Gossip

මම කවදාහරි මැරෙන්නෙත් වේදිකාවක් උඩ – උමාරියා සිංහවංශ

මම අභියෝග භාර ගන්න කැමැති කෙනෙක්

මම කවදාහරි මැරෙන්නෙත් වේදිකාවක් උඩ

භාතිය – සන්තුෂ් කියන්නේ මගේ අයියලා දෙන්නා

ඇය ලාංකේය ගායන ක්ෂේත්‍රය එක තැන ඔද්දල් වෙමින්, නව නිර්මාණකරණය හීනයක් වුණු කාලයක භාතිය හා සන්තුෂ් සමඟ එක් වෙමින් තම සුමියුරු හඬින් ප්‍රේක්ෂකයන් වසඟයට ගත්තාය. සුවිසල් පරාසයක විහිදී යන සිය හඬ පෞරුෂය භාවිතයෙන් ප්‍රේක්ෂකාගාරය තම හඬට නතු කරගත්තාය. ලාංකේය ගායන ක්ෂේත්‍රයට වෙනස් ආරක හඬක් එක් කළ ඇය උමාරියා සිංහවංශය. මේ දිනවල තිරගත වන ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ අනේ ඝනඳුර ගීතය ගයන්නේ ද උමාරියාය. මේ කතාබහ ඇය සමඟය.

 මේ දවස්වල උමාරියාගේ වැඩ කටයුතුවලින්ම කතාව පටන් ගමු ?

මේ දවස්වල මගේ අලුත්ම ගීතයේ රූප රචනයේ වැඩ කටයුතු කරගෙන යනවා. එහි රූගත කිරීම් කරන්නේ හම්බන්තොට. ඒ නිසා මේ දවස්වල නම් ගොඩක් කාර්යබහුලයි.

අලුත් ගීතය ගැන විස්තර කළොත් ?

මෙය ටිකක් වෙනස් ආරක ගීතයක්. මේ ගීතය නිර්මාණය කළේ මමයි මගේ සැමියා දිමිත්‍රි ෆොන්සේකායි. ගීතයේ තනුව මගේ. සංගීතය දිමිත්‍රිගේ. පද රචනය කළේ මනුරංග විජේසේකර. මගේ ගීත බොහෝමයක් තියෙන්නේ මන්ද ස්වරයෙන් ගායනා කරන ගීත. නමුත් මේ ගීතය ටිකක් වෙනස් මුහුණුවරක් ගත් නිර්මාණයක්.

ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ ඔබ ගායනා කළ ‘අනේ ඝණඳුර, ගීතය ගැන මේ මොහොතේ බොහෝ දෙනා කතාබහ කරනවා.

අනුරුද්ධ ජයසිංහ අයියා මට කතා කරලා ඇසුවා ‘නංගි අලුත් චිත්‍රපටයක් කරනවා ගින්නෙන් උපන් සීතල කියලා. ඒකේ ප්‍රධාන ගීතය ගායනා කරන්න කැමැතිද, කියලා. මම කොහොමත් ටිකක් වෙනස් වැඩ කරන්න කැමැතියි. අභියෝග භාරගන්න කැමැතියි. මේක වෙනස් වැඩක් වුණු නිසා මම ඒ ගීතය ගායනා කරන්න කැමැති වුණා. මේ ගීතයේ සංගීතය නවරත්න ගමගේ අයියා. මාත් එක්ක ගීතය ගායනා කරන්නෙත් නවරත්න අයියාම තමයි. මම සතුටු වෙනවා මේ වගේ නිර්මාණයකට ගායනයෙන් දායක වෙන්න ලැබීම ගැන.

රෝහණ විජේවීරගේ ආත්ම ප්‍රකාශනය ඔබේ හඬින්ම ගයන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ ?

‘ගින්නෙන් උපන් සීතල, දේශපාලනයට සම්බන්ධ චිත්‍රපටයක් වුණාට මම එයට සම්බන්ධ වෙන්නේ ගීත ගායනාව ඇසුරෙන්. එයාලට ඕනේ වුණේ රෝහණ විජේවීරගේ බිරියගේ චරිතයට ආරෝපණය කරලා මේ ගීතය ගායනා කරන්න. ඇත්තටම කිසිම දේශපාලන මතවාදයක් නොමැතිවයි මම මේ චිත්‍රපටයට සම්බන්ධ වුණේ.

ඔබ ක්ෂේත්‍රයට ආවේ භාතිය සහ සන්තුෂ් කණ්ඩායම සමඟින්. භාතිය සහ සන්තුෂ් සමඟ අලුත් නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද ?

අපි අලුත් ගීත කීපයක් නිර්මාණය කළා. භාතිය සන්තුෂ් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු විස්සක් පිරීම නිමිත්තෙන් ‘ඔබ නිසා, ගීත ඇල්බමය නිකුත් කළා. ඒ ඇල්බමයේ සනුක, උමාරියා, භාතිය සන්තුෂ් ගායනා කරන ගීතයක් තියෙනවා. තව ‘සරා සඳේ, කියලා වෙනස් ගීතයකුත් ඒ ඇල්බමයේම තියෙනවා.

ඔබ දීර්ඝ කාලයක් B n S සමඟ කටයුතු කරනවා. කණ්ඩායමක් ලෙස කටයුතු කරද්දි භාතිය සහ සන්තුෂ්ගෙන් කොයි වගේ සහයෝගයක් ලැබෙනවාද ?

මම ක්ෂේත්‍රයට ආවේ අවුරුදු 14 දී. මේ වෙද්දි වසර 14ක් මම භාතිය සන්තුෂ් සමඟ වැඩ කරනවා. මම ඒ කාලේ ව්‍යාපාර හා අලෙවි අංශයෙන් ඉදිරියට ඉගෙන ගන්නයි හිටියේ. සංගීතයෙන් ඉදිරියට යන්න කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒ වගේ කාලයක තමයි මට භාතිය, සන්තුෂ් සමඟ වැඩ කරන්න ලැබෙන්නේ. අවුරුදු 14ක පොඩි ළමයෙක් වුණු මම භාතිය සහ සන්තුෂ් හරහා ක්ෂේත්‍රයට එනවා. අවුරුදු 14ක් එයාලත් එක්ක එකට වැඩ කරනවා. භාතිය, සන්තුෂ් මගේ අයියලා දෙන්නා වගේ. පවුලක් වගේ එකට අපි වැඩ කරන්නේ. මගේ ජීවිතේ ඉදිරියට එන්න මට ඔවුන් ලබාදුන්නු ගුරුහරුකම් කියලා නිම කරන්න බැහැ.

පණ්ඩිත් අමරදේවයන් වැනි ක්ෂේත්‍රයේ දැවැන්ත පෞරුෂයක් සමඟ උමාරියා ගීත ගායනා කළා. එවැනි විශාරද මට්ටමේ ප්‍රවීණයකු සමඟ නැවත ගීතයක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද ?

ඔව්. බලාපොරොත්තුවක් තියෙනවා සහ මේ වන විට ගීතයක් කරමින් පවතිනවා. ඒ ගැන දැන්ම කියන්නේ නැහැ. ඉදිරියේදීම මගේ රසිකයන්ට ඒ ගැන දැනගන්න පුළුවන් වේවි. රසිකයන් පුදුම කරන්න ඕනෑ නිසා දැන්ම ඒ ගැන සඳහන් නොකර ඉන්නම්.

නව පරපුරේ ගායිකාවක ලෙස ඔබත් විශ්වාස කරන ආකාරය අනුව ගීතයක වඩාත් වැදගත් වන්නේ හඬද? නැති නම් රූපරචනයද ?

මම හිතන විදියට ගීතයක අංක එක වෙන්න ඕනෑ හඬ. ඒත් අද කාලේ ගීතයක් රූපරචනයත් එක්ක තමයි ජනප්‍රිය වෙන්නේ. වර්තමානයට අනුව බැලුවොත් හඬ සහ රූපරචනය කියන දෙකම වැදගත් වෙනවා. ඒත් මූලිකම දේ තමයි හඬ. වර්තමාන සංගීත ක්ෂේත්‍රය ගත්තොත් මේ දෙකම උසස් මට්ටමේ තියෙන හොඳ නිර්මාණ කරන අයත් ඉන්නවා. ඒ වගේම ගුණාත්මකත්වයෙන් අඩු නිර්මාණ කරන අයත් ඉන්නවා. සමහර රූපරචනා බලන්න බැරි තරම් පිළිකුල්. කිසිම හික්මීමක් නැතිව තමයි රූපරචනා හදලා තියෙන්නේ. රසිකයින් අතේ තමයි තියෙන්නේ තෝරා බේරා ගන්න එක.

වර්තමාන සංගීත ක්ෂේත්‍රයේ වෙනස් විය යුතු තැන් මොනවාද ?

වෙනස් වෙන්න ඕනෑ තැන් ගොඩක් තියෙනවා. ප්‍රධානම දේ තමයි ලංකාව කියන්නේ සංස්කෘතික වටිනාකමකින් ඉහළ රටක්. ඒ නිසා ලංකාවේ මිනිස්සුන්ට ගැළපෙන නිර්මාණ කරන්න ඕනේ. රටක ඉන්න මිනිස්සු ගැන අවබෝධයක් නැතිව ජාත්‍යන්තරයට කියලා නිර්මාණ කරලා වැඩක් නැහැ. කවදා හරි දවසක අපිට ජාත්‍යන්තරයට යන්න පුළුවන් වෙන්නේත් අපේ දේවල්වලින්, අපේ සංස්කෘතික වටිනාකමෙන් මිසක් හොලිවුඩ්, බොලිවුඩ් ආකෘතියට නිර්මාණ කරලා නෙමෙයි.

මෙහෙම ගිහින් ජනප්‍රියත්වය නැති වුණු දවසක උමාරියාත් සංගීත නිකේතනයක් පටන් ගනීවිද ?

කවදාවත් එහෙම වෙන එකක් නැහැ. මම කවදාහරි මැරෙන්නෙත් වේදිකාව උඩ. සංගීතයත් එක්ක තමයි මම ජීවත් වෙන්නේ. මම ගොඩක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. නිදි මරාගෙන, උගුර රිදෙනකං පුහුණු වීම් කරන්නේ. කවදාවත් ක්ෂේත්‍රයෙන් අයින් වෙන්නේ නැහැ. මගේ සැමියත් ඒකට කැමැති වෙන එකක් නැහැ. මගේ ජීවිතයේ හීන තියෙනවා. තාම ඒ හීනවලින් යථාර්ථයක් වෙලා තියෙන්නේ ටිකයි. ලංකාවේ සංගීතය ජාත්‍යන්තරයට අරගෙන යන්න මම හීන දකිනවා. ඒකට මහන්සි වෙලා වැඩ කරනවා. අදටත් මහන්සි වෙන්නේ ක්ෂේත්‍රය වෙනුවෙන්. කවදාහරි මැරෙන්නෙත් සංගීතය වෙනුවෙන් කැප වෙලා.

Related posts

ගිනි ගැනීමට ලක්වූ ඩැනීලා නැවේ ඔබ නොදුටු ඡායාරූප !

colombotoday

ලිට්ල් ස්ටාර් වේදිකාවෙන්, පුංචි තිරේ තරුවක් වූ තෙරුණි

colombotoday

මෙන්න නැටිලි

colombotoday

සංගීත ශිල්පී නොයෙල් රාජ් ගේ දියණිය බුකිය කලබමින් ගයන ගීතය

colombotoday

Video – ෆේස්බුක්, ස්කයිප්, දත්ත අසභ්‍ය වෙබ් අඩවිවලට. චැට් කරන්නෙ බලාගෙනයි.

colombotoday

වෛශ්‍යා වෘත්තියේ යෙදෙන අයත්, ඉරාජුත් සල්ලි හම්බකරන්න කරන්නේ එකමදේලු ! (Video)

colombotoday