Colombo Today Local News

“20න් පත්වන භයානක ජනපති” ගැන උදය ගම්මන්පිල පවසයි

20 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයට බාරදුන් පෙත්සම ඊයේ දින විභාගයට ගත් අවස්ථාවේදී ඒ මහතා විසින් මාධ්‍ය වෙත දක්වන ලද අදහස්. පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර, සංස්කෘතික කටයුතු ලේකම් උපුල් කෝණාර, ජාත්‍යන්තර කටයුතු ලේකම් රෝහණ තල්පාවිල යන මහත්වරුන්ද මේ අවස්ථාවට සහභාගී විය. (2018.09.12)

20න් පත්වන භයානක ජනපති

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද විසිවන සංශෝධනය මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගනිමින් පවතිනවා. පෙත්සම ගොනු කළ මා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කරුණු දක්වනවා. ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මැතිතුමා මෙම පනත් කෙටුම්පතේ තියෙන භයානකම කාරණයක් පිළිබඳව කරුණු දැක්වූවා. විධායක ජනාධිපති ධූරය අහෝසි කළයුතු බව කියලා, ඉන්න ජනාධිපති ඒකාධිපතියෙක්  යැයි කියලා, ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එනු ලැබූ මෙම කෙටුම්පතින් ඇත්තටම සිදුවන්නේ  ඉන්න ජනාධිපතිටත් වඩා මහා බලවත් ඒකාධිපති ජනාධිපති වරයෙක් බිහිකිරීමයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තියේ දැනට කියන්නේ ජනතාවගේ විධායක බලය ජනතාව විසින් පත් කර ගනු ලබන ජනාධිපති විසින් භාවිතා කරන්නේය කියලයි. නමුත්  ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කරනවා එයට ජනාධිපති කියන වචනය වෙනුවට ජනපති සහ ඇමති මණ්ඩලය කියලා යොදන්න. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ කෙටුම්පතේ හැටියට ජනාධිපතිවරයා ඇමති මණ්ඩලයේ සාමාජිකයෙක් නෙවෙයි. ඔහු පාර්ලිමේන්තුවට යන්නෙත් නැහැ. එවිට මේ ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය වෙන වෙනම විධායක බලය භාවිතා කරනවා. ජනාධිපති වරයාගේ ආණ්ඩුව වෙනමත් අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයේ ආණ්ඩුව වෙනමත් පවතිනවා. වත්මන් ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ අසුන් ගන්නා නිසා අමාත්‍ය මණ්ඩලයේ පීඩනයට ඔහු ලක් වෙනවා. අමාත්‍යවරුන් ඔහු සමඟ තර්ක කරනවා විවිධ යෝජනා ගේනවා. ඒ වගේම වත්මන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ද අසුන් ගන්නවා. එවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ද ආණ්ඩුව කරගෙන යෑම පිළිබඳව යම් පීඩනයක් ඔහුට එල්ල වෙනවා. මේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට යන්නෙත් නැහැ අමාත්‍ය මණ්ඩලය වෙත යන්නේ නැහැ නමුත් ඔහු විධායක බලය තනිව පාවිච්චි කරනවා. ඒ නිසා මේ ජනාධිපති දැන් සිටින ජනාධිපතිවරයාටත් වඩා කෙතරම් භයානක ද කියන කාරණය අපි අද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙන්වා දුන්නා.

ඒ එක්කම රාජ්‍යයට පාලකයන් දෙදෙනකු බිහි කිරීමයි මින් සිදු වෙන්නේ. ඔළු දෙකක් සහිත භේරුණ්ඩ පක්ෂියා වැනි පාලනයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ ගෙනෙන්න හදන්නේ. නොදන්න දෙමළෙට ගිහින් වරිගේ නහනවා කියන්නේ මේ වගේ දේවල් වලට තමයි.

අපේ අවාසනාවට මේ මන්ත්‍රීතුමන්ලා හිතාගෙන ඉන්නවා කඩදාසි මිටියකුයි බෝල්පොයින්ට් පෑනකුයි අතට ගත්තහම ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් හදලා ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. නමුත් ව්‍යවස්ථා සංශෝධනය කියන එක ව්‍යවස්ථාවේ මූලධර්මයන් පිළිබඳ අවබෝධයක් තියෙන අවස්ථාව පිළිබඳ ගැඹුරු හැඳින්වීමක් තියෙන අය විසින් කළ යුතු කාරණයක්.  ජනතා විමුක්ති පෙරමුණ විසින් වත්මන් ජනාධිපති ධුරයේ බලතල අඩු කිරීම සඳහා විසිවන සංශෝධනය ඉදිරිපත් කරන්නට යෑමෙන්  ඊටත් වඩා බලවත් ජනාධිපති ධූරයක්  බිහි වීමෙන් එය පැහැදිලි වෙනවා.

ආණ්ඩුකාරවරුන් මෙතෙක් භාවිතා කළේ විධායක ජනාධිපතිවරයාට ජනතාව විසින් ලබා දුන් බලය. නමුත් ජනාධිපතිවරයා යටතේ ආණ්ඩුකාරවරුන් සිටියදීයි මේ ජනාධිපතිවරයා පත් කරනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්. ඒ නිසා මේ විසිවන සංශෝධනයෙන් බිහිවන ජනාධිපතිවරයා පත්කරනු ලබන ආණ්ඩුකාරවරුන්ට පළාත් සභාවල මහ ඇමතිවරුන් ඉක්මවා කටයුතු කරන්නට බලයක් නැහැ.  මන්ද එම මහ ඇමතිවරුන් පත් කර ඇත්තේ ජනතාව විසින්. ඒ නිසා මහ ඇමතිවරුන් බලවත් කරමින් ආණ්ඩුකාරවරුන් දුර්වල කරමින් පෙඩරල් රටකට අවශ්‍ය පසුබිම ජනතා විමුක්ති පෙරමුණ මෙම විසිවන සංශෝධනය හරහා යෝජනා කර තිබෙනවා. ඒ නිසා තමයි දෙමළ ජාතික සන්ධානයේ මා මිත්‍ර මන්ත්‍රී ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතා උසාවියට ඇවිදින් දත කට මැදගෙන මේ කෙටුම්පත රැකගැනීම වෙනුවෙන් පෙනී සිටින්නේ. මන්ද මේ කෙටුම්පත හරහා දෙමළ බෙදුම්වාදයට අවශ්‍ය විෂබීජය අපේ ව්‍යවස්ථාවට එකතු කිරීමේ කූට උත්සාහයක් තිබෙන නිසා.

විසිවන සංශෝධනයෙන් බිහිකරනු ලබන ජනාධිපති වරයාගේ ධූරකාලය සීමාවකින් තොරව වැඩි කිරීමක් සිදුවෙලා තිබෙනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියනවා ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 ක් වන්නේය කියල. නමුත් මේ විසිවන සංශෝධනයෙන් කියනවා ජනාධිපතිවරයාගේ ධුර කාලය සාමාන්‍යයෙන් වසර පහක් වන්නේය කියල. ඒ වගේම ඊළඟ ජනාධිපතිවරයා පත් කරගන්න ක්‍රමයක්ත් ප්‍රායෝගික නැහැ. පාර්ලිමේන්තුවේ 50% ක සහයෝගය ලැබෙන තුරු ඊළඟ ජනාධිපති වරයා පත් කරගන්න බැහැ. එය ගන්න බැරි උනොත් මොකද කරන්නේ කියන එකත් මේ කෙටුම්පතේ සඳහන් කර නැහැ. නමුත් මෙහි කියනවා අලුත් ජනාධිපති වරයා කවදා හෝ පත් කරගන්නා තෙක් සිටින ජනාධිපතිවරයාට හමුවේ කටයුතු කරන්න පුළුවන් කියලා. එහෙම නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට දින සීයෙන් ගෙදර යන්න ආවත් තව වසර විසිපහක් තිහක් වුණත් අඛණ්ඩව ජනාධිපති ධූරයේ රැඳී සිටීමට අවශ්‍ය නීතිමය පසුබිම මේ විසිවන සංශෝධනය හරහා ජනතා විමුක්ති පෙරමුණ විසින් සකස් කර තිබෙනවා.

 

Related posts

‘‘මහජන ආරක්ෂක ඇමැති’’ නව කැබිනට් තනතුරට රියර් අද්මිරාල් සරත් වීරසේකර ?

colombotoday

මේ මුස්ලිම් ත්‍රස්තයෝ ශ්‍රී ලංකාවේ ලොකුම සල්ලිකාරයෝ… එනිසා ලංකාවේ දේශපාලකයන්ගෙන් යුක්තිය ඉටු නොවේවි – ලෝ ප්‍රකට හැකර්වරුන්ගෙන් පණිවිඩයක්

colombotoday

පරික්ෂා කලායැයි කෝප වී සිවිල් ආරක්ෂක භටයාට පහර දුන් පොහොට්ටුවේ මන්ත්‍රී බන්ධනාගාර ගත කෙරේ

colombotoday

ජීවිතේට රනිල් යලි අගමැති කරන්නෑ – ජනපති විදෙස් මාධ්‍යටත් කියයි

colombotoday

අදත් පැයක විදුලි කප්පාදුවක්

colombotoday

තෙල් නෑ ! හිටපු ජනපති පාපැදියෙන් පාර්ලිමේන්තු එයි (Photo)

colombotoday