Articlesfeatured

දෙවන විග්නේශ්වරන් වූ උතුරේ හිටපු ආණ්ඩුකාර මුත්තු සුරේන් රාඝවන් සොයන (බෞද්‌ධ) නිවන

යහපාලන ජනාධිපති සිරිසේන මහතා යටතේ මාස 11 ක් උතුරු පලාතේ ආණ්ඩුකාරයාව සිටි, තමන් බෞද්‌ධයෙක් කියනා සුරේන් රාඝවන්, ලහිරු මුදලිගේ හරි ටීවී හරහා පුදුම (අද්භූත?) ඉල්ලීමක් කලේය (අප්‍රේල් 17). දෙමළාට නිවන අකැපද යන ප්‍රශ්ණය නඟන රාඝවන්, ලංකාවේ හාමුදුරුවරු උතුරේ දෙමළ ජනයාට බුද්‌ධාගම බෙදාදීමෙන් (ප්‍රචාරය) වැළකී සිටින්නේ ඇයිදැයි විමසා සිටී. මේ වනාහී මේ අබුද්දස්ස කාලයේ ඇසෙණ කතාය. රාඝවන් දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට නම දමා ගෙන සිටී. පරණ ජේවීපී කාරයෙකු ‌වූ රෙජිනෝල්ඩ් කුරේට, විග්නේෂ්වරන් ජාතිවාදී, බෙදුම්වාදියෙකු බව තේරුම් ගන්නට කාලයක් ගියේය. කුරේ යාපනේ ජනප්‍රසාදයට ලක්‌විය. ඔහු වෙනුවට යැවූ රාඝවන් දෙවන විග්නේශ්වරන් කෙනෙක් විය. උතුරු-නැඟෙනහිර සිංහලීකරණයක් තිබෙනවා යයි කීමට රාඝවන්ට ගතවූයේ දිවුරුම්දී සුළු කාලයක් පමණය! එහෙත් කොළඹ නගරයේ දෙමළීකරණයක් හා ඉස්ලාමීකරණයක් වෙලා කියා සිංහලයින් නහයෙන් අඬන්නේ නැත.

උතුරේ දෙමළ බෞද්ද්ධයින් 40,000 ක් පමණ සිටිනවා කියන රාඝවන් “දෙමළා නිවන් යායුතු නැද්ද” කියා අසමින්, දමිළ බෞද්‌ධයින් අඩුවීමට හේතුව සිංහල හාමුදුරුවරු ධ‌ර්‌ම ප්‍රචාරය සඳහා උතුරට නොයෑමයයි මැසිවිලි කියයි! මොහු ඔක්ස්ෆර්ඩ් වල ඉගෙන ගෙන ඇත්තේ මොන බුද්‌ධාගමද කියා සිතෙන්නේ මේ නිසාය. ඒහි පස්සිකෝ මිස, එව අදහව, කියා බුදු දහමේ නැත. ලක්‍ෂ ගණන් ඩලිත් ජනයා බුදුදහම වැළඳගත්තේ අම්බෙඩ්කාර්ගේ මඟපෙන්‌වීමෙනි, මේ රාඝවන්ටද එය කල නොහැකිද? ඔහු කල යුතු චතුරාර්ය සත්‍යය සරලව දෙමළ ජනයාට කියා දීම පමණය. ලංකාවේ හාමුදුරුවරු, බලවත්සේ ක්‍රිස්තියානිකරණයට ගොදුරුවූ ඩලිත් ජනයා හෝ, වෙල්ලාල කුලය විසින් පාගා ගෙන සිටින යාපනේ කුලහීන යයි කියන ජනයා හෝ (ආදි සිංහල වැසියන්?), බුද්‌ධාගමට හරවා ගන්නට සිතුවේ නැත. බුදු දහම, කඩුවෙන් පතුරන හෝ, දවසට පස් සැරයක් මක්කම පැත්තට හැරී අල්ලා වඳින ගනයේ දෘඨ දෘෂ්ඨිවේදයක් නොවේ.

අනිත් අතට ඔහු චෝදනා කරන්නේ ලංකාවේ භික්‍ෂූන් ප්‍රචන්ඩත්‌වයට නායකත්‌වය දෙනවා කියාය. සිංහලයින් බුද්‌ධාගම තමන්ට අයිතිය කියා සිතන බවත් ඔහු කියයි. මෙය රාඝවන්ලා විසින්ම සිතෙන් මවා ගන්නා දෙයක් මිස බුද්‌ධාගමේ අයිතිකාරයෙක් මට නම් මුණගැසී නැත. ලෝකයෙන් ථේරවාද බුද්‌ධාගම නැතිවී යාම වැළකුණේ ලංකාවේ හාමුදුරුවරුන් නිසාය යන කරුණ දෙස බෙදුම්වාදී දේශපාලන ඇසෙන් බලන විට මෙවැනි විකෘති තර්‌ක, දවල් හීන මතුවේ, ඇතිවේ. මීට පෙර මා විසින් ඉංග්‍රීසියෙන් ලියූ ලිපියකින් රාඝවන්ගේ කුහක හැසිරීම එලිකර එහි කොපියක් ඔහුටද ඊමේල් කර යවන ලදී. එම ලිපියට ලින්ක් එක මෙහි පහතින් ඇත.

එම ලිපිය ලිවීමට හේතුව වූයේ උතුරේ සීංහලීකරණයක් තිබෙනවා යයි රඝුවාන් ආණ්ඩුකාරයා විසින් කල ප්‍රකාශය නිසාය.

මේ මතයම ඔහු විසින් 2013-14 කාලයේ ලියු ලිපිවලින් එලියට දැම්මේ, ලංකාව, ඊශ්‍රායලය මෙන් සයනිස්ට් රටක් යයි ලියමින්‌ය (Buddhist Zionism, pure nation). සිංහලයින්ගේ හා යුදෙව්වන්ගේ අරමුණු එක සමානය යන්න ඔහුගේ පණිවුඩය විය. එය මේ පලවෙනි උතුරේ දෙමළ ආණ්ඩුකාරයා විසින් කල, පුදන කොටම කාපි යකා නොහොත් සංහිඳියා විරෝධී මුල්ම ප්‍රකාශය විය. ඔහු, විග්නේෂ්වරන් නම්, මධ්‍යස්‌ථ මතධාරී දෙමළෙක් යයි කොළඹ සිංහලයින් විසින් සිතා සිටි, දෙමළ මහ ඇමතිට වෙනස් චරිතයක් නොවීය. විග්නේෂ්වරන් කිව්වේ ලංකාවේ කොළඹ ආණ්ඩුව දෙමළ ජනසංහාරයක් කරණවා කියාය. දෙන්නාගේ මේ කියමන් දෙක එකිනෙකට පෑහේ. රාඝවන් ඇත්තටම බෞද්‌ධයෙක් නම් මෙවැනි කතා කියන්නට පුළුවන්ද?

අපට වරින් වර මෙවැනි අඥාන කතා ඇසෙන්නට ලැබේ. උදාහරණයක් වශයෙන් ඕස්ට්‍රේලියාවේ තුප්පහියා වෙබ් අඩවියේ මයිකල් රොබට්ස් කියා සිටියේ, සිංහල ජාතිවාදය ආරම්භ‌වූයේ 1912 දී අනාගාරික ධ‌ර්‌මපාලතුමා විසින් එක් ඉංග්‍රීසියෙන් ලියූ ලිපියක අපි සිංහලයින් “වී සිංහලීස්” කියා ලිවීමෙන් බවය! ඇමෙරිකාවේ ජීවත්‌වන එච්. එල්. සෙනෙවිරත්න ඔහුගේ ද වර්ක් ඔෆ් කිංස් යන පොතේ කියන්නේ ලංකාව විනාශ කලේ වල්පොල රාහුල හා යක්කඩුවේ ප්‍රඥාරාම යන හාමුදුරුවරුන් දෙනාමය! ඔහු ලඟදී යෝජනා කලේ තරුණ භික්‍ෂූන් විසින් විප්ලවයක් කර රට නැවත 1956 ට පෙර තිබූ අගනා යුගයට ගෙන යා යුතු බවය. රාඝවන් ද මේ තියරි එකම ගෙනාවේ වැඩි ඈතකදී නොවේ. ස්ටැන්ලි තම්බයියාට තිබුණ ප්‍රශ්ණය නම්, බෞද්‌ධයින් මිණී මරන්නේ ඇයි යනුය. රාඝවන් ද මේ අයගේ ගෝලයෙක් පමණක් නොව කුහක පුද්ගලයෙකි. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් විසින් 1990 ගණන් වල රණවිරුවන් දිරිගන්වමින් සිංදු 50 ක් පමණ ලිවීම රාඝවන් දකින්නේ එය පිරිසිදු සිංහල ජාතියක් හුවා දැක්‌වීමක් ලෙසය.

මගේ කලින් ලිපියෙන් පෙන්‌වා දුන්නේ රාඝවන් මහාවංශ විරෝධී ස්ටැන්ලි තම්බයියාගේ හා “ද වර්ක් ඔෆ් කිං” පොත ලියූ එච්. එල්. සෙනෙවිරත්නගේ අනුගාමිකයෙක් බවය. දයාන් ජයතිලක, රාඝවන්ව හැඳින්‌වූයේ චන්ද්‍රිකාගේ සිංහල බෞද්‌ධ විරෝධී කල්ලියේ සේවකයෙකු ලෙසය; පටු සමාජ-දේශපාලන දැණුමක් ඇත්තෙක් ලෙසය. මෙවැන්නන්ට නොයෙක් දේශපාලන ප්‍රකාශ කර සුදනන් මෙන් ගැලවීයාමට දිය යුතුද? ඉඩම් හා පොලිස් බලතල ඉල්ලන රාඝවන් බුද්‌ධාගම පිරුවටයක් කරගෙන පාර්ලිමේන්තුවට යාමට වෑයමක් දරයි. කාරණා නොදන්නා නාගදීපේ හාමුදුරුවන් රවටා ගැනීම පමණක් ඒ සඳහා නොසෑහෙන බව ඔහු දනී.

ගුරුකන්දේ හාමුදුරුවන්ගේ ආදාහනයට ටී.එන්.ඒ මන්ත්‍රීන් හා පාස්ටර්ලා විරුද්‌ධව පෙලපාලි යනවිට මේ රාඝවන් ආණ්ඩුකාරයා සිටියේ කොහේද? විග්නේෂ්වරන් උතුරට බුදු පිලිම එපා කියන විට ඔහු කලේ කුමක්ද? විග්නේෂ්චරන්ගේ දේවානම්පිය තීෂන් කතාවට රඝුවාන් එකඟද? මේවා ගැන වචනයක්වත් කතා නොකල, උතුරු-නැඟෙනහිර බෞද්‌ධ නටබුන් සංහාරය හා ආක්‍රමණ ඉදිරියේ නිහඬව සිටි රාඝවන්, හාමුදුරුවරු උතුරට බුද්‌ධාගම ගේන්නේ නැතැයි මැසිවිලි කියයි! පොලොන්නරුවේ ශිව දේවාලය යට තිබී හමුවූයේ දෙමළ බෞද්‌ධ විහාරයක නටබුන්ද? අයෝධ්‍යාවේ බැබ්‍රි මස්ජිද්-රාමා දේවාලය යට තිබී හමුවුන බෞද්‌ධ නටබුන් දෙමළද, හින්‌දු ද?

මේ දෙමළ බෞද්‌ධයා කතාව අහිංසක අතීත ඉතිහාස කතාවක් බෙදුම්වාදී දේශපාලනයට අතකොළුවක් සේ හරවාගැනීමට දරණ වෑයමක් පමණය. බුදුහාමුදුරුවන්ගේ කාලයේ දකුණු ඉන්දියාවේ බෞද්‌ධයින් සිටි බව නිසැකය. විහාර දාගැබ් වල නටබුන්ද පොලොවෙන් නිතරම හමුවන බවද සැබෑය. එහෙත් අවුරුදු 2,500 ක් නොව, පසුගිය අවුරුදු 100 ක හෝ 200 ක අඛණ්ඩ පැවැත්මක් තිබෙන ක්‍රියාත්මක පන්සලක් සමස්ත ඉන්දියාවේම තිබෙනවාද? මෑතක සිට සාංචියේ වුනත් පන්සලක් තිබෙන්නේ ලංකාවේ හාමුදුරුවරු නිසාය. මේ දෙමළ බෞද්‌ධයා කතාවේ මතය ආරම්භ වූයේ, සුනිල් ආරියරත්න හා නන්දා මාලිනී චෙන්නායි වල සැඟවී සිටි කාලයේදීය. මේ සම්බන්‌ධව කෘතියක් කොලට් සේනානායක හා නාරද කරුණාතිලක විසින් ලියා පලකර ඇත. ලංකාවේද මහින්දාගමණයට පෙර බෞද්‌ධයින් සිටින්නට ඇතත්, සුනිල් ආරියරත්නගේ දෙමළ බෞද්‌ධයා නම් පොත විග්නේෂ්වරන්ලා භාවිතාකරන්නේ ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ ජනයාය යන ඊළම් තර්‌කයක් සඳහාය. බර්‌ගර් ජාතික වැදගත් බෞද්‌ධයින් ලංකාවේ සිටියේය. එහෙත් බර්‌ගර් බෞද්‌ධයා (හෝ මුස්ලිම් බෞද්‌ධයා) කියා ලාඩම් ගැසීමක් සිදුවූයේ නැත.

මේ නිසා භාෂාව ඉස්සරහට නොදමා යම් පංචස්කන්‌ධයක් මහණවීමට කැමති නම් එය කිරීමට මේ බෞද්‌ධ රාඝවන්ට මැදිහත් විය නොහැකිද? ත්‍රිපිටකය සිංහලෙනුත්, ඉංග්‍රීසියෙනුත්, දෙමළෙනුත් එකම ත්‍රිපිටකයමය. හාමුදුරුවරුන්ට දෙමළ ඉගෙන ගන්න යයි ඔහු කියයි. නිර්මාල් රංජිත් දේවසිරි නම් ජේවීපී සපෝටර් කියා සිටියේ 2015 ජනවාරි 8 දා සැමරුවේ සිංහල බෞද්‌ධයාගේ මළගම කියාය. ඔහු මෙන්ම රාඝවන් ද දැන් අතරමංව, අන්ද-මන්දව සිටී. මේ, දෙමළාට නිවන් ගෙන ඒමේ බැලුම ඒ නිසාය. ඔහුට කියා දිය යුතු ඉතිහාස කතාවක් ඇත. එය පටන් ගන්නේ 1980 දී පමණ කැනඩාවේදී මා ලත් අත්දැකීමක් සමඟය. මහ ප්‍රභාකරන්ගේ (ඥාති?) සහෝදර තවත් ප්‍රභාකරන් කෙනෙක් මා සමඟ කැනඩාවේ එකට ඉගෙන ගත්තේය. ඔහු කියා සිටියේ කහ සිවුර (තට්ටයෝ) යාපනේ ඇවිදිනවා දැකීම ඔවුන්ට ලොකු තර්‌ජනයක් බවත්, ඔවුන්ව යාපනෙන් එලවා ගතයුතු බවත්‌ය. වෙසක් දින නිවාඩුවක් යාපනේට අනවශ්‍ය බවය. ඔවුන් යාපනේ තිබුණ එකම සිංහල පාසැල බලෙන් වසා දැම්මේය.

මෙවන් පසුබිමක් යටතේ හා අනුරාධපුර ශුද්‌ධ නගරයේ බෞද්‌ධ පුරාවස්තු රැකීමට ඩොනමෝර් කාලයේ රජයෙන් සුළු මුදලක් වෙන් කල විට, ජී. ජී. පොන්නම්බලම්, එය ජාතිවාදී ක්‍රියාවක් (දෙමළ සුළු ජනයාට කල වෙනස් කමක්?) යයි සෝල්බරි කොමිෂමට චෝදනා කල කාලයේ සිට හාමුදුරුවරු යාපනේ යාම නාගදීපයට සීමා කලේය. ගමන් නතර කලේය. මැත් ප්‍රොෆෙසර් සුන්දරලිංගම් යාපනේ කුලහීන ජනයාගෙන් කෝවිල් දූෂණය වීම වැළැක්‌වීමට යකා නැටූ කාලයේදී, අගමැති බණ්ඩාරනායක විසින් 1957 දී, ඊට විරුද්‌ධව නීතියක් ගෙනා අවස්ථාවේ වත් හාමුදුරුවරු මේ කුලහීන ජනයා බුද්‌ධාගමට හරවා ගන්නට ගියේ නැත. බුද්‌ධාගම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා, බැටළු පැටවුන් සොයා යන ආගමක් නොවේ. රාඝවන් කරන චෝදනාව, එනම්, ඉතා අමාරු ස්වීඩන් භාෂාව පවා ඉගෙන ගෙන හාමුදුරුවරු යුරෝපයට, ජර්‌මනියට, ඇමෙරිකාවට ගියා, යාපනේ අමතක කලා, යන කතාව නොදන්නා කමට කල කතාවක් ලෙස මිස වංචාකාරී කතාවක් ලෙස මා නොසිතන්නේ ඔහුගේ ඔක්ස්ෆර්ඩ් ආචාර්ය උපාධිය ලංකාවේ හාමුදුරුවරුන්ගේ දේශපාලනය ගැන ලියූ එකක් නිසාය. පෙඩරල් පක්‍ෂයට නටන්නට තවත් ශ්‍රී අකුරක් ලබාදීමට හාමුදුරුවරුන්ට අවශ්‍ය නොවීය. කෙතරම් හාමුදුරුවරු නොබියව ටයිගර්ලාට මුහුණදී යුද ප්‍රදේශවල සිටියාද? සංස්කෘත භාෂාවට වඩා අමාරු යුරෝපා භාෂවක් තිබේදැයි මම නොදනිමි. මේ හමුදුරුවරු යුරෝපයට ගියේ ඔවුන් සඳහා, රාඝවන්ගේ භාෂාවෙන් කියනවා නම් “ඉල්ලුමක්” තිබුණ/තිබෙන නිසාය. මෑතදි, විශේෂයෙන් 1983 ජූලි වලින් පසු, දෙමළ ජනයා ලංකාවේදී ඔවුන් මරණවා කියා යුරෝපා රටවලට ගොස් සිංහල වෙනුවට ඒ රටවල භාෂා ඉගෙන ගෙන කම්කරු රැකියා කරනවා මෙන් නොවේ.

රාඝවන් විසින් චාල්ස් තෝමස්ගේ කඳුල වැඩසටහනෙන් ඉගෙන ගතයුතු පාඩමක් ඇත (ඉංග්‍රීසි ලිපියේ ඇති වීඩියෝ දෙක රඝුවාන් බැලිය යුතුමය). එය නම් යමෙක් අවංකද, නැද්ද යන්න යමෙකුගේ ක්‍රියාවෙන් ඔප්පු වෙන බවය. චාල්ස් විසින් යාපනයේදීත්, ලන්ඩන් වලදීත් ලුණු ඇඹුල් සහිතව කියන්නේ දෙමළ බෙදුම්වාදය එක්තරා කල්ලියක් විසින් යාපනේ අහිංසක ජනයා රවටන කැත ව්‍යාපාරයක් බවය. ඔහු යාපනේ කරන තල් ගස්/පොල් ගස් වැවීමේ සේවයට රාඝවන් දුන් සහයෝගය කුමක්ද? ප්‍රේමදාස, රනිල් යන අයගේ සේවකයෙක් හා ස්වාමියෙක් යන රඟපෑම් දෙකම කල පාස්කරලිංගම් මෙන් රාඝවන් ද හීතල හොරෙකි. සමස්ත ලංකා හින්දු සම්මේලනය, අරුණළු ජනතා පෙරමුණ, ආවා කට්ටියේ සිටි නාගානන්ද කොඩිතුවක්කු සමඟ එකතුවූ පිරිස රාඝවන්ලාටත්, සුමන්තිරන්ලාටත් අභියෝගයකි. යුද හමුදාවට යාපනේ ජනයා දක්‌වන ප්‍රසාදය අව්‍යාජය. බොදු බල සේනාව හා හින්දු සම්මේලනය අතර ඇති සම්බන්‌ධය ඔවුන්ට හිසරදයකි. මේ සියල්ලටම වඩා 2019 චන්දයේදී චන්ද කොට්ඨාශ මට්ටමින් ගෝඨාභයට ලැබුණ උතුරේ දෙමළ චන්ද සංඛ්‍යාව ටී.එන්.ඒ ඊළම් මළබෙරයේ හඬය.

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B, Ph.D.

Related posts

සැබෑ සංහිදියාවක් වෙනුවෙන් මහින්ද කළ වැඩ වලින් දශමයක්වත් මේ ආණ්ඩුව කරලා නෑ

colombotoday

යහපාලන සංහිදියාවේ සළුපිළි ගැලවූ යාපනය සිසු ප්‍රහාරයෙන් මතුවන බෙදුම්වාදයේ ගිණි පුපුරු !

colombotoday

දළදා පෙරහැර ඉවර වුණාම අලි ඇතුන් කදුළු සලමින් සමුගන්න හේතුව !

colombotoday

බුදුරදුන්ගේ දෙවන ලංකාගමනය සිදුවූ නාගදීපය

colombotoday

ජෙරම්-ඕමල්පේ නාටකය ජෙරම්ගේ ඇප සඳහායි. – මහා සංඝරත්නය සමාව දුන්නැයි අධිකරණයට පෙන්වීමේ සුදානමක් – කෝටි ගණන් විසිවෙයි

colombotoday

ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් මහතාගේ ජන්මදිනය අදයි

colombotoday