Articles

බෞද්ධයන්ටත් භික්‍ෂුන් වහන්සේටත් අපහාස වෙන තුච්ඡ පිළිකුල් දේ මා කර නැත. ඒ තැනට යෙදුවේ CID පොලිසියයි.

ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ලංකාවේ සිවුවැනි අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූයේ 1956 අප්‍රේල් 12 වැනි දිනය. ඒ මහතාගේ මැතිවරණ ජයග්‍රහණය 1956 විප්ලවය නමින් දේශපාලන විචාරකයෝ හඳුන්වති. බණ්ඩාරනායක යුගය ලෙස නම් කෙරුණු කාල පරිච්ඡේදය මෙරට දේශපාලනයේ සුවිශේෂී වෙනස්කම් රැසක් සිදුවූ වකවානුවක් ලෙස ඉතිහාසයට එක්වී තිබේ.

අගමැති බණ්ඩාරනායක මහතා සාහසිකයකුගේ වෙඩි පහරකට ලක්ව 1959 සැප්තැම්බර් 26දා අභාවප්‍රාප්ත විය. බණ්ඩාරනායක ඝාතනය ලෝක රාජ්‍ය නායකයන් පවා සසල වූ බරපතළ දේශපාලන සංසිද්ධියකි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් තල්දූවේ සෝමාරාම හිමියන්ට මරණ දණ්ඩනය නියම විය. අගමැති ඝාතනය කුමන්ත්‍රණයක් ලෙස අර්ථ දැක්වුණු අතර මාපිටිගම බුද්ධ රක්ඛිත හිමියන්ට සහ එච්.පී. ජයවර්ධනට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. එම මහාධිකරණ නඩු තීන්දුව 1961 මැයි 11 වැනිදා ලබාදුන් අතර විත්තිකරුවන්ගේ අභියාචනා පිළිබඳ ඇපැල් අධිකරණයේ නඩු විභාගයේ තීන්දුව 1962 ජනවාරි 15 වැනිදා දෙන ලදී. එමඟින්ද තල්දූවේ සෝමාරම හිමියන්ගේ මරණ දඬුවම ස්ථීර කෙරිණි. සෝමාරාම හිමියන් 1962 ජූලි 18දා වැලිකඩ බන්ධනාගාරයේදී එල්ලා මරන ලදී.

අගමැති බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධව සමාජය තුළ විවිධ ආන්දෝලනාත්මක මත පැතිරුණු අතර අඩසිය වසකට අධික කාලයක් ගත වී ඇති නමුදු ඒ පිළිබඳව වූ සංවාදයක් පැරැන්නන් අතර තවමත් පවතී. එය එසේ වුවද අධිකරණය විසින් ඊට නෛතික තීන්දුවක් ලබාදී ඇති බව අමතක නොකළ යුතුය.

ඉතිහාසමය වැදගත්කමක් ඇති මෙම සිදුවීම සම්බන්ධව උනන්දුව දක්වන්නන් හට විත්තිකරු ලෙස මරණ දඬුවම් ලද සෝමාරාම හිමියන් දැරූ අදහස් හා නිගමනයන් අසන්නට, දකින්නට අවස්ථාවක් නොවීය. එහෙත් ලියුම්කරු දීර්ඝ කාලයක් සිදුකළ ගවේෂණයක ප්‍රතිඵල ලෙස සෝමාරාම හිමි මරණ මංචකයේ සිට ලියන ලද ලිපි කිහිපයක් පාඨකයන් අතට පත් කරන්නට හැකියාව ලැබිණි. ඒවා අතිශය සංවේදී ආමන්ත්‍රණයන්ගෙන් යුතුය.

තල්දූව විහාරස්ථානයේ එවකට වැඩ සිටි සෝමාරාම හිමියන්ගේ පැවිදි සොහොයුරු මලන්දෙණියේ සෝමාලෝක ස්ථවිරයන්ට එම ලිපි එවා තිබේ. උන්වහන්සේද අපවත් වී බොහෝ කල්ගත වී ඇත. දැනට එම සංඝ පරම්පරාවේ වගකීම දරන්නේ එල්ලාවල නන්ද ස්වාමීන් වහන්සේය. සෝමාරාම හිමියන් ඉතා සමීපව ඇසුරු කළ තල්දූවේ ඒ.ඩී.ආර්. කරුණාරත්න මුදලාලි මහතාද කලකට ඉහත මිය ගොසිනි.

ඒ මහතා සෝමාරාම හිමියන් මරණයට කැපව සිටියදී සිරගෙට ගොස් හමුවී පැමිණි තැනැත්තන් අතරින්ද එක් අයෙකි. සෝමාරාම හිමියන්ගේ ලිපි පහක් අපි පසුගිය කලාපවල පළ කළෙමු. තල්දූව විහාරස්ථානයේ දායකයකුට එවූ එකම ලිපිය සෝමාරාම හිමියන් එවා තිබෙන්නේ ඉහත සඳහන් ඒ.ඩී.ආර්. කරුණාරත්න මුදලාලිටය.
මම එවැනි දෙයක් කළේ නැතැයි ඉඳුරාම පවසන හිමියෝ “මා මළාට කම් නැත. කැත වැඩකට සම්බන්ධ කර මැරීම මටම පිළිකුලකි.” යනුවෙන් එම ලිපියේ සඳහන් කර තිබේ. මේ එම ලිපියයි.

ඒ.ඩී.ආර්. කරුණාරත්න මහත්මා,
කරුණාරත්න ස්ටෝර්ස්,
තල්දූව,
අවිස්සාවේල්ල.
ප්‍රිය මහත්මයාණෙනි,

කර්ම විපාකයක් විනා අන් කිසිවක් නොවේ. මම එවැනි දෙයක් කළේ නැත. පළමුව පොලිසියට විස්තරය කීවෙමි. පසුව බොරු ප්‍රකාශ කරන්නට යෙදුණේ පොලිසියේ කීම පිටය. මා දුබල වී සිටින අවස්ථාවේ ඔවුන් කියන කියන දේ කළෙමි. එයින් මා රැවටුණා. දැන් මට කියන්න තියෙන්නේ හිතවතුන්ව සිටි අයට මා මිනීමරුවකු ලෙස හංවඩු ගැසීමයි. නමුත් පොලිසියයි එයට වරදකරුවෝ. මම මළාට කම් නැත. කැත වැඩකට සම්බන්ධ කර මැරීම මටම පිළිකුලකි.

සැප වේවා!

තල්දූවේ සෝමාරාම

තල්දූවේ සෝමරත්න මුදලාලිටද සෝමාරාම හාමුදුරුවෝ ලිපියක් යවා තිබේ. එය හෙළි වන්නේ මලන්දෙණියේ සෝමාලෝක හිමියන් හට එවා ඇති ලිපියෙනි. සෝමාරාම හිමියන් සඳහන් කරන කරුණු ගැඹුරින් වටහා ගන්නට නම් අගමැති බණ්ඩාරනායක ඝාතනය හා සම්බන්ධ නඩු වාර්තා මෙන්ම ඊට පසුබිම් වන නිල නොවන මූලාශ්‍ර හා තොරතුරුද අධ්‍යයනය කළ යුතුය. මෙම සංවේදී ලියුම් ඊට අත්වැලක් සපයනු ඇත.

ඇම්. සෝමාලෝක ථෙරො
තල්දූව විහාරය
දෙහිඕවිට
සාදරයෙනි,

සෝමරත්නට ලිපියක් එවා ඇත. ඒ ගැන දැනුවත්ව ඇතැයි සිතමි. මම පරලොව ගමනට සූදානමින් සිටිමි. පෙර කර්මවලින් බේරෙන්න කිසිවකුට බැහැ. අගමැතිතුමාට මම වෙඩි තැබුවේ නැහැ. තුච්ඡ පිළිකුල් දේ මා කර නැත. බෞද්ධයන්ටවත් භික්‍ෂුන් වහන්සේටවත් මගෙන් අපහාසයක් වුණේ නැත. ඒ තැනට යෙදුවේ සී.අයි.ඩී. පොලිසියයි. මට වෙඩි වැදීමෙන් පසු සිහිය අඩුවිය. ඒ අවස්ථාවේ මට නොයෙක්දේ දී මගෙන් ඔවුන්ට වුවමනා විදියට කරුණු ලියවා ගත්තා.

එම නිසා මේ ගැන මම නිවැරැදිකරු වෙමි. මරණාසන්න වේලේ මේ කියමන පිළිගෙන ගමෙත් අවටත් මෙය පහදා දෙන්න. තවද අපරාධය කළ අය රටට පෙන්වා දෙන ලෙස සියලු දෙවියන්ගෙන් දිවා රෑ දෙකෙහි මා ඉල්ලා සිටිමි. ගමේ අයට හිතැතිව හොඳින් කටයුතු කරගෙන සිටින්න. හැම දෙනාටම මම මෙත් වඩමි. මේ අපරාධය කළ අය පොලිසියෙන් ඇල්ලුවේ නැහැ. එය තමා වංචාව, අපරාධය.

කවුරු කෙසේ කීවත් මගේ සිත මම දනිමි. මා පිරිසුදුයි. එම නිසා මරණයට භය නැත. සිංහල බණ පොත් කිහිපයක් මගේ නමින් බන්ධනාගාරයට භාර දෙවන්න. පොත් බැලීම තමා මෙහි ලොකුම දේ. මම දැන් අවසාන වශයෙන් කියන්නේ ‘උප්පජ්ජිත්වා නිරුජ්ජන්තී’ යන්නයි.

මෙයට,
තල්දූවේ සෝමාරාම

ඉපදෙන සියලු සත්ත්වයන්ට මරණය නියම බව පැවැසෙන උප්පජ්ජිත්වා නිරුජ්ජන්තී බුදු වදනින් එම ලිපිය අවසන් කොට ඇත. මරණය අබියස සිටින තැනැත්තකුගේ භාව ප්‍රකාශනය මේ අයුරින් විද්‍යමාන වීම එක්තරා දුලබ සංසිද්ධියකි. සෑම ලිපියක්ම හිතන්නට බොහෝ දේ ඉතිරි කර ඇති සැටි පෙනෙයි. මේවා හුදෙක් සෝමාලෝක හිමියන්ටම ලියුවා මිස තුන්වැන්නකුගේ ඇසට ලක් වේයැයි සෝමාරාම හිමියන් නොසිතන්නට ඇත.

ඒ වනවිටත් අගමැති ඝාතනය සම්බන්ධයෙන් රට වැසියන්ගේ කේ‍රා්ධය තමන් වහන්සේට එල්ල වී ඇති බව උන්වහන්සේ දැන සිටින්නට ඇත. මේ ලිපි රට්ටුන්ට පෙන්වා කරුණු පහදන්නට හැකි වාතාවරණයක් සෝමාලෝක හාමුදුරුවන්ට කොහෙත්ම තිබෙන්නට නැත. සෝමාරාම හිමියෝ මේ ලියමනේද නැවතත් සඳහන් කර ඇත්තේ ‘අපරාධය කළ අය රටට පෙන්වා දෙන ලෙස සියලු දෙවියන්ගෙන් දිවා රෑ දෙකෙහි ඉල්ලා සිටිමි’යි යනුවෙනි.

කෙසේ වුවද සෝමාරාම හිමියන් එල්ලා මරන්නට ප්‍රථමයෙන් පැවිද්ද අත්හළ බව සත්‍යයකි. ආගම අත්හැරියාද යන්න ගැන නිශ්චිත නැත. අගමැති ඝාතන නඩු විභාගයේදී සෝමාරාම හිමියන්ට එරෙහිව ඉදිරිපත්වූ ප්‍රබල සාක්‍ෂියක් වූයේ නිවන්තිඩියේ ආනන්ද හිමියන්ගේ සාක්‍ෂියයි.

”සෝමාරාම පිස්තෝලය දෑතින් අල්ලාගෙන අගමැතිතුමාට පන්න පන්නා වෙඩි තැබුවා” යැයි ආනන්ද හිමියෝ සාක්කි කූඩුවේ සිට ප්‍රකාශ කළහ. එම ප්‍රකාශය විත්තියේ දැඩි අභියෝගයටද ලක්විය. සෝමාරාම හිමි පෝරකයට නංවන්නට දින කිහිපයකට පෙර එවූ ලිපියක ආගම ගැන කලකිරී සිටින බව සඳහන් වේ.

”අපේ ආගමේ පළිගැනීම් බොහෝය. ආගම පොත්පත්වලට සීමා වී තිබේ. වැඩවලින් නැත.” යනුවෙන් සඳහන් කරන අතරම ”මගේ අදහස එවැනි අයගෙන් තොරව මැරෙන්නට බවද ලියා ඇත.” මේ ලිපිවල දැඩි කලකිරීමක් පෙන්වන එකම ලිපියද මෙය වේ.

ඇම්. සෝමාලෝක
තල්දූව පන්සල
දෙහිඕවිට
සෙත් වේවා,

මේ ලියන්නේ ඉතා අවශ්‍ය කාරණා වගයක් දැනුම් දීම සඳහා කැඳවා ගැනීම පිණිසයි. සෝමරත්නත් සමඟ අවසාන වරටත් ලබන සතියේ පැමිණෙන්න. අපේ ආගමේ පළිගැනීම් බොහෝය. පොත් පත්වලට පමණය ආගම සීමා වී තිබෙන්නේ. වැඩවලින් නැත. එමනිසා මගේ අදහස එවැනි අයගෙන් තොරව මැරෙන්නයි. ලියයුතු දෑ තිබෙතත් මෙවැන්නක ලිය නොහැකිය.

ගෙදර අයට කියන්න මා බැලීම සඳහා මෙහෙ එන්න එපාය කියන්න. මම මේ දිනවල එක සිතින් හුදකලාව ආගම්වල වැඩ ගැන සිතමින් සිටිමි. ලබන මස 12 වැනිදා පරලොව යන්න ලැබේවායි පතමි.

මෙයට
තල්දූවේ සෝමාරාම

සෝමාරාම හිමියන්ගේ අවසන් ලිපිවලින් හෙළිවන මනෝභාවය පිළිබඳ මෙයට වඩා ගැඹුරු විශ්ලේෂණයක් අවශ්‍ය බව හිතමි. ඉතා පැහැදිලි එක් කරුණක් වන්නේ හිමියන් මෙම අපරාධයට තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බව සඳහන් කරන අතරම බුද්ධ ධර්මයට අනුකූලව යමින් පූර්වයෙහි සිදු කළ අකුසල කර්මයක් තමන්ට පලදෙන බැවින් කළ හැකි කිසිවක් නැත යන තැනට පැමිණ ශක්තිමත්ව මරණයට මුහුණදී ඇති බවය.

සෝමාරාම හිමි අවසන් ලිපියේ සඳහන් කර තිබූ කවි දෙකින් මෙම සටහන අවසන් කරමි.

ජීවිත මරණ දෙක මැද සටනක වීම
මාසිත යෙදී ඇත ගෙල වැටෙනා තුරු දාම
පාලිත සිර කූඩුවක සිට දිව රෑ සෑම
වාගත නොහැක කකියයි හදවත බෝම

ඇද නැති හදවතක් මෙතුවක් කල් දැරුවා
ගුණමකු සමාජය ගැන පිළිකුල් කෙරුවා
සිතුවිලි දමක පැටලී ලෙස සිරකරුවා
සෝමාරාම පසුවෙයි එනතුරු මරුවා

තල්දූවේ සෝමාරාම
නිමි.

උදේනි සමන්කුමාර
ඡායාරූප – සස්සඳ ලි

Related posts

1818 අධිරාජ්‍ය විරෝධි කැරැල්ල 2018දීත් යළි ඇති නොවුනොත් ජාතියේ ඉරණම භයානකයි

colombotoday

“මේ ඇසෙන්නේ රට බෙදන පෙරහැරේ ෆෙඩරල් කස කාරයන්ගේ හඬයි” – ඉදුරාගාරේ ධම්මරතන හිමි

colombotoday

ආහාර සංස්කෘතියෙන් මනුෂ්‍යත්වයේ සෙනෙහස පවුල තුළ ගොඩනගමු!

colombotoday

බේරෙන්න බැරි කොරෝනා භීතිකාව. වෛරසයේ ආරම්භය සහ ක‍්‍රියාත්මක වන්නේ මෙහෙමයි.

colombotoday

දකුණු කොරියාව අනුගමනය කළ කොරෝනා පාලනයේ ටී-3 ක්‍රමවේදය

colombotoday

ඒකීය – සන්ධීය – එක්‌සත්, වචන හරඹය සහ රට බෙදීමේ මාර්ග සිතියම

colombotoday