම් කොට තිබේ.

මේ යථාර්ථය අන් සියල්ලන්ටම වඩා හොඳින් දන්නේ රාජපක්ෂ කල්ලියයි. තමන් නීතියත් සමග කළ ඒ හැංගිමුත්තන් සෙල්ලම තවත් වැඩි කාලයක් කරගෙන යා නොහැකි බව ඔවුන්ගේ හෘද සාක්ෂිය අවබෝධ කරගෙන ඇත. ‘ජනබලය කොළඹට’ විරෝධතාව සඳහා කටයුතු සූදානම් වූයේ විශේෂ මහාධිකරණය පිහිටුවීම සම්බන්ධ නීති පාර්ලිමේන්තුවේ සම්මත වනවාත් සමග ය.

ඔවුන්ගේ එකම අරමුණ බත් පැකට්, මුදල් හෝ මත්පැන් හැකිතාක් ලබා දී, ලංකාවේ සතර දිග් භාගයෙන්ම සිය ආධාරකරුවන් කොළඹට ගෙන්වා, තමන්ට ජනබලයක් ඇතැයි පෙන්වා කෙසේ හෝ තමන්ට එරෙහි දූෂණ වංචා නඩුවල තීන්දු ප්‍රමාද කර ගැනීමය. එසේත් නොමැති නම් අඩුම තරමේ තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ මෙම ‘ජනබලය’ නිසා බවට ව්‍යාජ චිත්‍රයක් සමාජය හමුවේ මවා පෙන් වීමට ය.

නමුත් ඔවුන් නොදන්නා කාරණය වන්නේ ඒ සඳහා දැන් ප්‍රමාද වැඩි බව පමණකි. රටේ සාමාන්‍ය ජනතාව ඔවුන්ගේ මෙම තක්කඩිකම් ඉතා හොඳින් හඳුනාගෙන ඇති අතර එම ව්‍යාජ සංදර්ශනවල යථාර්ථය ද ඉතා හොඳින් අවබෝධ කර ගෙන ඇත. එම නිසා මෙබඳු ව්‍යාජ මෙහෙයුම් සහ සංදර්ශන වලින් රැවටෙන්නේ අන් කිසිවකුත් නොව රාජපක්ෂ කල්ලිය ම පමණි.

නිසි ගමනාන්තයක් හෝ අරමුණක් නැතිව කොළඹට පැමිණි ඔවුන්ගෙම් සමහරුන් බීමත්ව මහමග වැටී සිටියදී රෝහල්ගත කෙරිණි. අවසානයේ ඔවුන් රෝහල් ගත කෙරුණේ ද කාලයක් ඔවුන්ගේ විරෝධතාවට ලක් වූ ‘සුවසැරිය’ ගිලන්‍ රථ වලිනි. තවත් සමහරුන් බීමට දුන් කිරි පැකට් විෂ වී අසනීප වූ බවටත් දැනගන්නට ලැබිණි. නිසි කෑමක් බීමක් හෝ වැසිකිළි යාමට තැනක් හෝ නැතිව අවසානයේ අවසානයේ ඔවුන් සිය සංවිධායකයන්ටම දෙස් දෙවොල් තබන ආකාරය ප්‍රවෘත්ති ඔස්සේ ඉතාම පැහැදිලිව දකින්නට ලැබිණි. මේ සියල්ල සිදු වන අතරේ විරෝධතාවට පැමිණි ඒකාබද්ධව විපක්ෂයේ ඇතැම් නායකයන් කොළඹ තරු පහේ හෝටල් වල ඉතාම සුවපහසු කාමර වෙන් කරවාගෙන, ඉතා ප්‍රණීත කෑම බීම භුක්ති විඳිමින් හොඳහැටි විනෝද වූ බව ද ආරංචි විය.

එමෙන්ම මහාමාර්ගය අවහිර කරගෙන ඊයේ පැවති විරෝධතාව නිසා දීර්ඝ රාජකාරි  දිනයකින් පසු නිවෙස් බලා යන දස දහස් ගණනක ජනතාව විශාල දුෂ්කරතාවන්ට මුහුණ දුන්හ.  දශකයකට ආසන්න කලයක් රාජපක්ෂ කල්ලියේ සූරාකෑමෙන් පීඩිත වූ එම ජනතාවට අඩුම තරමේ වැඩ නිමකොට සිය අඹුදරුවන් කරා යාමේ අයිතිය පවා අහිමිව්ම රාජපක්ෂ කල්ලියට සහ විරෝධතා සංවිධායකයන්ට ශාප කළ බව නොරහසකි.  එයිම් පෙන්නුම් කෙරෙන්නේ මහජනතාවගේ ජීව්ත සමග සිදු කරන මෙම අප්‍රියජනක සූදුව මේ වන විට ජනතාව හමුවේ අනාවරණය වීම නිසා රාජපක්ෂ කල්ලියේ වෙස්මුහුණු ගැලවෙමින් යන බවයි.

අවසාන වශයෙන් මා හට පැවසීමට ඇත්තේ පළමු වෙඩිමූරය කෙසේ වෙතත් ඊයේ දවසේ පත්තු කරන ලද පුස්වෙඩිල්ල නිසා රාජපක්ෂ කල්ලියේ දේශපාලනය විහිළුවක් බවට පත් වූ බවයි. එමෙන්ම තම ආධාරකරුවන්ගේ සුබසිද්ධිය මෙන්ම මූලික අවශ්‍යතා ගැන පවා පවානොසිතන මෙවැනි කල්ලියක් රටේ බලය ලබා ගන්නේ කෙසේ ද යන ප්‍රශ්නය ද බොහෝ අය තුළ ඉතිරි විය. මේ සියලු සංදර්ශන අවසානයේ ඔවුන් හට පැවසීමට ඇත්තේ දැන් හොරුන්ගේ ‘ඉන්ටවල් එක’ අවසන් බවත්, විශේෂ අධිකරණයට මුහුණ දී තමන් සිදු කොට ඇති මූල්‍ය අපරධ වලට වන්දි ගෙවීමට සූදානම් වන ලෙසත්‍ ය.

 

Related posts

ප්‍රේමලාල් අත්අඩංගුවට නොගන්නැයි බලපෑම් කල හිටපු පොලිස් ලොක්කෙකුට වසර 5ක සිර දඬුවමක්

Admin

මන්ත්‍රීවරයෙකුගේ කෑම වේලක මිල රු. 296යි – කථානායක දැනුම් දෙයි

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන කොමිෂන් වලින් ඇත්ත හංගලා… පරීක්ෂණ ගැන සෑහීමකට පත්විය නොහැකියි !

colombotoday

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි

Admin

ප්‍රජාතන්ත්‍රවාදය උලාකන ආණ්ඩුව සහ මාධ්‍ය මර්ධන පනත

Admin

ලංකාවට ආ මුස්ලිම් සරණාගතයන් අපේ රටේ අය නෙවෙයි.. මියන්මාරය කියයි

colombotoday