ArticlesColombo Today Local News

කඩා වැටුණු දකුණු සුඩානයට පණදුන් සිංහල මිනිහෙක්…

– සුඩානයේ ආයෝජනය කරන්න බය වී සිටි අයගේ බය නැති කළේ ඔහුයි…
– කාලයක් උප පොලිස් පරීක්‍ෂකවරයෙක්…
– දැන් දකුණු සුඩානයේ තෙල් ළිංවලට අවශ්‍ය කෙමිකල් ලබාදෙන්නේ ඔහු…
– පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්වරයෙක්…

රටක් වටින මිනිසෙක් අපට මුණගැසිණි. ඔහු කීර්ති හේරත්ය. දකුණු සුඩානයේ තෙල් කර්මාන්ත ශාලාවලට රසායනික බෙහෙත් සපයන ප‍්‍රධාන ව්‍යාපාරිකයන් අතර ඔහු ප්‍රමුඛයෙකි. නුවර පේරාදෙණිය ප‍්‍රදේශයේ පදිංචි ඔහු කාලයක් ශ‍්‍රී ලංකා පොලිසියේ උප පොලිස් පරීක්‍ෂකවරයෙක් ලෙස ද රාජකාරි කර ඇත. කොටි ත‍්‍රස්තවාදීන් නුවර දළදා මාලිගාවට පහරදුන් අවස්ථාවේදී එම අපරාධයේ සුලමුල සොයාගැනීමට අවශ්‍ය සාක්‍ෂි සොයාගැනීමට පොලිස් පරීක්‍ෂක හේරත් ද විශාල සේවයක් ඉටු කර තිබිණි. එහෙත් නීතිය නිසියාකාරව ඉටු කිරීමට යෑමේදී පොලිසිය තුළින්ම පැමිණි ගැටලූ හමුවේ පොලිස් සේවය පමණක් නොව පවතින සමාජ ක‍්‍රමය ගැනම කලකිරුණු කීර්ති හේරත් රට හැර යෑමට තීරණය කළේය.

කීර්ති හේරත් මහතා


විදේශ නිවාඩු පිට එංගලන්තය බලා පිටත් වූ ඔහු, එරට ම්ඞ්ල් සෙක්ස් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී අපරාධ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය හැදෑරුවේය. ඒ අනුව අපරාධ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් එංගලන්තයෙන් ලබා ගත් ප‍්‍රථම පොලිස් නිලධාරියා වීමේ භාග්‍යය ද ඔහුට හිමි විය. සුදුසුකම්වලට නිසි තැන නොලැබුණද, තම රාජකාරිය දේවකාරියක් ලෙස සලකමින් සේවය කරගෙන යන විට පැමිණි ගැටලූ හමුවේ සිත්තැවුලට පත් කීර්ති හේරත් මෙරටින් සමුගැනීමට තීරණය කොට වැඩිමහල් සහෝදරයා රාජකාරි කරගෙන ගිය දකුණු සුඩානය බලා පිටත්ව ගියේය.

එරටදී තම සහෝදරයා සමඟ එකතුව දකුණු සුඩානයේ රාජ්‍ය ආයතනවලට සහ රාජ්‍ය නොවන සංවිධානවලට සේවා සපයන ආයතනයක් ආරම්භ කළේය. සුඩානයේ රාජකාරි කටයුතුවල යෙදෙන විදේශිකයන්ට නවාතැන් පහසුකම් ලබාදීමට ඇවැසි කාමර සහිත මහල් ගොඩනැඟිලි නිර්මාණය කිරීම ආරම්භ කළේය. කාලයත් සමඟ දකුණු සුඩානයේ රාජ්‍ය බලධාරීන් සහ නිලධාරීන් සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන ගිය කීර්ති හේරත් නොබිඳෙන කීර්ති නාමයක් ගොඩනඟාගැනීමට සමත් විය. එමෙන්ම දකුණු සුඩානය සංවර්ධනය කිරීමට එරට පුරවැසියකු ගානට ඔහු කැප වී සිටින්නේය. ඔහුගේ සේවය අගයමින් එරට තුළ ඕනෑම ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීමට අවශ්‍ය සියලූ පහසුකම් සුඩාන රජය විසින් ලබා දෙන්නේය. එමෙන්ම එරට තුළ තෙල් කැණීම් ආරම්භ කිරීමත් සමඟ එම සමාගම්වලට සේවා කටයුතු සම්පාදනය කිරීමේ භාරධූර වගකීමට ද ඔහු දායක විය. මේ වන විට දකුණු සුඩාන රජයේ විශ්වාසවන්තම විදේශීය ආයෝජකයන් අතර ඔහු ඉදිරියෙන්ම සිටින බව කීර්ති හේරත් මහතාගේ විශ්වාසයයි.

නොපසුබට වීර්යය හමුවේ ජාත්‍යන්තර කීර්තියට පත්වී සිටින කීර්ති හේරත් දැන් අප ඉදිරියේ සිටී. ළෙන්ගතු කතාවෙන් සහ සිනාවෙන් හදවත් දිනාගැනීමට සමත් ඔහු තම ධෛර්යවන්ත ජීවිත කතාව අපට කීවේය. චරිතාපදානයක් ලිවීමට තරම් තොරතුරු සහිත ඒ දීර්ඝ ජීවිත අන්දරයේ සංක්‍ෂිප්තයක් දැන් අපි ඒ නිරහංකාර මිනිසාගේ මුවින්ම ඔබට කියන්නේමු. මෙතැන් සිට පෙළගැසෙන්නේ කීර්ති හේරත් කියන ඔහු පිළිබඳ කතාවය.



‘‘මගේ අප්පච්චි හිටපු විදුහල්පතිවරයෙක්. විශ‍්‍රාම ගියේ අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයෙක් විදිහට. අම්මා ගුරුවරියක්. මට සහෝදරයො දෙදෙනයි, සහෝදරියක් ඉන්නවා. මම මූලික අධ්‍යාපනය ලැබුවේ උඩුනුවර මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන්. පසුව මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් පෙළ ප‍්‍රතිඵල ලැබුණු දිනවලම පොලිසියට බඳවාගැනීමට තරග විභාගයක් හඳුන්වා දීලා තිබුණා. පොලිසියට බැඳෙන්න කිසිම අදහසක් තිබුණේ නෑ, ඒත් තරග විභාගයක් පවත්වලා බඳවාගන්න නිසා මටත් හිතුණා තරග කරලා බලන්න. උප පොලිස් පරීක්‍ෂක තනතුරට මම ඉල්ලූම් කළා. මාව උනන්දු කරපු මගේ පෙම්වතිය ලුමිබිනි (අද මාගේ බිරිද) තමයි ඉල්ලුම් පත්‍රය පිරෙව්වේ. ලංකාව පුරා විසිහත්දහසක් විතර ඉල්ලූම් කරලා තිබුණා. සම්මුඛ පරීක්‍ෂණ කිහිපයකට පෙනී ඉඳලා තරග විභාගයටත් පෙනී හිටියා. ඒ තරග විභාගයෙන් තෝරාගත් අය අතරට මගේ නමත් තේරී පත් වී තිබුණා. ඒ අනුව 1991 අවුරුද්දේ මම පොලිසියට බැඳුණා…’’

‘‘පළමු පත්වීම ලැබුණේ කොළඹ කොටහේන පොලිසියට. ඊට ටික කාලයකට පස්සේ කුණ්ඩසාල පොලිස් විද්‍යාලයට මාරු වෙලා ආවා. එතැන රාජකාරි කරගෙන යන අතරතුර බාහිර උපාධි පාඨමාලාව ආරම්භ කළා. ඊට ටික කාලයකට පස්සේ කඩුගන්නාව පොලිසියට මාරුවීමක් ලැබුණා. ඊළගට වව්නියා කලාපයේ ක්‍රියාන්විත රාජකාරි යටතේ අවරන්තුලාව පොලිසියේ ස්ථානාධිපි ලෙස කටයුතු කලා. ක්‍රියාන්විත රාජකාරිවලට බයෙන් පැනල ගියේ නැහැ. සමකාලීනව මගේ සහෝදරයාත් ක්‍රියාන්විත රාජකාරියෙහි යෙදුණා. එකවර සහෝදරයන් දෙදෙනෙකු ක්‍රියාන්විත රාකාරි නොයොදවන රෙගුලාසි තිබුණත් අපි ඒක පාවිච්චි කරල සැගවෙන්න උත්සහා කලේ නැහැ. අයියයි මායි කතා වෙලා අම්මටයි, අප්පච්චිටයි බොරුවට කීවා අයිය කොළඹ වැඩ. මම විතරයි ක්‍රියාන්විත රාජකාරි කියලා. ඒත් අයිය ඇත්තටම එතකොට මඩකලපුවේ රාජකාරි කලේ. ඊට පස්සේ නුවර පොලිසියට මාරුවීමක් ලැබුණා. නුවර පොලිසියේ රාජකාරි කරන කාලේදී තමයි කොටි ත‍්‍රස්තවාදීන් දළදා මාලිගාවට පහරදුන්නේ. ඒ පහරදීමෙන් පසු පළමුවෙන්ම එම ස්ථානයට ගියේ අපි කිහිපදෙනෙක්. කිසිදු සාක්‍ෂියක් පෙනෙන තෙක් මානයක තිබුණේ නෑ. තනිකර සුන්බුන් ගොඩක්. අවට විපරම් කරගෙන යනකොට පුංචි දෙයක් අපේ් ඇහැ ගැටුණා. ඒ දේ ඔස්සේ පරීක්‍ෂණ කරගෙන යනකොට තමයි දළදා මාළිගාවට පහරදීමේ සිද්ධියේ සුලමුල හොයාගත්තේ. ඒත් ගෞරවාන්විත විදිහට රාජකාරිය කරගෙන යාමේදී විවිධ ගැටලූ මතු වුණා. ඒ නිසා පඩි රහිත විදේශ නිවාඩු පිට එංගලන්තයට යන්න මම තීරණය කළා…’’

‘‘2000 මාර්තු මාසේ තමයි එංගලන්තයට  ගියේ. දේශපාලනඥයකුව සිටි ඥාතියෙක් වූ මෛත්‍රීපාල හේරත් මහත්තයා තමයි එංගලන්තයට යන්න අවස්ථාව හදලා දුන්නේ. එංගලන්තයට ගිහින් මුලින්ම වැඩ කළේ ලංකාවේ ව්‍යාපාරිකයකුගේ කාගෝ සර්විස් ආයතනයක. එහි හිමිකරු “ආරි අයියා” හොද මනුස්සයෙක්. මට ගොඩක් උදව් කලා. ලංකාවේ අයට ගොඩක් උදව් කරන එවැනි මිනිසුන් අඩුයි. එතැන වැඩ කරගෙන යනකොට මට තේරුණා එතැනින් එහාට ගමනක් නැති බව. ඊට පස්සේ මම ලංකාවට ඇවිත් නැවත පොලිසියට යන්න තීරණය කළා. ඒත් හිටපු තනතුරට වඩා උසස් තනතුරකට යෑමේ බලාපොරොත්තුවෙන් එංගලන්තයේ විශ්වවිද්‍යාලයකින් පශ්චාත් උපාධිය හැදෑරීමට හිතුවා. ඒ බලාපොරොත්තුව ඇතිව අපරාධ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගන්න ම්ඞ්ල් සෙක්ස් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. මට තිබූ වෘත්තීය පළපුරුද්ද, අධ්‍යාපන සුදුසුකම් එක්ක ඉතා පහසුවෙන් එම උපාධි පාඨමාලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ජොබ් එකත් කරගෙන යන අතරේ උපාධි පාඨමාලාවත් කරගෙන ගියා. එහෙම ටික කාලයක් යනකොට අපේ පවුලේ සියලූම සාමාජිකයන් එංගලන්තයට ගෙන්න ගන්න මට පුළුවන් වුණා. මගේ මල්ලි එංගලන්ත විශ්වවිද්‍යාලයකින් ක‍්‍රීඩාව සම්බන්ධ පශ්චාත් උපාධියක් ලබාගත්තා. ඒ කාලයේ එවැනි උපාධියක් ලබාගත්ත ප‍්‍රථම ශ‍්‍රී ලාංකිකයා මගේ මල්ලි…’’

‘‘මම උපාධි පාඨමාලාව සම්පූර්ණ කළාට පස්සේ සල්ලි ටිකකුත් හම්බ කරගෙන ලංකාවට ආවා. ඒ ඇවිත් නැවත පොලිසියට යන අදහසින් හිතවත් පොලිස් නිලධාරියෙක් මුණගැහිලා ලබාගත් උපාධිය ගැන කිව්වා. මම බලාපොරොත්තු වෙච්ච ප‍්‍රතිචාරය ඒ නිලධාරියාගෙන් ලැබුණේ නෑ. එහෙම වුණා කියලා මම සැළුණේ නෑ. ඒ වගේම අපේ රටේ ජොබ් කරලා වැඩක් නෑ කියලත් මම අවබෝධ කර ගත්තා. ඒ වෙනකොට මගේ වැඩිමහල් සහෝදරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙක් විදිහට දකුණු සුඩානයේ රාජකාරි කරමින් හිටියේ. මම සුඩානයට යන්න තීරණය කළා. 2006 අවුරුද්දේ අන්තිම සුඩානයට ගියා. ඒ සුඩානයේ රැුකියාවක් කිරීමේ බලාපොරොත්තුවෙන් නෙමෙයි. කුමක් හෝ ව්‍යපාරයක් කිරීමේ අරමුණින්…’’

‘‘මම සුඩානයට යනකොට ඒ රට වෙන් වෙලා තිබුණේ නෑ. එක රටක් හැටියට තිබුණා. ඒත් අන්ත දුප්පත්. ඩුබායිවල ඉඳලා සුඩාන් අග නගරයේ කාටූන් ගුවන් තොටුපළට බැහැලා, ජුබ්බා නගරයට යන්න තවත් ගුවන් යානයකින් ගමන් කරන්න ඕන වුණා. ඒක අභ්‍යන්තර ගුවන් සේවාවක්. ඒ ගුවන් යානයක යන්න පුළුවන් මගින් හයදෙනාටයි. ජුබ්බා ගුවන් තොටුපළ පිදුරු වහපු මඩුවක්. හරක් ළගිනවා. හිටි ගමන් එළුවො පට්ටි ගුවන් පථය හරහා දුවනවා. මිනිස්සු බයිසිකල් පැදගෙන යනවා. ගුවන් පථය පුරා තැන, තැන වළවල්. ඒ වගේම එවකට සුඩානයේ ජීවත් වෙච්ච බහුතරයකට ගෙවල් තිබුණේ නෑ. සමහර අය කූඩාරම් අටවගෙන ජීවත් වුණා. තව පිරිසක් පුංචි මැටි ගෙවල් හදාගෙන ජීවත් වුණා. රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයන් කූඩාරම් ගහගෙන හිටියා. සුඩාන වැසියන්ගේ ජීවිත සරළයි. ජීවන වියදම අඩුයි. ඒ නිසා එරට තුළ ව්‍යාපාර කරන්න ඉතා පහසුයි. ඒත් සුඩානයේ පැවති යුදමය වාතාවරණයත් එක්ක විදේශීය ආයෝජකයන් එරට තුළ ව්‍යාපාර පටන් ගන්න බයේ හිටියේ. මම අවධානමත් අරගෙන දකුණු සුඩානයේ ව්‍යපාරයක් පටන් ගන්න තීරණය කළා…’’

‘‘ප‍්‍රථමයෙන්ම කළේ ඉඩමක් මිලට අරගෙන අපිට ඉන්න කාමර කෑල්ලක් හදාගැනීමයි. ඊට පස්සේ එතැනම තට්ටු ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ බලාපොරොත්තුවෙන් ඉනොමික් ඉන්ටර්නැෂනල් නමින් සේවා පහසුකම් සපයන ආයතනයක් ලියාපදිංචි කළා. ඒ අනුව දකුණු සුඩානයේ ව්‍යාපාරයක් ආරම්භ කල පළමු ශ්‍රී ලාංකිකයා බවට මම පත්වුණා. ඒ වගේම දකුණු සුඩානයේ දී ප්‍රථම වරට ශ්‍රී ලාංකික කොඩිය එසවූයේ මම. ඒ ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා. ඒ වෙනකොට දකුණු සුඩානයේ ලියාපදිංචි ආයතනවලින් එකසිය විසිහතර වැනි ආයතනය. ඊට පස්සේ බඩු භාණ්ඩ අදින්න පරණ කැබ් රථයකුත් ගත්තා. ලංකාවේ පෙදරේරුවන් තිහක් විතර අරගෙන ගියා. මෙරට පෙදරේරුවකුට කෑම, බීම ඉඳුම් හිටුම් සේරම දීලා රුපියල් හැටදහසක පඩියක් දුන්නා. ඒ රටේ මිනිස්සුත් එක්ක සේරම සීයක් විතර මා ළඟ වැඩ කළා. අපේ ආයතනයේ පඩි හදන්න, සේවක ගැටලූ විසඳන්න දැනුම තියෙන සුඩාන් ජාතිකයෙක් සම්බන්ධ කරගත්තා. එතකොට ඕස්ටේ‍්‍රලියාවේ වෛද්‍යවරයෙක් විදිහට සේවය කරගෙන ගිය මගේ මල්ලිත් අපේ සහායට සුඩානයට ආවා. ලංකාවේ ඉඳලා අපේ තාත්තාත් අපිට උදව් කරන්න එහෙට ආවා. පවුලේ සේරම අය හම්බ කරපු මුදල් ආයෝජනය කරලා, අපි සේරම එකතු වෙලා මාස අටකින් කාමර තිස්නවයක් සහිත අංගසම්පූර්ණ තෙමහල් ගොඩනැඟිල්ලේ වැඩ අවසාන කළා. ආමි කෑම්ප් එකක් වගේ විශාල තාප්පයකින් වට කරලා, පිහිනුම් තටාකයක් ඇතුළුව සියලූ පහසුකම් සහිත කාමර සංකීර්ණයක් ආරම්භ කළා. බැලූ බැල්මට සංචාරක හෝටලයක්මයි…’’

‘‘අපි ගොඩනැඟිල්ල හදාගෙන යනකොටම අසූදෙනෙක් අපෙන් කාමර ඉල්ලූම් කරලා තිබුණා. මම මුලින්ම කාමරයක් ලබාදෙන්න අත්තිකාරම් මුදලක් ලබාගත්තේ ඉන්දියන් ජාතිකයකුගෙන්. ඒත් අන්තිමේ අපේ ගොඩනැඟිල්ලේ වැඩියෙන්ම කාමර ලබාගෙන තිබුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන්. ඒ වගේම හිටි හැටියේ ඇවිත් අපේ කාමරවල නතර වෙන්න ඉඩ දුන්නේ නෑ. ආයතනවලින්, ජාත්‍යන්තර සංවිධාන මාර්ගයෙන් ඇණවුම් කරලා එන පුද්ගලයන්ට විතරයි කාමර පහසුකම් ලබා දුන්නේ. එතැනින් අපි නතර වුණේ නෑ. දකුණු සුඩානයේ ස්ථාන හයක ඉඩම් මිලදීගෙන කාමර, ගෙවල් සහිත තට්ටු  ගොඩනැඟිලි ඉදිකරලා නිවාස, කාමර කුලියට දුන්නා…’’

‘‘දකුණු සුඩානයේ ප‍්‍රථම පිහිනුම් තටාකය හැදුවේ අපි. දකුණු සුඩානයේ වෙයාර් හවුස් ඉදිකිරීමේ ප‍්‍රමුඛයා වුණේ අපියි. ඔස්ටේ‍්‍රලියානු තාක්‍ෂණය යෙදාගෙන ඉන්දියානු යන්ත‍්‍ර සූත‍්‍ර උපයෝගී කරගෙන දකුණු සුඩානය පුරා වෙයාර් හවුස් ගැහුවා. පුදුමාකාර ඉල්ලූමක් ඇති වුණා. මම කියන්නේ කීයද ඒ මුදලට වෙයාර් හවුස් හදන තත්ත්වයට පත් වුණා. ඒ හරහා විශාල ආදායමක් අපිට ආවා. අපේ ආයතන වේගයෙන් දියුණු වුණා. සේවක පිරිස වැඩි වුණා. ඔහොම යනකොට දකුණු සුඩාන රජය තෙල් නිෂ්පාදනය පටන් ගන්න කටයුතු කරගෙන ගියා. ඒ එක්කම තෙල් සමාගම්වලට සේවා පහසුකම් ලබාදීමට ‘ඩෙල්ටා ඉංජිනේරියන්’ නමින් මමත් කොම්පැණියක් ලියාපදිංචි කළා. ඒ සමඟ තෙල් සමාගම්වලට කෙමිකල් සහ සේවා පහසුකම් ලබාදීම සඳහා දකුණු සුඩාන රජයත් එක්ක  ගිවිසුමක් අත්සන් කළා. 2013 අවුරුද්දේ ඒ ගිවිසුම අත්සන් කරනකොටත් සුඩාන තෙල් සමාගම් තෙල් විකිණීමට පටන්ගෙන තිබුණේ නෑ…’’

අරාබියේ තෙල් ළිංවලින් වගේ සුඩානයේ තෙල් කැණීම් කරලා ගත්ත ගමන් තෙල් විකුණන්න බෑ. සුඩානයේ තෙල් ඝනයි. ඊට පස්සේ මම තෙල් සමාගම් එක්ක කතා කරලා තෙල්වල ඝනත්වය අඩු කරන්න රසායනික බෙහෙත් වර්ග ලබා දුන්නා. මම ඒ කෙමිකල් ලබාගත්තේ ස්කොට්ලන්තයේ කැරියන් කියන ලෝකයේ තෙවැනි විශාලතම කෙමිකල් නිෂ්පාදන ආයතනයෙන්. මේ වෙනකොට අපේ ආයතනවල සේවකයන් විශාල පිරිසක් සේවය කරනවා. ඒ අතරින් ලංකාවේ අය සීයක් සේවය කරනවා…’’

‘‘සුඩානය වැනි නොදියුණු රටක ව්‍යාපාර කටයුතු කරගෙන යන්න ලේසි පහසු වුණේ නෑ. අපි ව්‍යාපාර පටන්ගත්ත අලූත ජීවිත තර්ජන පවා ආවා. බල්ලො බිරුවට කඳු පාත් නොවෙන බව අත්දැකීමෙන් මම දැනගෙන හිටියා. ඒත් මට එරෙහිව එන පුද්ගලයන්ට විරුද්ධව නීති  මාර්ගයෙන් කටයුතු කළා. දකුණු සුඩානයේ නීතිය දරුණුයි. ඒ වගේම හැම ගමකම ප‍්‍රධානියෙක් ඉන්නවා. ඒ මනුස්සයා ඉරක් ගහලා කිව්වොත් සියලූ ගම්වැසියො ඉරේ හිටපල්ලා කියලා එකා වගේ ඉන්නවා. ඊට පස්සේ මම මුලින්ම කළේ යම් ප‍්‍රදේශයක ව්‍යාපාරයක් පටන් ගන්නකොට ගම් ප‍්‍රධානියාව මුණගැහිලා ඒ මනුස්සයාව හිතවත් කරගැනීම. එතැනින් එහාට කිසිම ප‍්‍රශ්නයක් නෑ. මම කරගෙන යන වැඩකටයුතු සම්බන්ධයෙන් එන සියලූම ගැටලූවලට ඒ මොහොතේම විසඳුම් ලබාගත්තා. ඒ වගේම විදේශීය ආයෝජකයන්ට සුඩාන රජය විශාල ගෞරවයක් දැක්කුවා. මුල් කාලයේදී මගේ ආරක්‍ෂාවට සුඩාන ප‍්‍රභූ ආරක්‍ෂක නිලධාරියෙක් පවා ලබා දීලා තිබුණා. කාලයත් සමඟ මම එරට පුරවැසියෙක් ගානට පත් වුණා. දැන් මම දකුණු සුඩානයෙන් ඡන්දය ඉල්ලූවත් දිනන තරමට ජනප‍්‍රියයි. ඒ මගේ දක්‍ෂතාව. හැකියාව. කැපවීම. බුද්ධිමත්ව කැපවීමෙන් දෙයක් කළොත් ඕනෑම අභියෝගයක් ජයගන්න පුළුවන්. මම ඒක ක‍්‍රියාවෙන් ඔප්පු කරපු පුද්ගලයෙක්. මේ වෙනකොට දකුණු සුඩානය විවිධ ප‍්‍රදේශවල ගොඩනැඟිලි දෙසීයක් ඉදිකර දීලා තියෙනවා. අපේ කොම්පැණිය යටතේ කාමර, නිවාස සේරම එකසිය හැටක් විවිධ ස්ථානවල තියෙනවා. අපේ රටේ ව්‍යාපාර තියෙනවා. මම පොලිසියේ රාජකාරි කළා නම් අදටත් මාසේ පඩියෙන් ජීවත් වෙන රජයේ සේවකයෙක් විතරයි…’’


‘‘දැන් මට වයස අවුරුදු හතළිස් නවයයි. ව්‍යාපාරික ලෝකයේ ඉදිරියටම ගිහින් තියෙනවා. මේ වෙනකොට අපේ ව්‍යාපාරවල සේවකයෝ විශාල ප‍්‍රමාණයක් සේවය කරනවා. අපිටම කියලා එංගලන්තයේ ගෙවල් තියෙනවා. මගේ අයියා අදටත් ජීවත් වෙන්නේ එංගලන්තයේ. මල්ලි ඔස්ටේ‍්‍රලියාවේ වෛද්‍යවරයෙක් විදිහට සේවය කර ළගදී ලංකාවේ පදිංචියට ආව. නංගි වෘත්තීය නීතිඥවරියක් විදිහට ස්කෝට්ලන්තයේ ජීවත් වෙනවා. අපි හතරදෙනාම කසාද බැඳලා. මට දුවල දෙන්නෙක් ඉන්නවා. ලොකු දුව එංගලන්තයේ විශ්වවිද්‍යාලයක ඉගෙනගන්නවා. පොඩි දුව මාත් මගේ බිරිද ලුම්බිනිත් එක්ක ලංකාවේ ඉඳගෙන ඉගෙනගන්නවා. දැන් මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට නායකත්ව පුහුණුව සම්බන්ධයෙන් දේශන පවත්වනවා. තාක්‍ෂණයත් එක්ක ඉදිරියට යමින් සියලූ ව්‍යාපාර කටයුතු සොයා බලන්නේ අන්තර් ජාලය ඔස්සේ. ලෝකයේ ඕනෑම රටකට ගිහින් පාඩුවේ ජීවත් වෙන්න පුළුවන්. ඒත් ලංකාව දාලා වෙන කිසිම රටක පදිංචියට යන්නේ නෑ. අපි හොද බෞද්ධයෝ. මේක මගේ රට. ඉපදුණු රට. මැරෙන්නෙත් මේ පොළොවේ…’’ ලෝකය ජයගත් කීර්ති හේරත්ගේ මුවින් ගිලිහෙන අවසාන වචන කිහිපය ඇසෙන විට ජාති ආලයෙන් හදවත ප‍්‍රමුදිත විය.

කීර්ති හේරත් මහතා ජාත්‍යන්තර ව්‍යාපාරිකයකු ලෙස උපන් රටේ ජීවත් වන්නේ රට, ජාතියට ඇති ආදරය නිසාය. එහෙත් එවැනි බුද්ධිමත් මිනිසුන්ගෙන් අපේ රටට වැඩක් ගැනීමට කාලයෙන් කාලයට පත් වූ කිසිදු රජයක් උත්සාහ කළේ නැත. පවතින රජය හෝ කීර්ති හේරත් වැනි මානව සම්පත් රට දියුණු කිරීමේ සංග‍්‍රාමයට සම්පත් කර ගනිවී යන්න අපගේ විශ්වාසයයි.

තරංග රත්නවීර – දිවයින

Related posts

ඉදිරි දින කිහිපයේදී පත් කරන නව කැබිනට්ටුවේ ඇමැතිකම් බාර ගන්නේ නැහැ

colombotoday

පොදු ප්‍රවාහනය භාවිත කරන්නන්ට සඳුදා සිට රාජකාරි හැඳුනුම්පත අනිවාර්යයි

colombotoday

පොහොට්ටුවේ රාජ්‍ය ඇමතිවරයෙකු බීමතින් අහසට වෙඩි තියලා

Admin

සිංහල ජාතිය ගැන කතා කිරීම නිසා ආණ්ඩුවේ ප්‍රබලයෙකුට ඇමතිකම අහිමිවෙයි ?

colombotoday

ද ෆිනෑන්ස් තැන්පතුකරුවන් සදහා නිවේදනයක්

colombotoday

මා පොහොට්ටු සන්ධානයේ සභාපතිවීම ජනතාව බලාපොරොත්තු වූ දෙයක් !

colombotoday