Colombo Today Local News

මේ විශ්වාස භංග යෝජනාව දින්නත් පරාදයි. පැරදුනත් පරාදයි. – උදය ගම්මන්පිල

සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග යෝජනාවට කොන්දේසි දෙකක් යටතේ සහයෝගය ලබාදීමට සූදානම් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය. විශ්වාසභංග යෝජනාව සඳහා පක්ෂව මන්ත්‍රීවරුන් 113කගේ සහය ලැබෙන බවට සහතික කර ගැනීම සහ විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුව පරාජයට පත් කිරීමෙන් අනතුරුව පිහිටවනු ලබන අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවකට සමගි ජන බලවේගය සහාය ලබා දිම එම කොන්දේසි බව පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මහතා මේ බව සඳහන් කර සිටියේ අද දින (2022.04.18) පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් මෙසේ අදහස් ප්‍රකාශ කළේය.

විපක්ෂයේ මන්ත්‍රි ධූර 46ක් පමණක් තිබෙන සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් භාර දීමට කටයුතු කරන බවට ආරංචියි. මේ යෝජනාව සම්මත කර ගන්න තවත් මන්ත්‍රිවරු 87දෙනෙකුගේ සහය අවශ්‍යයි. ඉන්න ගාන වගේ දෙගුණයක් වාගේ මන්ත්‍රිවරුන් පිරිසක් හොයාගන්නට අවශ්‍යයි. නමුත් සජබ මේ දක්වාම මේ පිළිබදව අනිකුත් දේශපාලන පක්ෂ සමග දේශපාලන කණ්ඩායම් සමග සාකච්ඡාවක් කර නැහැ.

මේ විශ්වාස භංග යෝජනාව දින්නත් පරාදයි. පැරදුනත් පරාදයි. අපි එහෙම කියන්නේ ඇයි?

මේ ආණ්ඩුව ගෙදර යැවිය යුතු බව ඇත්ත. ආණ්ඩුව ගෙදර යැවීමේ චේතනාවෙන් සජබ විසින් ඉතාම සද්භාවයෙන් මේ යෝජනාව ගෙනාපු එකත් ඇත්ත. නමුත් 113 සකසා ගැනීමේ නිසි වැඩපිලිවෙලක් නැතුව මේ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් වෙන්නේ ආණ්ඩුවට වාසියක්. දැනට මන්ත්‍රිවරුන් 118 සහයෝගය ලබන ආණ්ඩුව විසින් මේ යෝජනාව පරාජය කලොත් රට තුල හතර ගාතයෙන් වැටී සිටින ආණ්ඩුවට විපක්ෂය විසින් නැවත ශක්තිමත් කලා වෙනවා. අපි ආණ්ඩුවක් වැට්ටවීමට තෝරාගනු ලබන උපාය හේතුවෙන් ආණ්ඩුව තිබෙනවාටත් වඩා ශක්තිමත් වීම වැළැක්වීම අපේ වගකීමක්.

විශ්වාස භංගය දින්නොත් පරාදයි වෙන්නේ කොහොමද? සජබ තවමත් සර්වපාක්ෂික අන්තර්කාලින ආණ්ඩුවට සිය එකඟතාවය පල කර නෑ. මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළොත් තිබෙන ආණ්ඩුව විසිර යනවා. හැබැයි සජබ අන්තර්කාලීන ආණ්ඩුවට එකතු වෙන්නේ නෑ කියන්නේ අලුත් ආණ්ඩුවක් පාර්ලිමේන්තුව තුළ හැදෙන්නේ නැහැ කියන එකයි. මොකක්ද මේකෙ අවසන් ප්‍රතිඵලය. තියන ආණ්ඩුව නැති වෙනවා අලුත් ආණ්ඩුවක් හැදෙන්නේ නැහැ කියන්නේ රට අරාජික වෙනවා කියන එකයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම අර්බුදයකට මුහුණ දී සිටින මේ මොහොතේ ආණ්ඩුවක් නැති අරාජික තත්ත්වයකට රට ගෙනියන්න පුළුවන්ද ? මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ කිසිවකුට ආණ්ඩුවක් හදාගන්න බැරුව රට ටික කාලයක් අරාජිකව පැවතිලා පාර්ලිමේන්තු මැතිවරණයකට රට තල්ලු වීමයි. පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය හැකි වාතාවරණයක් දැන් තියෙනවද?

ඉන්ධන නැති විදුලිය නැති කඩදාසි නැති බෙහෙත් නැති රටක මැතිවරණයක් පවත්වන්න පුළුවන් ද? අන්තිමට මැතිවරණය ජයග්‍රහණය කරලා රට භාර ගන්නේ නොමිලේ ගෑස් සිලින්ඩර් බෙදන බෙහෙත් බෙදන කෑම මළු බෙදන මුදලාලිලා පිරිසක්.

කොන්දේසි දෙකක් මත අපි විශ්වාස භංගයට සහය දෙන්න සූදානම්. පළමුව මේක ආණ්ඩුවේ ජයග්‍රහණයක් නොවන බව තහවුරු කර ගැනීමට මන්ත්‍රිවරුන් 113කගේ සහයෝගය තිබෙන බව සහතික කර ගත යුතුයි. ටිකක් වැඩිපුර ගත්තොත් හොඳයි. අර ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමාගේ සිද්ධිය වගේ දේවලුත් සිද්ධ වෙන්න පුළුවන් නිසා. දෙවනුව ආණ්ඩුව පරාජය කිරීමෙන් පසු පිහිටුවන අන්තර්කාලින සර්ව පාක්ෂික ආණ්ඩුවට සජබ සහයෝගය ලබා දිය යුතුයි. මේ කොන්දේසි දෙකට එකඟ නම් විතරයි මේ ආණ්ඩුව පරාජය කිරීම සඳහා පසුබිම සකසාගැනීමට පුළුවන් වන්නේ.

විසි එක් වන සංශෝධනය කතානායක අතට ගනියි.

ස්වාධීන වූ මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තුවේ වෙනම අසුන් පැනවීමට කතානායකතුමා අද එකඟතාවය පළ කලා. එතැන දී සුදුසු සංශෝධන සහිතව 19 වන සංශෝධනය නැවත බලාත්මක කරන 21 සංශෝධනය ගැනත් සාකච්ඡා වුණා. එය ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු පැමිණීමේ අවස්ථාව අහිමි කිරීම වැනි ඉතා වැදගත් කාරණා ගොඩක් එක්ක කෙරෙන දෙයක්. එය පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙස ගෙනාවොත් සම්මත කර ගැනීමට මාස අටක පමණ කාලයක් වැය වන අපි පෙන්වා දුන්නා. ඒ යෝජනාව ඉදිරිපත් කලාට පස්සේ කතානායකතුමා විසින් ජනාධිපතිතුමා සමග සාකච්ඡා කර එය ආණ්ඩුවේ යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අපට පොරොන්දු වුණා.

Related posts

පෙබරවාරියේ උද්ධමනය ඉහළ ගිහින්

colombotoday

විදෙස් දූත කාර්යාල නැවත අ‍රින්න අනුමැතිය

Admin

සමාජ මාධ්‍ය ජාලා අවහිරවෙයි

colombotoday

සපුගස්කන්දේ වැඩ ඇරඹීම කල්යයි

colombotoday

දවසක් ඇතුලත ආරම්භ කරපු යුනියිටඞ් ෆාමස් ට‍්‍රස්ට් එකවුන්ට් සමාගම පොහොර ගෙන්නුවේ කොහොමද…? විජිත හේරත් අසයි

colombotoday

පොහොර හිඟයට කැබිනට්ටුව ඇවිස්සෙති – ගොවීන්ට නොමිලේ දෙන්නැයි ඇමති අනුර යාපා ඉල්ලයි

colombotoday