ArticlesColombo Today Local News

අපේ රටට අවශ්‍ය කල දුටු කල වල ඉහ ගන්නට මාන බලන කුහක මිනිසුන් නොවේ. | විජේදාස රාජපක්ෂට දේශප්‍රේමියෙකුන්ගෙන් පිළිතුරක්

විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ජනාධිපති ගෝඨාභයට යවන ලද, සමාජ මාධ්‍ය හරහා දැවැන්ත ප්‍රසිද්ධියක් ලබා දී ඇති, විවෘත සංදේශය කියවා මෙසේ ලිවීමට සිතුනි. මම ද රටේ මෙතෙක් පැවති දේශපාලනය ගැන යම් අවබෝධයක් තිබෙන, දේශයට හිතැති පුද්ගලයෙක් බැවිනි.
ඔබ පළමුවෙන්ම කියනවා හිතවත් ගෝඨාභය කියා ඇමතුවේ ඇත්තෙන්ම ඔබ ගෝඨාභයට හිතවත් බැවින් බව. නමුත් ඔබ සඳහන් කරන එවන් හිතවත්කමක්, ලෙන්ගතුකමක් තිබුණේනම් එම ලිපිය සමාජ මාධ්‍ය හරහා සමාජගත කරන්නේ නැතිව පුද්ගලිකව ලිපියක් මාර්ගයෙන් ජනපතිට දැන්වීමට තිබුනා. හිතවත් මිතුරන් කටයුතු කරන්නේ එහෙමයි. සමහරු මෙය දකින්නේ විජයදාස මෙම ලිපිය හරහා වීරයකුගේ ප්‍රතිරූපය ජනතාව ඉදිරියේ මවාපාමින් 2025 දී රටේ නායකත්වයට ඒමට දරන බාල ප්‍රයත්න ක් බවයි.

ඔබ ජනාධිපති බලයට ගෙන ඒමට උදවු කරන්න ඇති. නමූත් පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔබ මනාප 1,20,626 ක් ගත්තේ ද ගෝඨාභය නිසා බව අමතක කරන්න එපා. ඔබ එක්සත් ජාතික පක්ෂයේ මහරගම සංවිධායක හැටියට 2015 මැතිවරණයේදී ගත්තේ ඊට 50,000 කටත් වඩා අඩුවෙන් බවත් අමතක කරන්න එපා.

ඔබ කියනවා එම ලිපිය ලියන්නේ අමනාපයෙන් නොවන බව. පළමුවෙන්ම කිව යුත්තේ මේ රජය පත්වී මහනුවර මඟුල් මඩුවේ ඇමති ධූරයන් පිරිනමන අවස්ථාවේ ඔබ එතැනට පැමිණියේ කැබිනට් අමාත්‍ය ධුරයක් අපේක්ෂාවෙන් බවයි. නමුත් ඔබට රාජ්‍ය අමාත්‍යධූරයක් ලැබෙන බව දැනගත් පසු එය පිළිනොගෙන කාටත් නොකියා ඔබ කොළඹ බලා ගියා. එසේ නැවත හැරී ගියේ අමනාපයෙන් නොවේ නම් ඉමහත් සතුටින් ද යන වග ඔබගේ හෘද සාක්ෂිය දන්නවා. එසේ නම් ඔබ ලිපිය ආරම්භ කර ඇත්තේම ඔබේ අවංක භාවය පිළිබඳ යම් සැකයක් කියවන්නා තුළ ඇති කරමින් නොවේද?

ඔබතුමා බෑන් කී මුන්ට අභියෝග කලා යැයි කීවත් අප නම් ඒ ගැන කිසිත් දන්නේ නැහැ. එහෙම කාටත් නොදැනෙන්න කළත් එහි කිසිම ප්‍රතිඵලයක් ඇති වුණෙත් නැහැ නේද? දරුස්මාන් කොමිටිය පත්කළේ මහින්ද රාජපක්ෂ නොවේ. එයත් බරපතළ සාවද්‍ය කියමනක්. ඒ කොමිටිය පත්කළේ බෑන් කී මූන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියටත් පටහැනිව. 2015 දී ඔබ ජිනීවා ගිහින් බොහොම අමාරුවෙන් යුද අපරාධ චෝදනා සමනය කළා කියා කියනවා.ඒකත් සත්‍යයෙන් තොර කියමනක්. ඔබත් ඇමැති ධුරය දැරූ යහපාලන රජය තමයි අපේ රණවිරුවන් යුධ අපරාධ කළාය යන්න අඩංගු 30/1 ජිනීවා යෝජනාවට සම අනුග්‍රාහකත්වය දුන්නේ. ඒ නිසා ඒක විවාදයකින් තොරව, චන්දයකින් තොරව සම්මත වුණා. ඔබ එම දේශද්‍රෝහී ක්‍රියාව වළකන්න කිසිත් කළේ නැහැ. අපේ රටේ ස්වාධීනත්වයට සෘජු බලපෑම් කළ එම යෝජනාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන විටත් ඔබ නිසොල්මනේ සිටියා.

ඒකට විරුද්ධව සටන් කළේ සරත් වීරසේකර, වසන්ත බණ්ඩාර ඇතුළු දේශප්‍රේමී කණ්ඩායම සහ මැදගොඩ අබේතිස්ස හිමි,ඉඳුරාගාරේ ධම්මරතන හිමි, බෙංගමුවේ නාලක හිමි ඇතුළු දේශප්‍රේමී භික්ෂූන් වහන්සේලා සහ ගෝලීය ශ්‍රී ලංකා සංසදය. ඔවුන් එම යෝජනාවට පාදක වුණු සෙයිද් අල් හුසේන් විසින් අපට විරුද්ධව එල්ල කරන ලද යුධ අපරාධ චෝදනා අටම කිසිම පදනමක් නැති සාවද්‍ය චෝදනා බව සනාථ කළ සංදේශය ජිනීවා මානව හිමිකම් කවුන්සලයට බාරදුන්නා. ඒ වගේම ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා ඇතුළු ජාත්‍යන්තරයේ නම දිනාගත් යුද අපරාධ විශේෂඥ 6 දෙනෙකු විසින්, අපේ හමුදාව කිසිවිටක යුද අපරාධ කර නැතැයි සනාථ කරන ලද වාර්තා හතක් ඔබ සතුව තිබුණා. ඔබ ඒවා කිසිවක් ජිනීවා වලට ඉදිරිපත් කළේ නැහැ. ඒවා ඉදිරිපත් කළෙත් ඒ කණ්ඩායම යි. ඒකට අනුග්‍රහය දුන්නේත් ගෝලීය ශ්‍රී ලංකා සංසදය. ඒ සම්බන්ධයෙන් කිසිදු දායකත්වයක් නොදැක්වූ ඔබ 2015 ජිනීවා ගිහින් එය සමනය කළා යැයි කියන ප්‍රකාශය මොනතරම් අසත්‍ය ද?

දහනම වන සංශෝධනයෙන් රට බොහෝදුරට ප්‍රජාතන්ත්‍රවාදයේ ඉසව්වට ගෙනාව කියා ඔබ කියනවා. ඒක එහෙමනම් 19 සංශෝධනය අහෝසි කළ විසි වන සංශෝධනයටත් ඔබතුමා අත් ඉස්සුවේ කොහොමද කියා මා අසන්නේ වස ලැජ්ජාවෙන්. දහනව වන සංශෝධනයෙන් රට අගාධයට ගිය අන්දම ඔබ නොදැක්කාට මුළු රටම දැක්කා. ව්‍යවස්ථාදායක සභාවේ ඡන්ද නමයෙන් හතක්ම තිබ්බේ රනිල් වික්‍රමසිංහ සහ සම්බන්ධන් අතේ. රටේ සියලුම වැදගත් ප්‍රධාන තනතුරුවලට පුද්ගලයන් පත් කළේ ඔවුන් දෙදෙනා. ඔබතුමා ඒකට වචනයකින්වත් විරුද්ධ වූ බවක් අප අසා තිබුණේ නැහැ.

ඇමරිකාවේ Mr ඔබාමා, Mr. බයිඩන් වගේ ලංකාවේ මිස්ට ගෝඨාභය කියලා අමතන්නේ නැති එකට ඔබ ජනපතිට දොස් පවරනවා. අපේ රටේ සංස්කෘතිය ගැන මට වඩා ඔබ හොඳින් දන්නවා . ඔබ අධිකරණ ඇමැති ලෙස ඉන්නකොට ඔබේ කාර්යාලයේ ඉන්න පියන් කෙනෙක් ඔබට මිස්ට විජේදාස කිව්ව නම් මොකද වෙන්නේ? ඔබතුමා ඔබට එහෙම අමතන්න කියලා කියපු වගක් වත් අප දන්නෙ නෑ. මේ ජනාධිපතිතුමා වැඩ භාර ගත් හැටියේ සියලුම කාර්යාල වල තමාගේ ඡායාරූප එල්ලන්න එපා කියලා නීතියක් පැනෙව්වා. මිස්ට ඔබාමා එහෙම කලේ නෑ. ඔබාමා, බයිඩන් සේම හැම ජනාධිපති කෙනෙක් ම හිටියේ ධවල මන්දිරයේ. නමුත් ජනාධිපති ගෝඨාභය තාම ඉන්නේ මිරිහාන පැඟිරිවත්ත පාරේ එදා හිටිය නිවසේම යි. ඔහු ගමන් කරන්නේත් අවම ආරක්ෂක වාහන සමග. ඔබාමා වගේ නෙවි මේ ජනාධිපති දුප්පත් ජනතාව හමුවන්න ගමින් ගමට යනවා. මේවා කිසිත් ඔබේ ලිපියේ අඩංගු නොවීමෙන් පෙනෙන්නේ ඔබ මේ ලිපිය ලියල තියෙන්නෙ කිසිම හිතවත් කමකින් නොව තනිකර ද්වේශයෙන් බවයි.

තිස් අවුරුදු යුද්ධය දිනලා රාජපක්ෂලා රට කෑලි කෑලි වලට විකුණුවා කියා ඔබ කියන කතාව ඇත්තක් ද? ඔබ ඇමතිකම් දැරූ ආණ්ඩුව තමයි හම්බන්තොට වරාය කුණු කොල්ලයට වික්කෙ. රට අමු අමුවේ ෆෙඩරල් කරන ව්‍යවස්ථාවක් ගේන්න තැත් කලේ ඔබේ ආන්ඩුව. ඔබ ඒකට විරුද්ධ වුණේ නැහැ. රටේ දේශප්‍රේමීන්ගේ සහ භික්ෂූන් වහන්සේලාගේ අප්‍රතිහත ධෛර්යය නිසා අපි ඒක කෙසේ හෝ වළක්වා ගත්තා. සුමන්තිරන්ලා එකතුවෙලා හදපු එම ව්‍යවස්ථා සංශෝධනය ජය ගත්තා නම් අද අපේ රට කොහෙද?

බුදු දහමට දිවුරුම පටහැනියි කියලා ඔබ ජනපති රුවන්මැලිසෑයේ දිවුරුම් දීමත් හෙළාදකිනවා. ඒ ගැන අප පුදුම වෙන්නේ නැහැ. මන්ද ,ඔබතුමා බුද්ධ ශාසන ඇමති වෙලා සිටියදී තමයි ඇහුවේ “කවුද මේ රට සිංහල බෞද්ධ රටක් කියලා කියන්නේ, කොහෙද ඒක ලියලා තියෙන්නේ?” කියලා. ඒ වැනි කෙනෙක්ගෙන් මේ සම්බන්ධයෙන් මීට වඩා ප්‍රතිචාරයක් බලපොරොත්තු වෙන්න බැහැ .ඔබතුමා බුදු දහම සහ බුද්ධ ශාසනය පටලගන්න එපා. අපේ රජවරු යුද්ධ කළේ රජ සැප පිණිස නොවේ ශාසනය රැකගන්න . ශාසනය රැකුනොත් තමයි දහම රැකෙන්නේ. රුවන්මැලිසෑය දහමේ කොටසක් නෙවි, ශාසනයේ වැදගත් අංගයක්. එහි දිවුරුම් දීම බුදුදහමට පටහැනියි කියා කියන්නේ දහම ගැන වත් සාසනය ගැන වත් කිසි අවබෝධයක් නැති අය.

හම්බන්තොට වරාය කුණුකොල්ලෙට වික්කෙ ඔබතුමා ඇමති ධුරය දැරූ යහපාලන රජය කාලෙ. සමහරු අහනවා ඔබ මෙච්චර දේශප්‍රේමී නම් ඇයි ඒකට විරුද්ධත්වයක් පාලා ඇමති ධුරයෙන් ඉල්ලා අස් වුණේ නැත්තේ කියා.

ගෝඨාභය ෆේල් කියන කොල්ලන්ට තලනවා කියා ඔබ ආඩපාලි කියා තිබුණා. ඒ කොල්ලා කියා ඔබ අදහස් කරන්නේ හරීන් ප්‍රනාන්දු වෙන්න ඇති. හරීන් ප්‍රනාන්දුට කවුරුත් තළලා නැහැ. ඔහුට, ප්‍රකාශයක් ගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කතා කළාම ඔහු නව ලෝකෙට ගිහින් ඇඩ්මිට් වුණා. හරීන් ප්‍රනාන්දු එදා කිව්වේ පාස්කු ප්‍රහාරය වෙන්න පළමු තාත්තා ඒ බව ඔහුට කිව්වා කියා. පස්සේ කිව්වා තාත්තා නොවෙයි ඒ බව කිව්වේ අක්කා කියා. අපි හිතනවා පොලිසියට අවශ්‍ය කරන්නේ ඒ සම්බන්ධයෙන් දැන ගන්න කියා. ඒක තැලීමක් වන්නේ කොහෙමද ?

රට වහන්න ප්‍රමාද වුණා කියත් ඔබ දොස් පවරනවා. ඒ නිසා වසංගතය රටපුරා ව්‍යාප්ත වුණා කියා. ඒකේ ඇත්ත නැත්ත ගැන මට හරියටම කියන්න බැහැ. නමුත් රට වසංගතය නිසා කීපාරක් වැහුවද? ඒ වහන වහන හැම වාරයකම දුප්පත් ජනතාවට පන්දාහෙ දීමනාව දුන්නා. පන්දාහෙන් ජීවත් වෙන්න අමාරු බව හැමෝම දන්නවා. තීරෝද රියදුරන්ට, ස්වීප් ටිකට් වෙළෙන්දන්, පදික වෙළඳුන්, කුලී කරුවන් ,කම්කරුවන්, මේසන් බාස්වරු, වගේ දෛනිකව එදිනෙදා ආදායම උපයන හැමෝගෙම බඩට වදිනවා. ජනපති රට වහන්න දෙපාරක් හිතන්නේ ඒ නිසා. ඒ නිසා තියෙන හොඳම ක්‍රමය තමයි සෞඛ්‍ය නීති පිළිපදිමින් රටේ වැඩ කිරීම. ඒකට රටේ ජනතාවත් විනය ගරුක වෙන්න ඕනේ. අද රටට විදේශ විනිමය එන සියලුම මාර්ග පාහේ ඇහිරිලා. සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා වගේම විදෙස් සේවා නියුක්තිකයෝ දහස් ගණනක් රට තුළ පැමිණිලා. එසේ තිබියදීත් මේ රජය විදේශීය ණය ඩොලර් බිලියනයක් ලඟදි ගෙව්වා. ඔබේ ලිපියේ ඒවාත් අඩංගු වුණානම් ඒක මධ්‍යස්ථ ලිපියක් බැව් කව්රුත් පිලි ගන්න තිබුණා. මෙවන් කාලයක ඔබතුමන්ලා කළ යුත්තේ ආණ්ඩුවත් සමඟ එකතුවෙලා වෛරසය විනාශ කිරීම මිස වෛරසයත් සමග එකතුවෙලා ආණ්ඩුව පෙරළා දැමීමට තැත් කිරීම නොවේ.

වසර විසි හතරක් තිස්සේ තියෙන ගුරු ප්‍රශ්නය ගැනත් ඔබ ජනපතිට දොස් පවරනවා. ඒක කියවනකොට මගේ හිතට ක්ෂණිකව එන ප්‍රශ්නය තමයි එතරම් දීර්ඝකාලීන ප්‍රශ්නයක් ඔබතුමා ඇමතිකම දැරූ යහපාලන ආණ්ඩුවෙන් ඒක විසඳුවෙ නැත්තේ ඇයි කියන එක. අනිත් අතට වසර විසි හතරක් තිස්සේ ඇදී ආ ප්‍රශ්නයක් මුළු රටම වසංගතයෙන් පෙළෙන, ආර්ථිකය ඉතා පහතට වැටී ඇති මේ මොහොතේ, ගෙන ඒම මොන තරම් සාධාරණද කියන එකත් අපි හිතන්න ඕනෙ. ඔබ විතරක් නෙවි අපිත් ගුරුවරු දැක්කම අදටත් දණගහලා වඳිනවා. නමුත් ඒ, රට විදේශිකයන්ට පාවා දෙන, කවදාවත් පාසලක උගන්වා නැති, එන්ජීඕ වලින් යැපෙන, කොටින්ට උදව් කළ, යාපනේ බුදු පිළිම ඉදි කරනවාට විරුද්ධව විග්නේෂ්වරන් සමග යාපනයේ පෙළපාලි ගිය, ජෝශප් ස්ටාලින් වගේ බඩගෝස්තරවාදීන්ටනොවේ.රටේ ඇමති කෙනෙක් කාලකන්නි කියල කිව්වෙ සිසු දරුවන්ගේ පපුවට පිහිය තියල පඩි වැඩි කරපන් කියන ස්ටාලින් ල වගේ ඊනියා වෘතීය සමිති නායකයන්ට මිස නියම ගුරු පියවරු සහ ගුරු මාතාවන්ට නොවන බව ඔබේ හිතත් දන්නවා.

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවල ප්‍රගතිය ගැනත් ඔබ සදහන් කරලා තියෙනවා. ජනාධිපති බලයට පත්වුණාට පස්සේ ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කලා. ඒකට වෙනම කන්ඩායම් පත් කළා. ගිය ආණ්ඩුවෙන් අත් අඩංගුවට ගෙන වංචනිකව නිදහස් කල අයත් නැවත ගත්තා. අද වෙනකොට නීතිපති මගින් බොහෝ දෙනෙක්ට විරුද්ධව නඩු පවරා තිබෙනවා .පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම භාරගත යුත්තේ ඔබත් සිටිය පසුගිය රජයයි. බුද්ධි අංශය මගින් සහරාන් ව අත් අඩංගුවට ගන්න කියා ලිඛිතව දන්වා සිටියදීත් එසේ නොකළේ සුළු ජාතීන්ගේ ඡන්ද බලාපොරොත්තුවෙන්. එලෙස ජනතාව පාවාදුන්, අද විපක්ෂයේ සිටින මන්ත්‍රීවරු, ඔබත් සමග එක්වෙලා පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ගැන සහ එහි ප්‍රමාදය ගැන විවේචනය කිරීම විහිලුවක්.

කොරියාව බෙදුව වගේ අපේ රටත් වර්තමාන ජනපති යටතේ බෙදයි කියා ඔබ විහිලු සපයනවා.උතුර බෙදන්න කොටි ත්‍රස්ථවාදීන් වසර තිහක් තිස්සේ කල යුද්ධය ට තිත තියල රටේ ඒකීය භාවය රකින්න දේශපාලන සහ යුධමය නායකත්වය දුන්නේ මහින්ද සහ ගෝඨාභය. ඒ වනකොට ඇමෙරිකානු පුරවැසිභාවය ක් තිබුණු ගෝඨාභය ත්‍රස්තවාදය නැති කලේ ඇමෙරිකාවේ බලපෑම සතේකට ගනන් නොගෙන.
ඔබත් හිටිය යහපාලන රජය අත්සන් කල ඇමෙරිකානු MCC ගිවිසුම අහෝසි කලෙත් ගෝඨාභය යි. එවන් වූ ජනපති කෙනෙක් යටතේ අනාගතයේ රට කොරියාව මෙන් බෙදෙනවා ය කියන්නේ ජනතාව ගොනාට ඇන්දවීමට ද?

වරාය නගරය චීන කොලනියක් කියන ඔබේ ප්‍රලාපය පුස්සක් බව හැමෝම දන්නවා. එහි නීති රීති සකස් කලේ රටේ ව්‍යවස්ථාව ට අනුකූල ව බවත් රට දන්නවා. වරාය නගරය ගැන විවේචනය කල ඔබතුමා ලටත් බලයේ ඉන්න කොට ඒක නවත්තන්න බැරි වුණා. අන්තිමට වුණේ තවත් හෙක්ටයාර ගණනක් ඒකට එකතු කරන්න. වරාය නගරය තුල පවතින්නේ රටේ නීතිය. ශ්‍රේෂ්ඨාධිකරණයත් ඒක පිළිගෙන තිබෙනවා නම් වරාය නගරය චීන කොලනියක් වෙන්නෙ කොහොමද?

අවසාන වශයෙන් Mr. විජයදාස, ඔබතුමා සමහර පුද්ගලයන්ගේ පත්වීම් ගැනත් විවේචනය කර තිබුණා. නමුත් ඔබතුමා යහපාලන රජයේ අධිකරණ ඇමතිතුමා වෙලා සිටියදී තමයි රනිල් වික්‍රමසිංහ මේ රටේ වත් පුරවැසියෙකු නොවන විදේශිකයෙක් මහ බැංකුවේ අධිපති ලෙස පත් කළේ. එසේ පත් කරලා ලංකාවේ මූල්‍ය ඉතිහාසයේ තිබූ විශාලතම වංචාව සහ මුදල් කොල්ලකෑම සිදුකළා. ඔබ ප්‍රකාශ කරන විදියේ අවංක කෙනෙක් නම් තමාගේ ඇමතිධුරය ප්‍රතික්ෂේප කළ යුත්තේ එදා. නමුත් ඔබතුමා එසේ කළේ නැහැ. එසේ නොකළ ඔබතුමාට අද පුද්ගල පත්වීම් ගැන කතා කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් තිබේද යන්නත් ඔබේ හෘද සාක්ෂීයෙන් විමසා බලන්න.

ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ තත්ත්වයක් උදා වී ඇති මෙවන් මොහොතක අපේ රටට අවශ්‍ය වන්නේ කල දුටු කල වල ඉහ ගන්නට මාන බලන කුහක මිනිසුන් නොවේ. රටට හිතැති, රට ගැන හැගීමක් තියෙන, දේශප්‍රේමී ජනතාවයි.

දේශප්‍රේමි පුරවැසියෙක්

Related posts

පොළොන්නරුව ශිව දේවාලය යටින් මතු වූ බෞද්ධ විහාරය ගැන ජනපති කරුණු පහදයි…

colombotoday

වැලි ව්‍යාපාරිකයකු අභිරහස් ලෙස මියගිය

colombotoday

ප්‍රහාර එල්ල වූ පල්ලිවල CCTV අක්‍රීය වෙලා..! ගැහුවාද ? ගහගත්තාද?

colombotoday

ඉරාජ් වීරරත්න, රහත් වුනායැයි කියන සිරිධම්ම හිමිගේ ගෝලයෙක් ?

colombotoday

අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේප්පුව හොරු කඩලා

Admin

පිපිරීමකින් අයෙකු ජීවිතක්ශයට

Admin