Colombo Today Local News

“ගෝඨාභය අත්අංගුවට ගැනීමට ඉඩ නොදෙන්නේ ජනපති මෛත්‍රීයි..” – නීතීඥ සුගන්ධිකා

අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සියලු කෙටුම්පත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කර තිබියදීත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට නොගන්නේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගෝඨාභය මහතාව අත්අඩංගුවට නොගන්නා ලෙසට නියෝග කර ඇති නිසා යැයි නීතීඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය පවසයි.

ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ පවතින අන්ත දූෂිත භාවය පිලිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශ ගණනාවක් සිදු කළ නීතීඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය වැඩි දුරටත් පවසන්නේ ජනාධිපතිවරයා, ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට නොගන්නා ලෙසට නියෝග කිරීමෙන් පෙන්වා ඇත්තේ හොරු විසින් හොරුන්ව රැක ගැනීමට ක්‍රියා කර ඇති බවය.

නීතීඥ සුගන්ධිකා ප්‍රනාන්දු මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ “දිනමිණ ” පුවත්පත සමඟ සිදු කළ සාකච්ඡාවකදීය. එම සාකච්ඡාවේදී ඇය විසින් පහත දැක්වෙන අදහස් ද පළ කොට තිබේ.

” 1948 නිදහස අරගෙන දැන් අවුරුදු 70ක් ගෙවිලා ගිහිල්ලා. එදා ඉදලා මේ රට පාලනය කරපු පාලකයෝ අතර නීතීඥවරු කීදෙනෙක් හිටියද කියලා හොයලා බලන්න. ජෝන් ද සිල්වාගේ ඉදලා නාමල් රාජපක්ෂ දක්වා කී දෙනෙක් හිටිය ද. ව්‍යවස්ථා දායකය නියෝජනය කළ මේ නීතීඥවරු කළේ පාර්ලිමේන්තුවේ බලය තියෙන පක්ෂයට අත උස්සපු එක විතරයි. පාර්ලිමේන්තුවේ 14 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරලා තියෙන්නෙත් ප්‍රෝඩාවෙන්. ඒ තුළ තියෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. ඒ කියන්නේ මොකක් ද? මැතිවරණයකදි ඡන්දයට ඉදිරිපත් වෙන පක්ෂයේ ජාතික ලැයිස්තුව. ඒ ලැයිස්තුවේ ඉන්න ඕන මේ රටේ අණ, පනත්, නීති කෙටුම්පත් සකස් කළ හැකි බුද්ධිමය දායකත්වයක් සැපයීය හැකි පුද්ගලයෝ.

අද මොකක්ද වුණේ, තිලංග සුමතිපාල මහත්තයාට ජනතා වරමක් තිබුණ ද, සුනිල් හඳුන්නෙත්ති මහත්තයට ඒ වරම තිබ්බ ද, එස්. බී දිසානායකට තිබ්බද? නෑ. මහජනතාව ප්‍රතික්ෂේප කරපු මේ අය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගත්තා. ජාතික ලැයිස්තුව තියෙන්නේ වෙනම කාර්යයකට. කෝ දැන් නීතිය. මේ කරපු දේ වැරැදියි. මේ රටේ ජනගහනයට අනුව මැති ඇමැතිවරු ප්‍රමාණය කොච්චරක් ද. මහජනතාව ඒ අය නඩත්තු කරන්න ඕන. තවදුරටත් ජනතාවට මේ වැඩේ කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තමයි අද මතු වෙලා තියෙන්නෙ.

පහුගිය දශක කීපයේම අපේ රට සංවර්ධනය කරන්න බෑ කියලා කිව්වේ යුද්ධය නිසා. දැන් යුද්ධය ඉවරයි, කෝ සංවර්ධනය? මේ ප්‍රශ්නය කොහෙද තියෙන්නෙ? රාජපක්ෂ රෙජීමය විවේචනය කරනවාය, ඒ රෙජීමයට පහර දෙනවාය කියලා එකක් අපට නෑ. එහෙම නම් මහ බැංකුව කොල්ල කාපු එක අතිශය වැරැද්දක්. රාජපක්ෂවරු වසර ගණනාවකින් කරපු දේ, මේ අය එක මොහොතින් කළා. කොහොම කළත් ඒ කිසිවකුට දඬුවම් ලැබෙනවා ද නෑ. ඔවුන් එකිනෙකා ආරක්ෂා කරනවා. ඔයා ගිහින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අත්අඩංගුවට ගන්නෙ නැත්තෙ ඇයි කියලා අහලා බලන්න. එතුමා අත්අඩංගුවට ගන්න සියලු කෙටුම්පත් සකස් කරලා තිබියදී ජනාධිපතිවරයාගේ නියෝගයකින් තමයි අත්අඩංගුවට නොගන්නේ. ඇයි මෙහෙම රකින්නෙ. හොරු හොරුන්ව රැක ගන්නවා.

අපි කියන්නෙ මේ දේවල් නෙවෙයි රටට අවශ්‍යය. එදා මහින්ද රාජපක්ෂ මහත්තයා ලොකු සේවයක් කළා. හැබැයි ඒකට යටින් මේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය විනාශ කළා. ඒ අය ගහපු ගැහිල්ලේ සල්ලි කොහෙද තියෙන්නේ. ඇයි මේ ඇත්ත නැත්ත හරියට හොයන්නෙ නැත්තේ. මේ රටේ නීතිපති දෙපාර්තමේන්තුවක් තියෙනවා. පොලිසියක් තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක් තියෙනවා. මේ හොරකම් හොයන්නෙ නැත්තෙ ඇයි?

අපිට මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ පාලනය වැඩක් නෑ. අපි කියන්නේ මේ රටේ නීතිය කාටත් පොදුවේ ක්‍රියාත්මක වෙන්න ඕන කියලයි. සාමාන්‍ය පුරවැසියට එක නීතියක්, දේශපාලකයාට එක නීතියක් පොත්වල නෑ. සියලු පුරවැසියාට තියෙන්නේ එකම නීතියක්. බැසිල් රාජපක්ෂ මහත්තයාගේ මල්වානේ ගෙදරට ගම්පහ උසාවියේ නඩුවක් දැම්මාම, ගේ මගේ නෙවෙයි කිව්වාම නඩුව විසඳෙනවද?. එහෙම ගෙවල් මේ රටේ තියෙනවාද. මම නම් මහේස්ත්‍රාත් මගෙ නෙවෙයි කියන කෙනා තමයි මුලින්ම ඇතුළට දාන්නෙ. එහෙම ගෙවල් මේ රටේ තියෙන්නෙ බෑ. කෝ යුක්තිය. මේ ලෝකේ කොහෙවත් තමන්ගෙ නොවන මාලිගා නෑ. ඒක බැසිල්ගෙ නෙවෙයි නම් වෙන කාට හරි ඒක අයිතියි. හැබැයි නීතිය මේ විදිහට හෑල්ලු කරන රටක තව මොන කතා ද.

මගෙ වයස සහ ගැහැනියෙක් වීම නිසා අපිව මට්ටු කරන්න පුළුවන් කියලා සමහරු හිතනවා ඇති. අපි එහෙම මට්ටු කරන්න පුළුවන් චරිත නෙවෙයි. එංගලන්තයට යන්න වීසා ඉල්ලුම් කරලා කියලා මට කිව්වා. මට වීසා ගන්න මේවා කර කර ඉන්න ඕනෙ නෑ, හොඳට සුදුසුකම් තියෙනවා. මම එදා මේජර් ප්‍රසන්නට කිව්වේ, පුළුවන් නම් මම එංගලන්තයට වීසා ඉල්ලුම්කරලා තියෙනවා කියලා ඔප්පු කරන්න කියලා. සමාජ මාධ්‍යයෙන් මඩ ගහලා ඇත්ත වසන් කරන්න බෑ. ඇත්ත කතා කරනකොට බොරුකාරයෝ කුලප්පු වෙනවා.

ඒක මේ සමාජ ක්‍රමයේ හැටි. දැන් කියනවා එන්ජීඕ කියලා. අපි නඩු කතා කරන්නෙ හාප්ෂීට් එකේ ඉදන් අපේ මුදල් වියදම් කරලා. මගේ සේවාදායකයන්ගෙන් අහලා බලන්න. ඔය කතා කියන උදවියට මම අභියෝග කරනවා, මට කොහෙන්ද සල්ලි එන්නෙ කියලා ඔප්පු කරලා පෙන්වන්න. ඔය කතා කියන්නෙ මහින්ද රාජපක්ෂගෙ බත් බැලයෝ. ඒ අයට අද වෙලා තියෙන්නෙ දෙයියන්ගෙ හාල් කැවිලා වගේ ඉන්න. මට කෙනෙක් කියනවා, ගෝඨාභය රාජපක්ෂට එක බුලට් එකයි සුගන්ධිකා ප්‍රනාන්දුට කියලා. ඒ කියන්නෙ මේ රටේ මහජනතාව වෙනුවෙන් හඬ නඟන මිනිස්සු නිහඬ කරන ක්‍රමයක් එයාලට තියෙනවා. නිවට නියාලු ජරාජීර්ණ ක්‍රමයේ ඉන්නවාට වඩා මම හෙට මැරුණත් කමක් නෑ.”

Related posts

සියලු ජාතික උද්‍යාන අද සිට විවෘතයි | මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීමටත් අවස්ථාව

colombotoday

ඉන්ධන මිළ ඉහළ දැමීම රටට යහපතක්.. පරිසර දූෂණය අඩුවෙනවා – ඇමති ඉරාන්

colombotoday

අධිකරණයට අපහාස කිරීම : රන්ජන්ට එරෙහි නඩුව විභාග කර අවසන්

colombotoday

මෙවර මහ මැතිවරණයේ වියදම කෝටි 1000යි

colombotoday

එජාප ප්‍රබල ඇමති දෙදෙනා දුම්බර රක්ෂිතයේ මහා ඉඩම් කොල්ලයක… එජාප මන්ත්‍රීනියක්ම හෙළිකරයි

colombotoday

සුදු සීනී ආනයනයට අද සිට යළි අවසර

colombotoday