Colombo Today Local News

නියෝමාල් රංගජීව හා එමිල් රන්ජන් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරේ

වැලිකඩ බන්ධනාගාරයට නීති විරෝධී ලෙස ඇතුළුවී සිරකරුවන් 27 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සහ ඒ සඳහා ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්දනාගාර ගත කර සිටි පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්‌ථානාධිපතිවරයා හා බන්ධනාගාර කොමසාරිස්‌වරයා ලබන 8වැනිදා දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (24 දා) නියෝග කළේය.

මෝෂස්‌ නියෝමාල් රංගජීව හා එමිල් රන්ජන් ළමාහේවා යන එම සැකකරුවන් දෙදෙනාට අවශ්‍ය මානසික වෛද්‍ය ප්‍රතිකාර හා උපදේශන ලබාදීමට පියවරගන්නා ලෙසටද අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා එහිදී වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට වැඩිදුරටත් නියෝග කළේය.

ඔවුන් දෙදෙනා මානසික ආතතියකින් පසුවන බව පෙන්වා දෙමින් ජාතික මානසික වෛද්‍යවිද්‍යා ආයතනයේ වෛද්‍යවරයකු විසින් ඉදිරිපත් කොට තිබූ වෛද්‍ය වාර්තාවක්‌ සලකා බැලූ අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

එම සැකකරුවන් දෙදෙනා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ඇතුළු බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්‍ෂාව යටතේ ඊයේ (24 දා) අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

2012.11.09 වැනිදා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය යුද හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශ නිලධාරීන් වැලිකඩ බන්ධනාගාරයට ඇතුළුවී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්ගේ නිසි අවසරයකින් තොරව බවත් බන්ධනාගාර නිලධාරීන්ට හැර වෙනත් පාර්ශ්වයකට බන්ධනාගාරයක්‌ තුළට ගිනි අවි රැගෙන ඇතුළුවීම බන්ධනාගාර පනත මගින් තහනම් කොට තිබියදී එලෙස ගිනි අවි රැගෙන ඇතුළුවීම නීති විරෝධී ක්‍රියාවක්‌ බවත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

එදින ඝාතනයට ලක්‌වූ පුද්ගලයන් අතරින් කිහිප දෙනකු මෙම සැකකරුවන්ට එරෙහිව මානව හිමිකම් නඩු පවරා තිබූ අය බවත් එහිදී පෙන්වා දුන් නීතිඥ සේනක පෙරේරා මහතා එලෙස නීති විරෝධී ලෙස බන්ධනාගාරයට ඇතුළුවීමට නියෝග කළ හා උපදෙස්‌ ලබාදුන් පිරිස සම්බන්ධයෙන්ද විධිමත් අයුරින් පරීක්‍ෂණ සිදුකරන ලෙස විමර්ශන නිලධාරීන්ට නියෝගයක්‌ කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එකී ආරක්‍ෂක අංශ නිලධාරීන්ට බන්ධනාගාරය තුළට ඇතුළුවීමට උපදෙස්‌ ලබාදී ඇත්තේ එකී ඝාතන කිරීමේ ෙච්තනාවෙන් නම් ඒ සඳහා උපදෙස්‌ හා නියෝග ලබාදුන් අයද එම ඝාතනවල සැකකරුවන් විය යුතු බව පෙන්වා දුන් අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා කෙසේ නමුත් එම ඝාතන 27 මගින් අපරාධමය වරදක්‌ සිදුවී ඇති බව තම අධිකරණයට පෙනී යන බවද පෙන්වා දුන්නේය.

එලෙස ඝාතනයට ලක්‌වූ පුද්ගලයන් බහුතරයකගේ හිසට හා පපුවට වෙඩි ප්‍රහාර එල්ලවී ඇති බව පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අනුව තම අධිකරණයට පැහැදිලි වන බවත් එහිදී පෙන්වා දුන් අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා ඒ අනුව එමගින් අපරාධයක්‌ සිදුවී ඇති බවට නිගමනය කළ හැකි බවද පෙන්වා දුන්නේය.

එහිදී පළමුවන සැකකරු වන පොලිස්‌ පරීක්‍ෂක රංගජීව මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත සිsරිවර්ධන මහතා සිය සේවාදායකයා එම ඝාතනවල සැකකරුවකු ලෙස නම් කිරීමට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශ මත පිහිටා ඔහු සම්බන්ධයෙන් සුදුසු තීරණයක්‌ ගැනීමට නීතිපතිවරයාට නියෝගයක්‌ කරන ලෙස ඉල්ලා සිටියේය.

ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා දෙවන සැකකාර එමිල් රන්ජන් ළමාහේවා මහතා වෙනුවෙන් පෙනී සිටි අතර රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ මාධව තෙන්නකෝන් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ලට සහය විය. පොලිස්‌ අධිකාරි නුවන් අසංග මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටියේය.

Related posts

මහනාහිමි තීරණය නොතැකේ.. ව්‍යවස්ථා මණ්ඩලයෙන් විමල් ගියාට ඒකාබද්ධය නොයයි !

colombotoday

කුඩා දරුවෙකු සමග අනාරක්ෂිත ඔරුවකින් ඉන්දියාවට පළා ගිය පිරිසක් අල්ලයි

colombotoday

ජනපතිට එරෙහි නඩුව නිෂ්ප‍්‍රභා කරයි.. රු 100,000නඩු ගාස්තු ගෙවන ලෙසට නියෝග…

colombotoday

වැලිපැන්නේදී හෙරොයින් ග්‍රෑම් 22ක් සමග පුද්ගලයෙක් කොටු

colombotoday

අලුත් සීමා නීර්ණයෙන් ශ්‍රීපාදස්ථානය බහුතර සිංහල පාලන බලප්‍රදේශයෙන් ඉවතට !

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම අත්හිටුවයි

colombotoday