Colombo Today Local News

ගෝඨාභය ජනපති කළේ ජේ.ආර් හෝ රනිල් අවසන් කළ තැනින් පටන් ගැනීමට නොවේ – වසන්ත බණ්ඩාරගේ ලිපියට සරත් වීරසේකරගෙන් පිළිතුරු

ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර විසින් මුහුණු පොත හරහා මාහට එවන ලද ලිපියට මෙසේ පිළිතුරු ලියමි. ඔබතුමා මා හට විවෘත ලිපියක් මඟින් ආමන්ත්‍රණය කරමින් මා විසින් අන්තර්ජාලය හරහා කරනු ලැබූ විවෘත/ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිවැරදි කිරීම සඳහා බව පවසයි.

ඔබතුමා පැවසූ පරිදි මා හට යලිත් අම්පාරෙන් නොව කොළඹින් තරඟ කොට මන්ත්‍රී ධූරයක් ලබා ගැනීම සඳහා ජාතික සංවිධාන එකමුතුව විසින් ලබාදුන් සහය අතිශයින් අගය කරමි. එසේම ජාතික සංවිධාන එකමුතුවෙහි කැඳවුම්කරු වශයෙන් මා, ඔබ සමග වසර ගණනාවක් ජාතික මෙහෙයෙහි යෙදුණු හැටිද මේ අවස්ථාවෙහි මතක් කර දෙනු කැමැත්තෙමි.

මා අන්තර්ජාලය හරහා ප්‍රකාශ කළේ දහනව වන සංශෝධනයට එරෙහි වූ එකම මන්ත්‍රීවරයා ලෙස විසිවන සංශෝධනයෙන් 19 අහෝසි වනවා නම් ඊට පළමුව අත ඔසවන්නේ මාය කියාය. ඔබට අනුව එය නිවැරදි නොවිය හැකි මුත් මගේ හෘද සාක්ෂියට අනුව එය ඉතාමත් නිවැරදි ය.

ඔබට අනුව විසිවන සංශෝධනය ට, දහනව වන සංශෝධනයෙහි තිබූ හොඳ දේවල් ඉතුරු කොට නරක දේවල් පමණක් ඉවත්කළ යුතු වේ. දහනමයෙහි හොඳ දේවල් තිබේ නම්, එදා 19ට විරුද්ධ වූ මා වීරයකු ලෙසත් ඊට පක්ෂව ඡන්දය දුන් සැවොම රට පාවා දුන් අය ලෙසත් හංවඩු ගැසුවේ ඇයි ද යන ප්‍රශ්නය මතුවේ. එය නිර්මාණය කළ ජයම්පති වික්‍රමරත්න ට දෝෂාරෝපණය කළේ ඇයි?

ඔබගේ තර්කය ,පැණි ස්වල්පයක් ආලේපනය කළ පුඩිමක් සම්පූර්ණයෙන් විසි කරනු වෙනුවට පැණි ටික පමණක් තෝරා බේරා පුඩිම පමණක් විසි කිරීම ය. නමුත් මාගේ ස්ථාවරය වූයේ සමස්ත දහනමය හෙවත් එම පැණි තැවරූ කුණුවූ පුඩිම මුළුමනින්ම විසිකොට ඉදිරියේදී දැනටමත් පත්කර ඇති ව්‍යවස්ථා මණ්ඩලය මගින් රටට හිතකර නව ව්‍යවස්ථාවක් ගෙන ඒමය.

ඔබ පවසන පරිදි විසිවන සංශෝධනයෙහි කරැනු තුනක් හැර (එනම් පාර්ලිමේන්තු කාලය වසර 5 දක්වා, ජනාධිපතිට දෙවරකට වඩා නොහැකි සහ තොරතුරු දැනගැනීමේ පනත) 19 ට පෙර ව්‍යවස්ථාවේ නොතිබූ කිසිම දෙයක් ඇතුළත් කොට නොමැත. වර්තමාන ජනපතිට එසේ නම් ලැබෙන්නේ දහනමය ට පෙර තිබූ ව්‍යවස්ථාමය තත්ත්වයමය. 2015 ට පෙර විධායක ජනාධිපතිවරුන් ට තිබු බලයට වඩා අංශු මාත්‍රයකවත් වැඩි බලයක් ජනාධිපතිට ලැබෙන්නේ නැත. ජනතා සැකයක් මතු වූයේ 19 වැනි සංශෝධනයෙන් ඇතුල් කළ සංශෝධන, වගන්තියෙන් වගන්තිය ඉවත් කළ යුතු වූ නිසා සහ එවිට ඒ පිළිබඳව වැරදි අවබෝධයක් ජනතාව තුල ඇති වූ නිසාය. ජනතා විරෝධයක් මතු වූයේ එම වැරැද්ද නිවැරදි කරනු වෙනුවට ජාතික සංවිධාන වල ඇතැමුන් සහ රජයේ ඇතැම් මන්ත්‍රීවරුන් එයට උඩගෙඩි දුන් නිසාය.

ඔබ ප්‍රධාන වශයෙන් විරෝධය දක්වන කරුණු තුනෙන් පළමුවැන්න රාජ්‍ය සමාගම් විගණනය යි.රාජ්‍ය සමාගම් විගණනය විසිවන සංශෝධනය මගින් කිසිසේත්ම වලකා නොමැත. 19 ට පෙර 1978 සිට 2015 දක්වා සමාගම් විගනණය වූයේ නැද්ද? විගණනය වූ බව ඔබ පිළිගන්නවා නම් විස්සෙන් 19 ට පෙර තිබූ ව්‍යවස්ථාමය තත්ත්වයම උදා වේ නම්, විස්සෙන් සමාගම් විගණනය තහනම් කොට ඇතැයි පවසන පදනම කුමක්ද?

විස්සෙන් සමාගම් යන වචනය ඉවත් කලේ 19 ට පෙර එය නොතිබුණු නිසා සහ එය අනවශ්‍ය නිසාය. මන්ද, 50% කට වඩා වැඩි කොටස් ඇති ඕනෑම පාලිත සමාගමක් එහි රජයේ මව් ආයතනය සමඟ ඒකාබද්ධ ගිණුමක් සෑදිය යුතු අතර එම ඒකාබද්ධ ගිණුම විගනකාදි වරයා විසින් විගණන ගිණුම් ප්‍රමිතීන්ට අනුව අනිවාර්යෙන්ම විගණනය කළ යුතු වේ.

එසේම 2018 අංක 19 දරණ ජාතික විගණන පනත මගින් සියලුම ජනපති, අගමැති කාර්යාල, සහ සමාගම් , විගණකාධිපතිවරයාට විගණනය කිරීම සඳහා බලය පවරා ඇත.

මේ බැව් සනාථ කරන්නේ වෙන කවුරුත් නොව රජයේ ප්‍රධාන විගනකාධිපති වරයාය. එසේනම් ඔබ විසින් සමාගම් විගණනය කිරීම ඉවත් කර ඇතැයි යන ප්‍රකාශය සහ සමාජය තුළ ඇතිකල මතය ඉතා සාවද්‍ය වේ. ඔබගේ මතය නිවැරදි නම් විගනකාධිපති වරයා කියා ඇත්තේ බොරු ය. ඒ නිසා බරපතළ ජාතික අවශ්‍යතාවයක් මා විසින් අත්හැර දමා ඇතැයි ඔබට පහළ වී ඇති වේදනාව කරුණාකර පහ කරගන්න.

ඔබ වෛද්‍යවරයෙකු ලෙස ජාතියට යම් මෙහෙයක් කළා ද, මා ද වසර තිස් නවයක් දිවි පරදුවට තබමින්, පවුල් නිදහස අත්හරිමින් ,ජාතිය වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළ අයෙක්මි. ඉන්පසුව ද රට වෙනුවෙන් දේශීයව සහ විදේශීයව පෙනී සිටිමින් කළ මෙහෙය ඔබ හොඳාකාරව දනී. මට වේදනාවක් ඇති වන්නේ මා ගැන එසේ හොඳින් අවබෝධ කර තිබියදීත් මා ළඟින් ඇසුරු කර මිතුරෙක් ලෙස මාහා දුරකථනයෙන් හෝ කතා නොකොට මුහුණුපොත හරහා ජනතාව ඉදිරියේ මට එවන් චෝදනාවක් කිරීම නිසාය.

ඔබ කරුණු තුනක් ගැන සඳහන් කර තිබුණත් ඔබ පවසා ඇත්තේ සමාගම් විගණනය පිළිබඳව පමණි.
විසිවන සංශෝධනය යෙහි සමාගම් යන වචනය ඇතුලත් වුවත් නැතත් සියයට පනහකට වඩා රජයට කොටස් හිමි සමාගම් අනිවාර්යයෙන්ම, විවිධ පනත්, ප්‍රමිතීන් සහ නීති අනුව විගණකාධිපතිවරයාට විගනණය කිරීමට බලය තිබේ. අපේ ව්‍යවස්ථාවේ 153 (2) (ඇ )අනුව පනත ප්‍රකාරවද විගණන කටයුතු කිරීමට විගණකාධිපතිවරයාට බලය ලබාදී තිබේ.

දහනවවන සංශෝධනය ට පූර්ණ සහාය ලබාදුන් සජිත් ප්‍රේමදාස පරාජය කොට හැටනම ලක්ෂයක් ජනතාව ගෝඨාභයට ඡන්දය දුන්නේ 19 අහෝසි කොට රට නැවත ගොඩ ගැනීමට ය.

මහ මැතිවරණයේදී දහනමයේ නිර්මාතෘ වරයෙකු රනිල් වික්‍රමසිංහ ඉතිහාසයේ කිසිදා මූණ නොපෑ පරාජයකට පත්ව අසුනක් වත් හිමි නොවූයේ ජනතාවට දහනමය එපා වූ නිසාය.

වසර හතළිස් හතරක් කොළඹින් පිට සිට කොළඹට විත් මාස හයෙන් ඡන්ද තුන් ලක්ෂ විසි අට දාහක් ලබමින් කොළඹින් ප්‍රථමයා සහ මුළු රටෙන්ම දෙවෙනියා බවට මා පත් වූයේ මා දහනමය ට මුළුමනින්ම විරුද්ධ වූ නිසා මිස එහි නරක දේවල් වලට පමණක් විරුද්ධ වූ නිසා නොවේ. එසේනම් දහනමය සම්පූර්ණයෙන් අහෝසි කොට රට 19 ට පෙර තත්වයට ගෙන ඒමට අවශ්‍ය වන්නේ ජනතාවටයි. එය ඔබගේ අවශ්‍යතාවය නොවිය හැක.

දහනමය ට පෙර 1978 සිට 2015 දක්වා ජනපතිවරුන්ට තිබූ විධායක බලය ගෝඨාභයට දිය යුතුය. රට අරාජික කල 19 අහෝසි කොට 19 ට පෙර තිබූ ව්‍යවස්ථාමය තත්ත්වයට යළිත් රට ගෙනැවිත් ඒ රට සංවර්ධනය කිරීමේ වගකීම ජනපතිට සහ රජයට භාර දිය යුතුය. මා පාර්ලිමේන්තුවේ සිටින තාක්කල් රට පාවාදෙන ගිවිසුම් නීති වලට සහාය නොදෙන බව ඔබ හොඳින් දන්නා කරුණකි. ජාතික සංවිධාන වශයෙන් ඔබ සැම ජනපතිට තම පූර්ණ ආශිර්වාදය සහ සහාය දිය යුතු වේ. රජය වැරදි මගක යන්නේ නම් එයට විරුද්ධ වීමට ඔබ සමග මාත් එකතු වෙනවා ඇත.

— රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර —


සරත් වීරසේකර මහතාට වසන්ත බණ්ඩාර මහතා එවන ලද ලිපිය

ගරු පාර් ලිමේන්තු මන්ත්‍රී අද්මිරල් ආචා ර්ය සරත් වීරසේකර මැතිතුමා වෙතයි,

20 වැනි සංශෝධනය මඟින් 19 ඉවත් කොට 78 ව්‍යවස්ථාවෙන් පටන්ගත යුතුය යන ප්‍රකාශය පිළිබඳව

පසුගිය දිනවල ඔබතුමා විසින් අන්තර් ජාලය හරහා විදේශ ගත ශ්‍රී ලාංකිකයින් සහෘදයින් අමතා 20 වැනි සංශෝධනය පිළිබඳ ඉදිරිපත් කළ පැහැදිළි කිරීම් වලදී අවධාරණය කරන ලද එක් කරුණක් පිළිබඳව අපගේ මතය ප්‍රකාශ කිරීම මෙම ලිපියේ මූලික අරමුණයි. පළමුවෙන්ම ඔබ තුමා පාර් ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නැවත පත් කිරීම සඳහා සහ ඊට අදාළ මහජන මතය සකස් කිරීම සඳහා අප සංවිධානයට යම් භූමිකාවක් ඉටු කිරීම සඳහා හැකියාවක් සහ අවස්ථාවක් ලැබීම පිළිබඳව අප සතුටුවන අතර ඔබතුමාගේ අතීත භූමිකාව නැවත මැනවින් ඉටු කිරීම සඳහා අවංකව සුභ පතන අතර කුමන බලපෑමක් යටතේ වුවත් අතීත භූමිකාවට නැවත පනදීම සඳහා ධෛර්ය ප්‍රාර්ථනා කරමු.

  • ඔබතුමාගේ මතය අනුව කූප්‍රකට 19 වැනි සංශෝධනයට එරෙහිව අත එසවූ එකම මන්ත්‍රීවරයා ඔබ වන බැවින් එය ඉවත් කිරීම සඳහා පළමුව අත එසවිය යුත්තේ ඔබය. ඔබගේ ප්‍රකාශය තාක්ෂණිකව මෙන්ම දේශපාලනිකවද නිවැරදි නොවේ. අප රටේ ව්‍යවස්ථාව 19 වතාවක් සහ ඉන්දියාවේ ව්‍යවස්ථාව 94 වතාවක් සංශෝධනය කොට ඇත. ඒවා බොහොමයක් යහපත් අරමුණු වලට වඩා කූඨ දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ඉදිරිපත් කළ ඒවා බවට විවාදයක් නැත. එසේම 19 වැනි සංශෝධනය 13 වැනි සංශෝධනයට වඩා අතිශයින්ම භයානක බව ඔබ ඉතා පැහැදිළිව පිළිගන්නා කරුණකි.

නමුත් ව්‍යවස්ථාවක් සංශෝධනය කළ පසුව අදළ අරමුණ කූඨ හෝ යහපත් වුවත් පවතින ව්‍යවස්ථාවේ වගන්ති කුමන සංශෝධනය මඟින් පැනවූවක්ද යන්න සඳහන් නොවේ. ඒවා සියල්ලේ එකතුව වර් තමාන ව්‍යවස්ථාව ලෙස සැලකේ. ඒ නිසා තාක්ෂණිකව “ 19 වැනි සංශෝධනය ඉවත් කරනු ලැබේ ” යනුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කළ නොහැක. සංශෝධනයට ලක් කෙරෙන කරුණු එකින් එක ඉදිරිපත් කළ යුතුය. ඒ නිසා 19 සම්පූර් ණයෙන්ම ඉවත්කොට යම් වගන්ති නැවත පැනවීම යනු හාස්‍යජනක දේශපාලන තර් කයකි. ඔබට කළ හැක්කේ මහජනයා විසින් පිළිගන්නා නරක දේ ඉවත් කිරීම සහ  හොඳ දේ ඉතිරි කිරීම පමණි. ඔබට වඩා වෙනස් කූඨ දේශපාලකයෙකුට ව්‍යාජ ලෙස එහි අනෙක් පැත්ත නිවැරදි බවට තර් ක කළ හැක. කෙසේ වෙතත් 19 වැනි සංශෝධනය මඟින් සිදුකළ රාජ්‍යය දුර් වල කිරීම විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ බලය දුර් වල කිරීම නැවත යථාවත් කිරීම අත්‍යාවශ්‍ය බවට විවාදයක් නැත. ඒ සඳහා මහජනයාගේ අවංක සහ ප්‍රභල ආශිර් වාදයක් ලැබි ඇත. එම නිවැරදි දේ සමඟ වෙනත් වැරදි සංශෝධන ප්‍රමාණයක් 20 වැනි සංශෝධනයට ඇතුල් කිරීම නිසා ඊට එරෙහිව මහජන විරෝධයක් ගොඩ නැගී ඇති බව ඔබතුමා පිළිගන්නවා ඇත.

  • එසේ මහජනයා විසින් වැරදි සංශෝධන ලෙස හඳුනා ගන්නා සංශෝධන 12 ක් ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරණාගම මහතා විසින් පෙන්වා දී ඇත. එහෙත් අප ප්‍රධාන වශයෙන් විරෝධය දක්වන්නේ කරුණු 03 කටය. ඉන් පළමු වැන්න රාජ්‍ය සමාගම් විගණනයට අදාළ වන අතර ඔබතුමා විසින් ඒ පිළිබඳව ලබාදුන් පැහැදිළි කිරීම අපට කිසිසේත්ම පිළිගත නොහැක. රාජ්‍ය සමාගම් හෙවත් 50% කට වැඩි කොටස් රජයට අයත් සමාගම් හෙවත් සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ සමාගම් විගණකාධිපතිවරයා විසින් අනිවාර්යෙන්ම විගණනය කළ යුතුය යන ප්‍රතිපාදන ඉතා වැදගත් වන්නේ ඊට රජයට අයත් මහා පරිමාන ප්‍රභල සමාගම් රාශියක් අයත්වන බැවිනි. පළමුවෙන්ම එවැනි සමාගම්වල ප්‍රධානීන් විසින් මහජන මුදල් අවභාවිතය වැළැක්වීම වැදගත් වේ. දෙවනුව යම් සමාගම්වල වංචා දූෂණ වලට එරෙහිව ආරම්භකොට ඇති පරීක්ෂණ ව්‍යවස්ථා සංශෝධනය මඟින් අත්හිටුවීම වරදකි. තුන්වනුව එම ප්‍රතිපාදනය ඉවත්කළ හොත් ඒ මඟින් එම්.සී.සී ගිවිසුම පනතක් ලෙස සම්මත කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාමය ඉඩ කඩ විවෘත වේ. එසේ රාජ්‍ය සමාගම් රජයේ විගණකාධිපතිවරයා විසින් විගණනය කිරීම අනිවාර් ය කොට ඇත්තේ 154(1) සහ 154(2) වගන්ති මඟිනි.
  • එම වගන්ති දෙක සංශෝධනය කොට “ සමාගම් ” වචනය ඉවත් කිරීමට යම් පිරිසක් මරාගෙන මැරෙන්නේ ඉහත සඳහන් කළ හේතු ත්‍රිත්වයෙන් එකක් හෝ සියල්ල නිසා බවට අපට නම් සැකයක් නැත. එහෙත් ඔබ කියන ආකාරයට 19 වැනි සංශෝධනය ඉවත් කළ විට ඉතිරිවන 78 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අතර “ සමාගම් ” වචනය නැත. ඒ නිසා ඒවා විගණනය නොකිරීම නිවැරදි වේ. එසේ නැතහොත් එය ඔබට ප්‍රශ්ණයක් නොවේ. 78 ව්‍යවස්ථාවේ තිබෙන නිසා එවැනි බරපතල ජාතික අවශ්‍යතාවයක් අත්හැර දැමිය යුතු බවට ඔබ විසින් පවසනු ඇතැයි විශ්වාස කිරීම අපට වේදනා සහගත බවද කිව යුතුය. මේ වන විට (154 (2) සහ ( 1 ) වගන්ති නැවත ප්‍රතිශ්ඨාපනය කිරීම වෙනුවට විගණන පනත ලබාත්මක කරන බවට ව්‍යාජ ප්‍රකාශ යම් පාර්ශව විසින් සිදු කරමින් සිටින බව ඔබතුමා පිළිගන්නවා ඇත.
  • ජේ.ආර් ජයවර් ධන ජනාධිපතිවරයාට සාධාරණය ඉටු කිරීමට වඩා ඔබගේ වැරදි ස්ථාවරය නිවැරදි කිරීම සඳහා පහත කරුණු අවධාරණය කරමු.
  1. එදා 1978 දී රාජ්‍ය සංස්ථා පුද්ගලීකරණය කිරීම හෝ ඒවා සමාගම් බවට පරිවර් ථනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වී තිබුනේ නැත. ඒ නිසා 154(1) සහ (2) වගන්තිවල රාජ්‍ය සමාගම් යන වචනය වෙනුවට රාජ්‍ය ව්‍යාපාර යන වචනය සඳහන් වී ඇත.
  1. 19 වැනි සංශෝධනයේ මුල් පිටපත ඉදිරිපත් කරන්නේ රටට හතුරු බලවේග විසින් මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දැමීම සඳහා දියත් කළ මෙහෙයුමේ ප්‍රධාන අංගයක් ලෙසය. එනම් මහින්ද රාජපක්ෂ පාලනයේ ඊනියා දූෂණ, වංචා සහ අත්තනෝමතික ක්‍රියා අවසන් කිරීම සඳහාය. එදා එයාර් ලංකා, මිහින් ලංකා වැනි සමාගම් වල සිදුවූවා යැයි කියන වංචා මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව ඉතා ප්‍රභල ලෙස මතුකරනු ලැබීය. එනිසා 19 වැනි සංශෝධනය මඟින් 154(1) සහ (2) යන වගන්ති දෙකට ශක්තිමත් කොට ඊට සමාගම් විගණනය සඳහා ප්‍රතිපාදන ඇතුල් කිරීම සඳහා මහින්ද විරෝධිත්ට බලවත් හේතුවක් තිබුණි.
  • එදා 19 යේ නිර් මාතෘවරුන් එම තීන්දු ගනු ලැබුවේ සද්භාවයෙන් නොවන බව සහ යම් යහපත් දේ ව්‍යවස්ථා සංශෝධනයට ඇතුල් කිරීම මඟින් ඔවුන්ගේ සැබෑ දුෂ්ඨ අරමුණු වලට ආවරණයක් ලබාගත් බව සත්‍යයකි. එහෙත් දැන් එම ප්‍රතිපාදන ඉවත් කළ හොත් එදා යහපාලන බොරුකාරයින් මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව අතිශෝක්තියෙන් එල්ල කළ චෝදනා තවදුරටත් තහවුරු වේ.

ඒ නිසා විවිධ බොළඳ සහ අදේශපාලනික තර්ක ඉදිරිපත් කරමින් 20 වැනි සංශෝධනය සම්පූර් ණයෙන්ම සාධාරණීකරණය කිරීම ඔබට තරම් නොවන ක්‍රියාවක් බව ඉතා ආදරයෙන් සහ කරුණාවෙන් පෙන්වාදීමට කැමැත්තෙමු.

ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන්

(අත්සන් කළේ – වෛද්‍ය කේ.එම්  වසන්ත බණ්ඩාර)

Related posts

ගබඩා දෙකක වී තොග ලක්ෂ 700ක් අස්ථානගත වීමට නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම්

Admin

දැවිතෙල් ටොන් 2000 ක් විදුලි නිෂ්පාදනයට

colombotoday

කොළඹ උඩින් යන රක්ත, හරිත, නීල සහ දම් දුම්රිය

colombotoday

ජාතික ජන බලවේගයේ අපේක්ෂක අසූර් ගුවන්විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවයෙන් අන්තවාදය කියා දෙයි.

colombotoday

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට හමුදා පුහුණුවක් – ඇමති සරත් වීරසේකරගෙන් යෝජනාවක්.

colombotoday

ලාහුගල වනඋද්‍යානයේ නිධන් හාරමින් සිටි 8 ක් කොටුවේ.

colombotoday